Main Logo

Wednesday 18 August 2021

බටහිර වෙදමහත්තුරු බටහිර දැනුම හා තලේබාන් ජයග්‍රහණය

 

බටහිර වෙදමහත්තුරු බටහිර දැනුම හා තලේබාන් ජයග්‍රහණය

 

මා බටහිර වෛද්‍ය විද්‍යාව හදාරනු තබා සාමාන්‍ය පෙළටවත් බටහිර ජීව විද්‍යාව හදාරා නැහැ. ඒ මදිවට උසස් පෙළ රසායන විද්‍යාව අසමත්.  බටහිර ගණිතය හා භෞතික විද්‍යාව ගැන නම් අල්ප දැනුමක් තියෙනවා. ඒත් මා ගණිතඥයකුවත් විද්‍යාඥයකුවත් නො වෙයි. මා සුළුවෙන් දන්නා ගණිතයෙහි හා බටහිර භෞතික විද්‍යාවෙහි නිශ්චිත අදහස් දීමට උත්සාහ කරනවා. එය ඉංගිරිසි සංස්කෘතියෙහි ලක්‍ෂණයක්. මා හිතන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙහිත් ආවට ගියාට වචන පාවිච්චි කරන්නේ නැහැ කියා. එහෙම වුණත් බටහිර භෞතික විද්‍යාවෙහිත් ෆෝටෝනයක් කියන්නෙ මොකක් ද කියල නිශ්චිත ව කියන්නෙ නැහැ. ඒක ගැනත් කතා කරමු.

 

රාජ්‍ය ඇමති චන්න ජයසුමන ඊයේ (අගෝස්තු 17) පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා ඩෙල්ටා විකෘතියේ (ප්‍රභේදයේ) වර්ග තුනක් ලංකවේ තියෙනවා කියා. ඔහු යොදාගත් වචන වුණෙ ජාන කේත යන්නයි. ඒ වෛද්‍ය පාරිභාෂික ශබ්ද වෙන්න පුළුවන්. මා දන්නා පාරිභාෂික වචන යොදන්නේ නම් ඔහු කීවේ ඩෙල්ටා විකෘතියේ වික්‍රියා (strains)  තුනක් තිබෙන බවයි. අර බටහිර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හාදයකුත් ඕක අහගෙන ඉඳලා කියලා ඩෙල්ටා නව විකෘතීන් (mutations)  තුනක් ලංකාවෙන් හොයා ගෙන ඇති බව. විකෘති කතා කියන  මේ අය විකෘතිය මොකක් ද වික්‍රියාව මොකක් ද කියල දන්නෙ නැති බවයි පේන්නෙ. ඔය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සදාසභාපති, සජිත් ජනාධිපති කරන්න තිබ්බ නුවර රැස්වීමටත් සහභාගි වුණා. ඔය නිලධාරීන් තමයි අර කොවිඩ් අස්සෙ තම දීමනා වැඩි කර ගෙන රටට ම නරක ආදර්ශයක් දුන්නෙ. ඔය අය ම තමයි භාර්යාවන් ස්වාමි පුරුෂයන් හතර පස්දෙනාට එන්නත් ලබා ගත්තෙත්.

 

ඔය බටහිර වෙදමහත්තුරු හා වෙදහාමිනේලා පරාර්ථකාමී සත්ගුණවත් මහත්ම මහත්මීන් හැටියට පෙනී හිටියට එක් බටහිර වෙදමහතකු ම කියල තිබුණ ඔවුන් (සියල්ලන් වෙන්න බැහැ) රෝගීන් ළඟට යෑමටත් බිය වන බව. ඔවුන් රෝගීන්ගෙන් ඈත්වෙලා ඉන්න බව.  සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ කිසිවකුගෙන්වත් පිළිසරණක් නොලැබූ රෝගියකු රෝද පුටුවක මිය යෑම ගැන ඔහු කියා තිබුණා.

 

මේ සියල්ලන් ම පාහේ කරන්නෙ කොවිඩ් අස්සෙන් සොකරි නටන එක. ඔවුන් මොකක් හරි කියල රට වහගන්නයි හදන්නෙ. එක් වෘත්තීය සමිතියක නිලධාරියකු කියල තිබුණ ඒ අය රට වහනවා කියලා. තිස්ස විතාරණත් දැන් කැරොල් කරත්තයට නැගල. රට වහල සති දෙකක් මේ රට පවතින්නෙ නැහැ. ආණ්ඩුවට බදු මුදල් එකතු වෙන්නෙ නැහැ. එතකොට පඩි ගෙවන්න බැහැ. එවිට වර්ජන රැල්ලක් ආරම්භ කරන්න ද බලාපොරොත්තුව. ආරම්භ කරල අර මා කිවුව චතුෂ්කයට, නැත්නම් හතරේ කල්ලියට (එක්සත් ජනපද, ජපානය, ඉන්දියාව, ඕස්ත්‍රේලියාව)  රට බාර දෙන්න ද? නවසීලන්තයට රට වහන්න පුළුවන්. ඔවුන්ට ඩොලර් සංචිතයක් තියෙනවා. අපට තියෙන්නෙ රනිල් කියන අදක්‍ෂ පාලකයා ඉතිරි කරල ගිය ඩොලර් සොච්චමක් පමණයි.

 

කොහොමටත් අද ඔය හතරේ කල්ලිය දුර්වලයි. ඒ දුර්වලකම ඇෆ්ගනිස්තානයෙන් පෙන්නුම් කළා. අවුරුදු විස්සක යුද්ධයකින් පසුව එක්සත් ජනපද පැරදිලා. එක්සත් ජනපද එහි ඇති කළ ගාණිගෙ ආණ්ඩුව කඩන් වැටිල. ඒ ආණ්ඩුවත් එක විධියකට යහපාලනය වගේ. සිරිසේනයි රනිලුයි වගේ නොපෑහෙන අයගෙ ආණ්ඩුවක්. අද ගාණි ඉන්න තැනක් කවුරුන්වත් දන්නෙ නැහැ. තලේබාන්වරු ඇෆ්ගනිස්තනය අල්ල ගෙන. එක්සත් ජනපදවලට පුළුවන් ඔසාමා බින් ලාඩන් වගේ තනි පුද්ගලයන් ඝාතනය කරන්න. ඒත් ඔවුන්ට සමූහ සටන් පරාජය කරන්න බැහැ. වියට්නාමයේ එය පෙන්නුම් කළා.

 

ඒත් බටහිරයන්ට තවමත් සාකච්ඡා උප්පරවැට්ටි මගින් ජයගහන්න පුළුවන්. වියට්නාමයේ දී යුද්ධයෙන් පැරදුණත් ඔවුන් තමන්ට අවශ්‍ය දේ යම් පමණකට හරි කර ගත්තා. බටහිර පැරදෙන්න පටන් ගත්තේ වියට්නාමයේ නො වෙයි. එයට බොහොම ඉස්සර. එය ආරම්භ වුණෙ බටහිර භෞතික විද්‍යාවෙ කියන්නත් පුළුවන්. විසිවැනි සියවස මුල ප්ලෑන්ක් තම ක්වොන්ටම් අදහස් ලොවට හෙළි කළා. ඒ තමයි බටහිර භෞතික විද්‍යාවෙ කඩා වැටීම. ටික කලකට පසු බටහිර ගණිතය කඩා වැටුණා. ඒ ගර්ඩ්ල් ප්‍රමේයයත් සමග. අද බටහිර විද්‍යාවන් ඇතුළු දැනුම කඩා වැටිලා. ෆෝටෝනය කියන්නෙ මොකක් ද කියල පුළුවන් නම් කියන්න. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ සත්භාවය (ontology) අද වලංගු නැහැ.

 

ඊනියා පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධ මගින් මේ කඩා වැටීම තවත් පෙන්නුම් කළා. ඊනියා පළමුවැනි ලෝක යුද්ධයට පසු සාර් අධිරාජ්‍යය කඩා වැටුණා. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අප වැනි රටවලට නිදහස ලබා දී ඊනියා බිරිතානි අධිරාජ්‍ය කඩා වැටුණා. යුද්ධයෙන් බටහිර දැන් පරාදයි. ඔවුන් ලංකාවේ දී නන්දිකඩාල් හි අපේ හමුදාවලට පරාද වුණා. ඒත් ඔවුන් තවමත් උප්පරවැට්ටි හා ඊනියා සාකච්ඡා මගින් තම ආධිපත්‍යය පවත්වාගෙන යනවා.

 

අද ලෝක තත්වය ධනවාදය සමාජවාදය අධිරාජ්‍යවාදය වගේ යල්පැනපු අදහස් සංකල්ප මගින් විස්තර කරන්න බැහැ. මෙහි ඇති සමස්ත කතාවට ප්ලෑන්ක් සම්බන්ධ කියා හිතන්නෙ කවු ද? ප්ලෑන්ක් තමයි අයින්ස්ටයින්ට අත දුන්නෙ. ඒත් අයින්ස්ටයින්ට ක්වොන්ටම් දිරව ගන්න බැරි වුණා. කොහොමටත් ප්ලෑන්ක් කියා ඇති කතාවක් මා මෙහි  සඳහන් කරනවා. “Science cannot solve the ultimate mystery of nature. And that is because, in the last analysis, we ourselves are part of nature and therefore part of the mystery that we are trying to solve.”
– Max Planck, Where is Science Going? (1932) .
 

මේ කතාව සමග මා මුළුමනින් ම එකඟ වන්නේ නැහැ. අප ස්වභාවය තේරුම් ගැනීමක් හරි සොයා ගැනීමක් හරි කරන්නෙ නැහැ. අපි ඊනියා ස්වභාවයක් මවනවා සංස්කරණය කරනවා. Science is a way of discovering what's in the universe කියන එක පට්ටපල් බොරුවක්. 

 

ඒ කුමක් වුවත් බටහිරයන්ට තමන් වියට්නාමයේ කළ දේ ඇෆ්ගනිස්තානයේ කරන්න බැහැ. මා තලේබාන් ත්‍රස්තවාදීන්ට සහතික දෙන්නේ නැහැ. ආයුධ නැති ජනතාවකට ආයුධ මගින් පහර දෙන කණ්ඩායම් ත්‍රස්තවාදීන්. තලේබාන්වරු අවුරුදු විස්සකට පමණ පෙර බාමියන් පිළිම කඩා දැම්මා. ඇෆ්ගනිස්තානය කාලයකට පෙර බෞද්ධ. සමහර විට බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන අපරාන්තය ඇෆ්ගනිස්තානය වෙන්න පුළුවන්. ඒත් අද ඇෆ්ගනිස්තානය මුස්ලිම්. ඇෆ්ගනිස්තානය බෞද්ධ ව සිටියා නම් බටහිරයන් වියට්නාමයේ දී වගේ උප්පරවැට්ටි කරන්න තිබුණා. බෞද්ධ ක්‍රිස්තියානි අරගලයක් තිබුණේ නැහැ. ඇත්තෙත් නැහැ. බෞද්ධයන් ලෝක ආධිපත්‍යයක් සඳහා සටන් කරල නැහැ.

 

එහෙත් අද ලෝකයේ  ඇත්තේ ක්‍රිස්තියානි මුස්ලීිම් සභ්‍යත්ව ගැටුමක්. මේ ගැටුමෙන් ක්‍රිස්තියානි සභ්‍යත්වය පරදිනවා. ඒත් මුස්ලිම් සභ්‍යත්වයට දිනන්නත් බැහැ. ඇෆ්ගනිස්තානය වගේ තනි තනි ජයග්‍රහණ ලබන්න පුළුවන්. මුස්ලිම් සභ්‍යත්වයට අදහස් හිඟයක් තියෙනවා. ඔවුන් තවමත් ඉන්නේ පරණ තෙස්තමේන්තුවේ. පරණ තෙස්තමේන්තුවේ තමයි තියෙන්නෙ දෙවියන් වහන්සේ හැර වෙනත් දෙවියන් පිළිගන්න එපා කියලත් එවැනි දෙවියන්ගේ පිළිම කඩන්න කියලත්. ක්‍රිස්තියානින් මේ කතාව භෞතික ව පිළිගන්නේ නැහැ. ඔවුන්ට ඊනියා සාකච්ඡා හා උප්පරවැට්ටි තියෙනවා. තලේබාන්වරු අර පරණ තෙස්තමේන්තු කතාව තවමත් භෞතික ව ම පිළිගන්නවා.

 

ඔය රට වහන්න කතා කරන උදවියගෙ පිහිටට හතරේ කල්ලිය ඒවි ද? ආවොත් මෙය තවත් වියට්නාමයක් හරි ඇෆ්ගනිස්තානයක් හරි වේවි. කනින්ග්හම් නොවෙයි අර උසස් පෙළ බ්‍රවුනින් ඇන්ඩ් ජෝසෆ් කියවූ අයත් ඉන්නෙ දුර්වල බටහිරයන් සමග බව ඔවුන් දන්නෙ නැතිව ඇති.