හර්තාලය සමසමාජය හා ජෙප්පෝ
ඊයේ අපට පශ්චාත් කොවිඩ් පරීක්‍ෂණ සඳහා පෞද්ගලික රෝහලකට යෑමට සිදු වුණා. ලිපිය පළ නොවූයේ ඒ නිසයි. කොවිඩ් රෝගය සඳහා මුල සිට ම මා ලංකාණ්ඩුවෙන් තඹ සතයක්වත් ගෙන නොමැති බව කිව යුත්තේ මා ගුණ යහපත් ප්‍රතිපත්තිගරුක අයකු බව කීමට නො වෙයි. හුදෙක් පඬියන්ගේ දැන ගැනීම සඳහායි. මා හොඳ මිනිහකු නොවන බව කියා ඇති.
අද අගෝස්තු දෙළොස්වැනි දා. පනස්තුනේ හර්තාලයට
අවුරුදු හැටඅටක් පිරෙනවා. ඒ නිමිත්තෙන් සමසමාජ පක්‍ෂයේ වත්මන් නායක යැයි කියන
තිස්ස විතාරණ පසුගිය අටවැනි ඉරිදා සන්ඩේ අයිලන්ඩ් පුවත්පතටත් ඊයේ එකොළොස්වැනි දා
දිවයින පුවත්පතටත් ලිපි ලියා තිබුණා. එහෙත් ලිපි දෙකේ ඇතැම් කොටස්වලින් එක ම මතයක්
පළ වන්නේ නැහැ. එකක් අනෙකේ පරිවර්තනයක් වෙන්න පුළුවන්. එසේ නම් පරිවර්තන දෝෂ
තියෙනවා. පරිවර්තන දෝෂ යැයි සිතිය හැකි අවස්ථා
සඳහා උදාහරණයකට පහත සඳහන් කොටස් සංසන්දනය කර බලන්න.
“With
backing given to Sir John by the British Government and because a General
Election was due in 1956, where the people could defeat the UNP, the LSSP took
the decision, along with the other left parties, to save the people from the
danger of a massacre by not extending the Hartal.
History
has proved that this decision was correct by the fact that S.W.R.D.Bandaranaike
was able to lead the SLFP to power with the support of the left. Philip
Gunawardena joined the Government and became a Minister along with his with
VLSSP Party.
බ්‍රිතාන්‍ය රජය විසින් ශ‍්‍රීමත් ජෝන්
කොතලාවලට සහය දැක්වීමත් සමඟම 1956 දී මහමැතිවරණයක් පැවැත්වීමට නියමිතව
තිබූ අතර එහිදී එජාපය පරාජය කිරීමට ජනතාවට හැකි වූ හෙයින්, සම
සමාජ පක්ෂය අනෙක් වාමාංශික පක්ෂ සමඟ එක්ව ජනතාව අවදානමෙන් ගලවාගැනීමට තීරණය කළේය.
වමේ සහය ඇතිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට
ගෙන ඒමට එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකට හැකි වීම තුළින් එදා ගත් මෙම තීරණය
නිවැරදි බව ඉතිහාසය ඔප්පු කර ඇත. රජයට සම්බන්ධ වී ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කළ
පිලිප් ගුණවර්ධන ඇමැතිවරයකු විය.”
ඉංගිරිසි ලිපිය අනුව සමසමාජ පක්‍ෂය අනෙක් පක්‍ෂත්
සමග හර්තාලය නැවැත්වීමට තීරණය කිරීමට එක් හේතුවක් වී ඇත්තේ පනස්හයේ මැතිවරණයෙන් එ
ජා ප පැරදවීමට ජනතාවට හැකියාව තිබීම. සිංහල ලිපිය අනුව එකී මැතිවරණයේ දී එ ජා ප
පැරදවීමට ජනතාවට හැකි වූ හෙයින් සමසමාජය හර්තාලය නැවැත්වීමට තීරණය කරලා. පනස්හයේ එ
ජා ප පැරදවීමට හැකි යැයි දේශපාලනඥයන් සිතා සිටියේ නැහැ. මහජන එක්සත් පෙරමුණ 1956
මැතිවරණය ඔන්න මෙන්න කියා තිබිය දී තනාගත් පෙරමුණක්. එයට සමසමාජ පක්‍ෂය එකතු
වුණේවත් නැහැ. සිංහල ලිපියේ කුමක් තිබුණත් පිලිප් ගුණවර්ධන මහතා ම එ පෙරමුණට එකතු
වූයේ විප්ලවකාරි ලංකා සමසමාජ පක්‍ෂය සමග මිස සමසමාජ පක්‍ෂය නියෝජනය කරමින් නො
වෙයි.
හර්තාලය නැවැත්වූයේ පනස්හයේ එ ජා ප පැරදවීමට
හැකි යැයි සිතූ හෙයින් නො වෙයි. පනස්හය ජනතාව අපේක්‍ෂා කළ එහෙත් දේශපාලනඥයන් අපේක්‍ෂා නොකළ ජයග්‍රහණයක්.
පනස්හයේ දී ම එ පෙරමුණේ අපේක්‍ෂකයන් තෝරා ගත්තේ එතරම් පරීක්‍ෂාවකින් නොවෙයි. තමා
මාතලේ ජයග්‍රහණය කරාවි යැයි නිමල් කරුණාතිලකවත් හිතන්න නැතිව ඇති.
හර්තාලය සමසමාජ පක්‍ෂයේ මූලිකත්වයෙන් ඇරඹුණු බව
ඇත්ත. එහි දී ප්‍රධාන හේතුවක් වූයේ බඩු මිළ වැඩි වීම. විශේෂයෙන් ම හාල් සේරුව සත
විසිපහේ සිට සත හැත්තෑව දක්වා වැඩි කිරීම දරා ගැනීම ජනතාවට ප්‍රශ්නයක් වුණා.
හර්තාලය සැලැස්මක් ඇතිව ආරම්භ කළ දෙයක් නො වෙයි. හර්තාල් කියන නම ම උතුරු
ඉන්දියානු යෙදුමක්. හර්තාලය දිගට ගෙන යන වැඩ පිළිවෙළක් සමසමාජ පක්‍ෂයට තිබුණේ
නැහැ. එය එක් දින උද්ඝෝෂණයක් පමණයි. පනස්හයේ ජයග්‍රහණයට හර්තාලය බලපා නැහැ.
හර්තාලය තිස්ස විතාරණ පිළිගන්නා ආකාරයට වුණත් බස්නාහිර, දකුණු
හා මධ්‍යම පළාත්වලට පමණක් සීමාවූවක්.
කොහොමටත් ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමෙන් පසු
මෙරට සමසමාජ පක්‍ෂය වැනි ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂවලට යම් තැනක් තිබුණා
නම් ඒ නැති වී ගියා. ඒ බව කලින් ම තේරුම් ගත් පුද්ගලයා පිලිප් ගුණවර්ධන මහතා බව
මගේ අදහසයි. සමසමාජ පක්‍ෂය ශ්‍රී ල නි ප සමග සභාග ආණ්ඩුවක් පිහිටුවූයේ හැටහතරේ. ඒ
සභාග තීරණය වැරදි බව කී ඇතැමුන් සමසමාජ පක්‍ෂයෙන් කැඩී ගියා. ඔවුන් සමසමාජයේ සභාග
තීරණය දැඩි ලෙස විවේචනය කළා. ඔවුන්ට අනුව සමසමාජය විප්ලවය පාවා දුන්නා. මේ
සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් තියෙනවා. සමසමාජය සභාගයට ගොස් විප්ලවය
පාවා දුන්නේ නම් සභාගයට නොගොස් සමසමාජයෙන් කැඩී ගිය අයට විප්ලවය කරන්න පුළුවන්
වුණා ද? අද සමසමාජයත් නැහැ, අනෙකුත්
ඊනියා විප්ලවවාදී පක්‍ෂත් නැහැ. නාම පුවරු නම් තියෙන බව ඉඳහිට කෙරෙන ඊනියා
උද්ඝෝෂණවලින් පේන්න තියෙනවා. කෙකරගාමීන්ගෙන් අහන්න.
පනස්තුන ගැන තව කරුණක් මතක් කරන්න පුළුවන්.
මෙරට නොව සෝවියට් දේශයේ ජෝසෆ් ස්ටැලින් මිය ගියේ පනස්තුනේ මාර්තු පස්වැනි දා. ඒ
වනවිටත් තනි රටේ සමාජවාදය කඩා වැටෙමින් තිබුණේ. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය කෙසේ
වෙතත් ලංකා සමසමාජ පක්‍ෂය ඒ බව දැන සිටින්න ඇති.
අද කිසිම රටක කිසිම සමාජවාදයක් නැහැ. ඊනියා සමාජවාදී පක්‍ෂවලට ලෝකයේ තැනක්
ඇත්තෙත් නැහැ.
හර්තාල් දවස්වල ජ වි පෙරමුණක් තිබුණෙ නැහැ. ඒත් අපට ජ වි පෙ අමතක කරන්න බැහැ. ඔවුන් මාක්ස්වාදී සමාජවාදීන් නොවැ. කම්කරු පංතියක් නැති විට කම්කරු පංතියේ පක්‍ෂත්
නැහැ. ජ වි පෙ එහෙම කියන්නෙ නැහැ. ජ වි පෙරමුණේ මාක්ස්වාදී දැනුම ඉතා ඉහළයි. විජේවීර ඊනියා නිර්ධන පංතියක් ගැන කියෙව්වා.
එහෙම පංතියක් ගැන ලෙනින් ට්‍රොට්ස්කි ස්ටැලින් ආදීන් දැන සිටියේ නැහැ. ඒත් ජ වි පෙ
සාමාජිකයන් දන්නවා. ස්ටැලින්ගෙන් බැද්දත් ට්‍රොට්ස්කිගෙන් බැද්දත් ජෙප්පා
ජෙප්පාමයි.
නැති සමසමාජ පක්‍ෂයේ නායක තිස්ස විතාරණට දීර්ඝායු
පතනවා.