Main Logo

Thursday 14 October 2021

ගුරු වැටුප මගින් නැවත යමපාලනයකට

 

ගුරු වැටුප මගින් නැවත යමපාලනයකට

 

මේ අධ්‍යාපනය වෙනස් කළ යුතු වුවත් ලේසියෙන් එහෙම කරන්න බැහැ. ඉන් බිහි වන පුද්ගලයන්ට හිතන්න බැහැ. පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී කියන්නේ හිතන්න එපා කියායි. එය කෙලින් ම කියන්නේ නැහැ. බටහිර දැනුම හා සුළු ප්‍රමාණයකට අප සතු  පැරණි භාරතීය දැනුම මතක තබා ගැනීමට තමයි අපට උගන්වන්නේ. අප ඒ ඒ ප්‍රමාණයේ දත්ත හා තොරතුරු ගබඩා. මට කාරණයක් මතක් වෙනවා.අයින්ස්ටයින්ට ගුරුත්වජ කාච (gravitational lenses) පිළිබඳ දැනුම සංස්කරණය කළ අවස්ථාවේ  අවශ්‍ය වුණා අර සාමාන්‍ය කාච සඳහා වූ ප්‍රතිඵල සමග ඒ සසඳන්න. ඒත් ඔහුට ඒ සාමාන්‍ය කාච පිළිබඳ දැනුම තිබුණේ නැහැ. ඒ දැනුම උසස් පෙළ සිසුන්ට උගන්වනවා. අයින්ස්ටයින්ට ඒ දැනුම අමතක වෙලා. ඔහුට සිදු වුණා නැවතත් ඒ දැනුම පොතකින් ලබා ගන්න.

 

අප කිසිවක් මතක තබා ගන්න ඕන නැහැ කියන එක නොවෙයි මෙයින් කියැවෙන්නෙ. විශේෂයෙන් ගුරුවරුන් ගැන අපට අමතක කරන්න බැහැ. දත්ත හා තොරතුරු වුණත් අපට කියා දෙන්නේ ඔවුන්. ඒ අතර සුවිශේෂ ගුරුවරුනුත් ඉන්නවා. ඔවුන් පොතපතේ නැති දේ ද කියා දෙනවා.

 

ජෝසෆ් ස්ටැලින් මහින්ද ජයසිංහ ආදීන් එවැනි සුවිශේෂ ගුරුවරුන්. ඔවුන් පහුගිය සති කිහිපයෙහි වැනීසියේ වෙළෙන්දා නාට්‍යයේ (පොතේ) නැති දේ සිසුන්ට පමණක් නොව දෙමවුපියන්ට ද අනෙක් අයට ද ඉගැන්නුවා. ලේ බිඳකුදු නොසොල්වා මස් රාත්තල ලබා ගන්න පුළුවන් කියා ඔවුන් අපට කියනවා. ඒත් දැන් රාත්තල් අවුන්ස නැහැ. මා හිතන්නේ පාසලේ ඒ උගන්වන්නෙත් නැහැ කියලා. දැන් කිලෝග්‍රෑම් කාලෙ. එංගලන්තෙටත් ප්‍රංශ විප්ලවයෙ ග්‍රෑම් දැනිල ටිකක් කල්. ඒත් එලිසබෙත් වින්ඩ්සර් ඉන්නවා, සාමි මන්ත්‍රී මණ්ඩලය තවම තියෙනවා. ඔවුන්ට දෙයියන්ගෙ ම පිහිටයි. ස්ටැලින්ටත් මහින්දටත් දෙයියන්ගෙ ම පිහිටයි. නැහැ මා කියන්නේ ස්ටැලින්ගෙ පිටට තට්ටු කළ මහින්ද ගැන නො වෙයි.

 

ගුරුවරු කෙසේ වෙතත් ගුරුබොරුවන් අද වැඩ වර්ජනයේ. ඔවුන් අගමැති දුන් විසඳුමත් පිළිගන්නෙ නැතිලු. පිටට තට්ටු කිරීම මදියි කියනවා. මා හිතන්නේ ඔවුන් දැඩි පහරක් බලාපොරොත්තු වන බවයි. අපි ටිකක් දත්ත හා තොරතුරු ගබඩාවට යමු. වෙනත් අයකුගෙ වුණත් කමක් නැහැ. ගුරු වැටුප් විෂමතාවක් තියෙන බව මා හිතන්නේ කවුරුත් පිළිගන්නවා.

 

මෙවැනි ම නොවුණත් විශ්වවිද්‍යාල ගුරු වැටුප් විෂමතාවක් අවුරුදු තිහකට පමණ පෙර තිබුණා. ඒ විෂමතා නැති කිරීමේ සටනට නායකත්වය දුන්නේ මම. අපත් වර්ජනය කළා. එදා කොවිඩ් තිබුණෙ නැහැ. අප විසඳුම් ඉදිරිපත් කළා. හමීඩ් හා අර්ජුන අළුවිහාරෙ ඒ පිළිගත්තා. අදත් ක්‍රියාත්මක වන්නෙ අප ඉදිරිපත් කළ වැටුප් ව්‍යුහ. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය හා ආචාර්ය සමිති සම්මේලනය (FUTA) මට හොඳින් සැලකුවා. ජී එල් පිරිස්, ලක්‍ෂමන්, ඈපාසිංහ ආදී පිරිස් එකතු වී මට අනිවාර්ය විශ්‍රාම ලබා දුන්නා. සටන මෙහෙයවීම නිසා මහින්සි කියා හිතන්න ඇති. ආචාර්ය සමිති සම්මේලනය විශ්‍රාම යැවීම සම්බන්ධයෙන් මට සුබ පැතුවා.

 

වත්මන් ගුරු වැටුප් ප්‍රශ්නය අවුරුදු විසිහතරක් පරණයි කියනවා. යමපාලන ආණ්ඩුව එය විසඳුවේ නැහැ. අද ඇතැම් යමපාලකයන් කියනවා අර නිවේදකයන් කියනවා වගේ 2020 ජනවාරියේ ප්‍රශ්නය විසඳන්න සියලු කටයුතු සූදානම් කර තිබුණ කියා. එසේ කියන්නන් පන්සිල් රකින අය නො වෙයි. විශේෂයෙන් හතරවැනි සිල් පදය රකින අය නො වෙයි. ස්ටැලින්ට ඒ දිනවල ට්‍රොට්ස්කි මුණ ගැසුණා ද දන්නෙ නැහැ. මහින්ද ජයසිංහල නම් යමපාලන ආණ්ඩුවට සහාය දුන්නා. කිසිවකුට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ.

 

ගෝඨාභය රාජපක්‍ෂ 2019 ජනාධිපති වුණාට පස්සෙ 2020 මහා මැතිවරණය වන තුරු අධ්‍යාපන ඇමති වුණෙ ඩලස් අලහප්පෙරුම. මා ඔහු අවුරුදු තිහකට වැඩි කාලයක් හඳුනනවා. ඔහු ජාතිකවාදියකු නොවෙයි. ඔහු සාම්ප්‍රදායික වාමාංශිකයෙක්. ඔහු ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට මුල පිරුවා. ඔය කියන සුබෝධනී කමිටුව පත් කෙරුණේ ඔහු ඇමති වෙලා හිටපු කාලයේ. සුබෝධනී කමිටුව ඉදිරියට ස්ටැලින් හරි මහින්ද ජයසිංහ හරි ගියා ද කියා මා දන්නේ නැහැ. ඒත් සුබෝධනී වාර්තාවෙන් කියැවුණෙ නැහැ ගුරු සේවය සංවෘත සේවයක් කරන්න කියා. ඒ නිසා වැටුප් කොමිසම ඒ වාර්තාව ප්‍රතික්‍ෂෙප කළා කියන එකයි මගේ හැඟීම. සංවෘත සේවයක් නොකර වැටුප් වැඩි කළා නම් රජයේ අනෙක් සේවකයන්ට ද වැටුප් වැඩි කරන්න සිදු වෙනවා. අප අමතක නොකළ යුතුයි රජයේ ආදායමෙන් 85%ක් පමණ වැටුප් හා දීමනා සඳහා යොදන බව.

 

2020 මැතිවරණයෙන් පසු මා අවුරුදු හැත්තැවක් පමණ දන්නා ජී එල් පීරිස් අධ්‍යාපන ඇමති වුණා. ගුරු වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳීම සඳහා කැබිනට් අනුකාරක සභාවක් පත් කළා. ඔවුන් යම් වැටුප් වැඩි කිරීමක් නිර්දේශ කළා. මෑතක දී මා අවුරුදු හැටක් පමණ දන්නා දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමති වුණා. ආණ්ඩුව පිළිගෙන තියෙනවා ගුරු සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමටත් වැටුප් වැඩි කිරීමටත්. ඒත් ආණ්ඩුව තීරණය කෙළේ වැටුප් වැඩි කිරීම අදියර හතරකින් කිරීමට. ස්ටැලින් හා ජයසිංහ එයට එකඟ නැහැ. පසුගිය දා ගුරු සංගම් නියෝජිතයන් අගමැති මහින්ද හමුවුණේ මෙය නිරාකරණය කර ගන්න. අගමැති පොරොන්දු වෙලා වැටුප් වැඩි කිරීම අදියර දෙකකින් කරන්න. මහින්ද රාජපක්‍ෂ හොඳින් හරි නරකින් හරි වැඩ කරන්න දන්නවා. මේ අවස්ථාවේ නම් හොඳින් වැඩ කර තියෙන්නෙ.

 

ඒත් සැටැලින් හා අනෙක් මහින්ද එයට එකඟ නැහැ. ඔවුන් මස් රාත්තල ම නැහැ මස් කිලෝව ම ඉල්ලනවා. ඔවුන් කියනවා එක් අදියරකින් ම වැටුප් වැඩි කරන්න කියා. මා හිතන්නේ ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරන්න ඕන කියා. 2023 දී එක් අදියරකින් ම වැටුප් වැඩි කරන්න පුළුවන්.  අගමැති මහින්ද 2022 දි තුනෙන් එකක් දෙන්නෙ අහවල් දේකට ද? ඔන්න ඔය ඉල්ලන දේ දීලා දාන්න.

 

මේ වර්ජන රැල්ල ඇති කෙළෙ පාදෙණියගෙ සමිතිය. පාදෙණිය මේ ආණ්ඩුව අපහසුවට පත් කරන වැඩ කරන්නෙක්. ඔහු පොහොර කතාවෙත් මුල ඉන්නවා කියනවා. අනෙක් අතට ස්ටැලින් හා මහින්ද ජයසිංහ කවුද? ස්ටැලින් ගැන දන්නෙ මොනවා ද? රුසියාවෙ ස්ටැලින් නම් මිනිසුන් මැරූ හැටි අපි දන්නවා. මේ ස්ටැලින් මරන්නේ සිංහල ළමයින් ද? ඔහු සෙඩෙක් ආයතනයේ සේවය කර තියෙනවා. ඔහුගේ දෙමවුපියන් කවුද? සිංහල විරෝධි කරුණානිධිගෙ පුතත් ස්ටැලින්. ඒත් මේ ඒ සැටැලින් නො වෙයි. මහින්ද ජයසිංහ ජ වි පෙරමුණේ. මොවුන්ට තියෙන්නෙ හුදු දේශපාලන ප්‍රශ්න මිසක් දේශපාලනය මුසු වෘත්තීය ප්‍රශ්න නො වෙයි. ජ වි පෙ හා ඔවුන් සමග එකට යමපාලනය කළ අය හිතන් ඇති වර්ජනය මගින් බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය විධියට මේ ආණ්ඩුව පෙරළා නැවත යමපාලනයක් ඇති කරන්න. යමපාලන කලෙ ගුරු වැටුප් විෂමතා නැති කිරීමට කිසිවක් නොකළ අය අද ගුරුවරුන් වෙනුවෙන් හෙළන්නෙ කිඹුල් කඳුලු.

 

කොවිඩ් නිසා අර්බුදයට ගිය ආර්ථිකයක කාටත් ප්‍රශ්න තියෙනවා. ආර්ථිකය අර්බුදයට ගියේ ජේ ආර්ගෙ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසාත් වමේ අයිතිවාසිකම් මිස යුතුකම් නැති දේශපාලනය නිසාත්. අදත් ස්ටැලින්ලා මහින්ද ජයසිංහලා යුතුකම් ගැන කතා කරන්නේ නැහැ. රජයේ නාස්තිකාර වියදම් තියෙනවා. ඒ අඩු කරන්න ඕන. මා හිතන්නේ දරුණු ම නාස්තිය වන්නේ අකාර්යක්‍ෂම යුතුකම් නොදන්නා අධිප්‍රසාරණය වූ  රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යෑමෙන්.

 

අර ඉන්දීය ජෙනරල් මනෝජ් කියල අසල්වැසියන්ගෙ ආරක්‍ෂාව ඉන්දියාවෙ ප්‍රධාන මාතෘකාවක් කියල. අම්මපා කියල තමයි කියන්න වෙන්නෙ. ඒක නිසා නෙ ඉන්දීය බලධාරීන් මෙච්චර ලංකාව එන්නෙ. මට මතක් වෙන්නෙ ඉන්දියාව ප්‍රභාකරන් හා උමා මහේස්වරන් වැනි දෙමළ ත්‍රස්තවාදීන්ට ඉන්දියාවෙ (තමිල්නාඩුවෙ) ආරක්‍ෂාව සැපයූ අන්දම. ප්‍රභාකරන් බිහි කෙරුවෙ බටහිරයන් වුණත් ඇති දැඩි කෙරුවෙ ඉන්දියාව. ප්‍රභාකරන් ඒකට කළ ගුණ දක්වන්න ද කොහෙ ද රජිව් ගාන්ධි ඝාතනය කළා.

 

මා හිතන්නෙ නැහැ යාපනයේ ගුරුවරු ස්ටැලින්ගෙ හා ජයසිංහගෙ  කීමට වර්ජනය දිගට ම ගෙන යාවි කියා. යාපනයෙන් උසස් පෙළ ඉල්ලුම් පත් සියල්ල ලැබිල තියෙනවා. ඒත් ස්ටැලින් හා ජයසිංහ සිංහල ළමයින් සමහරකුගෙ ඉල්ලුම් පත් එවීම තම වැඩ වර්ජනය හරහා නතර කරලා. මොවුන් කසිකබල් වුණත් නැති කරන්නෙ සිංහල ළමයින්ගෙ අධ්‍යාපනය.  ගුරුවරුන්ට අද කරන්න තියෙන්නෙ ස්ටැලින් හා මහින්ද ජයසිංහ කියන දේ අහන්න ද නැත්නම් අනෙක් මහින්ද කියන දේ අහන්න ද?