චේතිය රජුගේ බාප්පා හා හීන්බබා
ඊයේ මියන්මාහි සේවය කළ ලාංකිකයකු කොවිඩ් වැළඳී මිය ගියා. ඔහුගේ පෙනහළු දෙකට ම වයිරසය ඇතුල් වී ලේ කැටි ගැසී ඇති බවයි කියැවෙන්නේ. එහි නිවැරදිතාව ගැන මා සාක්‍ෂි දරන්නේ නැහැ. කෙසේ වෙතත් එය ඉතා ශෝකාකූල ප්‍රවෘත්තියක්. මට ඔහු මුණ ගැසී තිබුණා.
මා කියා ඇති මා මරණයේ එළිපත්ත පාගා පැමිණි බව.
බොහෝ දෙනාට එය සිනහවට කරුණක් වී තිබුණා. එමෙන් ම මා ඊට කලින් මට අසනීපයක් නැතැයි
කියා තිබූ බැවින් බොහෝ දෙනා මා බොරුකාරයකු ලෙස ද හඳුන්වා තිබුණා. මා හිතුවා මේ
සියල්ල ගැන කෙටි විස්තරයක් කළ යුතු ය කියා.
මට කොවිඩ් වැළඳුණේ කෙසේ දැයි මා දන්නේ නැහැ.
එහෙත් මගේ පරෙස්සමේ යම් අඩුවක් සිදු වී ඇති බව පැහැදිලියි. ඒ කුමක් දැයි මට
නිච්චියක් නැහැ. දැන් එය දැනගන්නත් බැහැ. ඒත් පරෙස්සම් වීමේ වැදගත්කම කියා නිම
කරන්න බැහැ.
රෝහල්ගත වීමට දින දෙක තුනකට පෙර මට ඇතැම් රෝග
ලක්‍ෂණ තිබුණා. ඒ කිනම් රෝගයක් දැයි වෛද්‍යවරුන්ට හඳුනා ගැනීමට නොහැකි වුණා.
අජීර්ණයට ප්‍රතිකාර කෙරුණා. කෙසේ වෙතත් ඒ අතර පීසීආර් පරීක්‍ෂණ කළා. එයින් මටත්
භාර්යාවටත් ධන ප්‍රතිඵල සටහන් වුණා.
පීසීආර් + වුණා ම රෝහලක් සොයා ගැනීම ඉතා
අපහසුයි. එහෙත් තානාපති කාර්යාලයේ උපදේශන නිලධාරීනී චතුරිකා සංඛපාලි මහත්මියගේත්
විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගෙත් මියන්මා විදේශ අමාත්‍යාංශයෙත් නොපසුබට
උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මටත් භාර්යාවටත් පහසුකම් ඇති රජයේ රෝහලකට ඇතුල් වෙන්න
පුළුවන් වුණා. පඬියකු කියන්න බැරි නැහැ එය මියන්මා වැසියන් දෙදෙනකුට කළ අසාධාරණයක්
කියා.
මගේ තත්වය ඉතා බරපතළ බව රෝහලේ දී කියා තිබුණා.
මා ඒ කිසිවක් දැන සිටියේ නැහැ. මගේත් පෙනහළු දෙකට ම වයිරසය ඇතුල් වෙලා. එය
තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා මට විශේෂ බෙහෙතක් දින ගණනක් විද තිබෙනවා. ඇතැමුන්
හිතනවා ඇති එසේ බෙහෙතක් විදීම අපරාධයක් කියලා. රෝහල්ගත වී දින කිහිපයක් මා
අසිහියෙන් කල් ගත කර ඇත්තේ. මා ඒ සියල්ල දැන ගත්තේ පසුව. අසිහියෙන් මා එළොව මෙළොව
තොරතුරු කියා තියෙනවා. දානයක් දීම මගේ පළමු අවශ්‍යතාව වෙලා.
මා අර සියළු පඬියන්ගේ දැන ගැනීම පිණිස ලිපිය පළ
කිරීමට මුහුණු පොතේ මගේ ලිපි පළකරන අයට කියා ඇත්තේ අසිහියෙන්. මා කියා තියෙනවා මට
අසනීපයක් නැති බවත් අවශ්‍ය නම් ඇරිස් හමුවන ලෙසත්. ඇරිස් කියා ඇත්තේ ඇරිස්ටෝටල්ට.
අසිහියෙන් වුවත් හොඳ නමක්. මා ඒ කිසිවක් කී බවක් මට මතක නැහැ. ඇරිස් සමග අපට
ඇරියස් තියෙනවා. ඒ පසුව බේරා ගනිමු. පඬියන් සමග නම් ඇරියස් නැහැ. සම්ම ජාතියේ
අලුත් දෙයක් නොකියන බටහිර පිළුණු අදහස් වමාර වමාරා කන පඬියන් සමග මොන ඇරියස් ද?
මා අසිහියෙන් වුවත් කියා ඇත්තේ අසත්‍යයක් බව
පැහැදිලියි. මට හොඳට ම අසනීප අවස්ථාවකයි මා ඒ බව කියා ඇත්තේ. සමහර විට මරණයේ
එළිපත්ත උඩ ඉඳන් වෙන්න ඇති. එහෙත් මගේ නා නා විධ අති විශාල ප්‍රමාණයක් වූ විරුද්ධවාදීන්ට
අනුව මා කියා ඇත්තේ බොරුවක්. එය සිහියෙන් කීවක් ද අසිහියෙන් කීවක් ද යන්න ඔවුන්ගේ
ප්‍රශ්නයක් නොවෙයි. මා බොරුවක් කියා තියෙනවා. ඔවුන් මා සලකන්නේ චේතිය රජුගේ බාප්පා
ලෙසයි. මටත් එය බොරුවක් නො වේය කියන්න බැහැ. මෙහි දී සිහියෙන් ද අසිහියෙන් ද ආදිය
අනෙක් අයට වැඩක් නැහැ. ඒ ප්‍රකාශයේ වගකීම මා භාර ගන්නවා.
පෙනහළු දෙකට ම වයිරසය ඇතුල් වූ අයකු, දුස්සාධ්‍ය
රෝගියකු, කියා ඇති දෙයක් බොරුවක් ලෙස සලකමින් ඒ
තැනැත්තාට පරිභව කිරීමට සමාජය එළඹී ඇත්තේ සමාජයේ බොරු කියන්නන් නැති නිසා විය
හැකියි. සිඳු නොමැති සිඳු නාට්‍යය මා උනන්දුවෙන් නරඹනවා. දැන් මගේ ඊනියා පහත්
රුචිකත්වය ගැන පඬියන් ප්‍රශ්න කරාවි. සිඳු නාට්‍යයේ මගේ වීරයා හීන්බබා සීයා. ඔහු
තරම් හොඳට වෙන කිසිවකු බොරු කියන්නේ නැහැ. ඔහුගේ බොරුවලින් සමාජයට අවැඩක් වෙනවා
කියා මා හිතන්නේත් නැහැ. මගේ බොරුව හීන්බබා සීයාගේ බොරුවලට වඩා ඉහළ මට්ටමේ එකක් ද? පඬියන්ගෙන්
අහල වැඩක් නැහැ. උසස් රුචිකත්වයක් ඇති පඬියන් සිඳු බලන්නේ නැතිව ඇති.
මේ බොරු නොකියන සමාජය ගැන මා ආඩම්බර වෙනවා. මා
බෙරු කාරයකු බව ඔප්පු වී හමාරයි. ඒත් මා මිය ගියා නම් හොඳය කියා මා හිතන්නේ නැහැ.
මට ඇරිස් සමග ගණුදෙනු බේරා ගන්න තියෙනවා. ඇරිස්ගේ ලෝකය කඩා වැටෙන අවස්ථාවක මිය
යෑමට සිතන්නේ කවුද?