Main Logo

Tuesday 12 October 2021

ජේ ආර් හා බටහිර තොණ්ඩුව

 

ජේ ආර් හා බටහිර තොණ්ඩුව

 

නොබෙල් සතිය ඉවරයි. සතිය කිවුවත් එය ඔක්තෝම්බරයේ පළමුවැනි සඳුදා සිට ඊළඟ සඳුදා දක්වා සෙනසුරාදා හා ඉරිදා හැර දවස් හය. මා නොබෙල් තෑග්ග ගැන විශේෂ උනන්දුවක් දක්වනවා නො වෙයි. මෙරට උගතුන් බුද්ධිමතුන් වියතුන් නොබෙල් ත්‍යාගලාභීන්ට ඉමහත් ගෞරවයක් දක්වනවා. ඒ නිසයි මා නොබෙල් තෑග්ග ලංකාවට හිමි නොවීම ගැන මෙතරම් කතා කරන්නේ. ඊයේ නිකුත් වූ නිවේදනයට අනුව ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයත් ලංකාවට නැහැ. මෙරට ඉන්න ආර්ථික විද්‍යාඥයන් ත්‍යාගයට නුසුදුස්සන් ද?

 

මෙරට උගතුන් බුද්ධිමතුන් වියතුන් තමන් අගය කරන දැනුම් මට්ටම්වලට අනුව ඉහළ මට්ටමක නොවන බවයි මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ. සාමය පිළිබඳ නොබෙල් තෑග්ග දැනුමට සෘජුව බලපාන්නේ නැති වෙන්න පුළුවන්. එහෙත් එහි දී ද සාමය, මානව අයිතිවාසිකම්, භාෂණයේ නිදහස, පරිසර සංරක්‍ෂණය ආදිය තීරණය වන්නේ බටහිර දැනුම අනුව. ඔවුන්ගේ ආකල්ප ප්‍රවාද, සංකල්ප ආදිය අනුව.   

 

උගතුන් බුද්ධිමතුන් වියතුන් කියන්න පුළුවන් අපේ රටේ අවශ්‍ය පහසුකම් නැත කියා. එහෙත් ප්‍රවාදාත්මක (ෙසෙද්ධාන්තික) දැනුම ලබා ගැනීම අද එතරම් ප්‍රශ්නයක් නො වෙයි. අන්තර්ජාලයෙන් ඒ ලබා ගන්න පුළුවන්. අනෙක් අතට මෙරට උගතුන් යම් පිරිසක් බටහිර අදාළ ආයතනවල සේවය කරනවා. ඔවුන්ට ඔය කියන පහසුකම් නැතැයි කියන්න බැහැ. ඒත් අපට නොබෙල් නැහැ.

 

මට නම් නොබෙල් නොලැබීම ප්‍රශ්නයක් නො වෙයි. මට මෙරට රාජ්‍ය සම්මාන, විවිධ ආයතනවලින් පිරිනමන සම්මාන කිසිවක් ලැබී නැතුවා පමණක් නොව කිසිම උගතකු බුද්ධිමතකු වියතකු මා ලියූ ලියන කිසිවක් ගැන හොඳක් කියා  නැහැ. ඒ ගුණදාස අමරසේකරත් ඇතුළුව. මා උගතකු බුද්ධිමතකු වියතකු නො වෙයි. මා ලියන්නේ වල්පල් හෑලි බව සකර්බර්ග් පඬි නැට්ටන් මගේ මුහුණු පොත් පිටුවේ ම සඳහන් කරනවා. ඔවුන් මා හඳුන්වන තරමක් හොඳ ප්‍රකාශයක් වන්නේ පිස්සු නාකියා යන්නයි. මා අනෙක් ප්‍රකාශ සඳහන් කරන්නේ නැහැ.

 

අද මෙරට ආර්ථික අර්බුදයක නැහැයි කියන්න බැහැ. වාසනාවකට අද ඇත්තේ රනිල්ගේ හරි සජිත්ගේ හරි ආණ්ඩුවක් නො වෙයි. අනුර කුමාරගේ ආණ්ඩුවක් ගැන කතා  කරල වැඩක් නැහැ. ඔවුන් තවමත් වැව් දාහ හදනවා. රනිල් හරි සජිත් හරි ආර්ථික අර්බුදයට දෙන විසඳුම කුමක් ද? ඔවුන් වටා ආර්ථික විද්‍යාඥයන් රාශියක් ඉන්නවා. මහා බැංකුවේ හිටපු නිලධාරීන් වත්මන් නිලධාරීන් ආචාර්ය මහාචාර්යවරුන් ආදීන් ඔවුන් සමග ඉන්නවා. සජිත් නම් කියන්නේ ඔහුට ආණ්ඩුව දීම ප්‍රමාණවත් කියා. ඔහු වෙනත් විසඳුමක් ඉදිරිපත් කරන්නේ නැහැ. රනිල් හා ඇතැම් ආර්ථික විද්‍යාඥයන් නම් විසඳුමක් කියනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියන එක.

 

මේ ආර්ථික අර්බුදය පසුගිය අවුරුදු දෙකේ ඇති වූවක් නො වෙයි. එය දශක ගණනාවක් තිස්සේ තියනවා. කොවිඩ් එය උග්‍ර කළා පමණයි. අප දශක ගණනාවක් ක්‍රියාත්මක වී ඇත්තේ ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුවයි. මේ අර්බුදයට මෙරට මධ්‍යම පංතියත් වග කියන්න ඕන. පසුගිය දශක පහක හයක කාලයක මධ්‍යම පංතිය ප්‍රසාරණය වුණා. ඒ ප්‍රසාරණය පදිංචිය සම්බන්ධයෙන් දකින්න පුළුවන්. අද කොළඹ වටා පදිංචි වන්නන් කළුතර, වෙන්නප්පුව, ගොඩගම ආදී ප්‍රදේවලට විහිද යනවා. මධ්‍යම පාංතික අභිලාෂ ඉටු කිරීමට යෑමෙන් ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර වෙනවා.

 

පසුගිය දා ශ්‍රී ල නි ප සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සැමරුවා. ඒත් අප මතක් කර ගත්තේ නැහැ අද තියෙන ආර්ථික අර්බුදය හැත්තෑවේ දශකයේ මුල ඇති වූවක් බව. එය ලෝකය පුරා ම පැතුරුණා. ලෝකයත් තවම ඉන් ගොඩ ඇවිත් නැහැ. බණ්ඩාරනායක මැතිණිය අර්බුදයෙන් ගොඩ ඒමට එක්තරා ආකාරයක ස්වයංපෝෂිත ආර්ථිකයක් හඳුන්වා දුන්නා. එහෙත් එහි දුෂ්කරතා තිබුණා. හාල් පොලු, පාන් පෝලිම්, වේල් කිහිපයක්  බත් නොකෑම ආදිය එහි වූවා. මධ්‍යම පංතියට එය මහත් කරදරයක් වුණා.

 

ජේ ආර් ජයවර්ධන තම ආර්ථික ප්‍රතිපත්තිය දේශනා කෙළේ ඒ අවධියේ. ඔහු ධර්මිෂ්ට ආණ්ඩුවක් පිහිටුවීමට පොරොන්දු වුණා. ධාන්‍ය ඇට අටක් ලබා දෙන බව කිවුවා. මධ්‍යම පංතිය ඔහුට වශී වුණා. ජේ ආර් පාර්ලිමේන්තුවේ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් සහිත ව ආණ්ඩුවක් පිහිටුවූවා. අපේ ආර්ථිකය එදා සිට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ගියා. ඊනියා විවෘත ආර්ථිකය විසින් අප හෙම්බත් කරනු ලැබුවා. කෝ රොනී ද මැල්ගේ ආර්ථික ප්‍රතිපත්ති.  මට මතක හැටියට ඔහු ස්ථාවර තැන්පතු සඳහා 20%ක පමණ පොලියක් ගෙවුවා. ලලිත් ඇතුළත්මුදලි නම් ඔක්ස්ෆර්ඩ් බුද්ධිමතා කිවුවේ යම් භාණ්ඩයක් මෙරට නිෂ්පාදනය සඳහා යන වියදමට අඩු මිලකට පිටරටින්  ආනයනය කළ හැකි නම් අප එය නිෂ්පාදනය නොකළ යුතුයි කියා. අප සතුව තිබූ රාජ්‍ය කර්මාන්ත ශාලාවලට සිදු වූ දේ ආර්ථික විද්‍යාඥයන්ගෙන්ම අහන්න ඕන.

 

අප මුළුමනින් ම මෙන් ඊනියා ලෝක වෙළෙඳ පොළේ නිකම්ම නිකම් දැත්තක් බවට පත් වුණා. ඒ එ ජා පක්‍ෂයේ හා ඔවුන් වටා සිටින ආර්ථික විද්‍යාඥයන්ගේ බුද්ධි මහිමය. බටහිරයන්ගේ තොණ්ඩුවේ අප හිර වුණා. අප ඒ තොණ්ඩුවේ හිර වුණේ ආර්ථික විද්‍යාවේ දී පමණක් නො වෙයි. භෞතික විද්‍යාවේ සිට සෑම ක්‍ෂෙත්‍රයක ම අප තොණ්ඩුවේ හිර වෙලා. ඒත් අපට නොබෙල් නැහැ. ඉංගිරිසියෙන් නම් නෝ නොබෙල්.

 

ජේ ආර් කළ තවත් දේ තිබුණා. මැතිවරණ කල් දැම්මා. ඒ සඳහා ඊනියා ජනවරමක් ද ලබා ගත්තා. අලුත් ව්‍යවස්ථාවක් ඇති කළා. ඡන්ද ක්‍රමය වෙනස් කළා. දුෂිත මැතිවරණ ව්‍යාපාරවලට මග පෑදුවා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. ඒ සියල්ලටමත් වඩා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කළා. අද අප විඳින්නේ ඒ සියල්ලෙහි ප්‍රතිඵලයි. අප ඒ ශාපයට හසු වෙලා. එය දාහත් අවුරුදු ශාපයක් නො වෙයි. එය කුවේණිගේ ශාපය මෙන් දිගින් දිගට යනවා. එයට කියන්න පුළුවන් ජේ ආර් ශාපය කියා. කුවේණිගේ ශාපය ඇත්තට ම විජය ශාපයක්.

 

අද පෙහොර ප්‍රශ්නයේ දී ද පිටි කිරි ප්‍රශ්නයේ දී ද මේ ශාපය දකින්න පුළුවන්. සිමෙන්ති අපට ආනයනය කරන්න සිදු වෙලා. අපේ සිමෙන්ති කම්මලට මොකද වුණේ? හාල් ප්‍රශ්නයේ දී ද පොහාර ප්‍රශ්නය බලපානවා. අද ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම් හොයන්න බැහැ. මා ආර්ථික විද්‍යාඥයකු තබා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. අර පඬි නැට්ටන්ට අනුව නම් පිස්සු නාකියෙක්.  ඒත් මටත් යෝජනා තියෙනවා. ඒ අද ඊයේ ඉදිරිපත් කරන්නක් නො වෙයි.

 

1980 මා නව සමසමාජ පක්‍ෂයෙන් අස් වුණේ ජේ ආර් බලයට පැමිණ අවුරුදු තුනකට අඩු කාලයකින්. මෙරට එකල තිබූ වමට ජේ ආර්ට මුහුණ දෙන්න දැනුමක් තිබුණේ නැහැ. අවසානයේ දී නව සමසමාජ පක්‍ෂය තමන් දත් එක ම දෙය වූ මහා වැඩ වර්ජනයක් යෝජනා කළා. එය ක්‍රියාත්මක වුණේ අසූවෙ ජූලියෙ. එවකට මා පක්‍ෂයේ නැහැ. ජේ ආර් ජූලි වැඩ වර්ජනය  නිර්දය ලෙස මර්දනය කළා කිවුවොත් එය වැරදියි. ඔහුූ අළුගෝසුවකු වුණා. මා හිතන්නේ මාඝවත් ජේ ආර් තරම් හානියක් මේ රටට කර නැහැ. අද භාවිතා වන ව්‍යවහාරයකට අනුව, අසු තුනේ ජූලි වැඩ වර්ජනයේ  මහා මොළ කාරයා වූ වික්‍රමබාහු අද ජේ ආර්ගේ බෑණා සමග! 

 

ජූලි වැඩ වර්ජනයෙන් පසු වම නැති වුණා. දැන් වමාලා ඉන්නවා වමක් නැතිව. ජූලි වැඩ වර්ජනයෙන් පසු නව සමසමාජයේ සිටි අමරදිවාකර වැන්නන් පමණක් තමන්ට වූ අසාධාරණයට විරුද්ධ ව නැගී හිටියා.  මට ඔහු පසු දිනෙක හමු වුණේ මා කැලණියේ විද්‍යා පීඨාධිපති ව සිටිය දී. එහි විද්‍යා පීඨයේ ශිෂ්‍යාවක් වූ ඔහුගේ දියණියගේ ප්‍රශ්නයක් ගැන කතා කිරීමට ඔහු පීඨයට පැමිණ සිටියා. කෙසඟ සිරුරක් ඇති ඔහුගේ විසල් මනස ගැන ආඩම්බර වීම හැරෙන්න මට දේශපාලනික ව කරන්න දෙයක් තිබුණේ නැහැ.

 

ඒත් ජේ ආර්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට විරුද්ධ ව ඔහුගේ ඥාතියකු වූ උපාලි විජයවර්ධන වැඩ කළා. ඔහු යම් යම් දේ නිෂ්පාදනය කළා. එකලස් කළා. ඔහු දිවයින නමින් පත්තරයක් ද පටන් ගත්තා. එහි ප්‍රධානියා වුණේ සියරට පත්තරේ ද කතෘ ලෙස කටයුතු කර තිබූ එඩ්මන්ඩ් රණසිංහ. ඔහුට ජාතිකත්වයක් තිබුණා. එකල මා කොළඹ විශ්වවිද්‍යාලයේ. අප එහි දී ගවේෂකයෝ ආරම්භ කළා. මා දිවයින  පත්තරයට ලිවුවා. ගුණදාස අමරසේකර ජාතික චින්තනය යන යෙදුම ප්‍රචලිත කළා. 

 

මා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදේට නටන්න නො වෙයි. අප බාහිර ලෝකයෙන් ගැල වී බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමට යෝජනා කරන්නෙත් නැහැ. අප එහෙම කරන බව කිවුවෙ ජ වි පෙ හා කොළඹ විශ්වවිද්‍යාලයේ සුවාදීන  ගැත්තන්. එකල ධම්ම දිසානායකත් ජගත් වැල්ලවත්තත් සුවාදීනයන්. අප බාහිර ලෝකයෙන් යම් යම් දේ ලබා ගන්නා අතර ම ස්වාධීන වන්න ඕන. අප හැකිතාක් ආනයන අඩු කරන්න ඕන. අපනයන වැඩි කරන්න ඕන. එහෙත් අපට ක්‍ෂණික ව අපනයන වැඩි කරන්න බැහැ. අද කළ හැක්කේ ආනයන අඩු කිරීමයි. අපට හැකි දේ නිෂ්පාදනය කිරීම. ප්‍රශ්නය අපට මහා පරිමාන නිෂ්පාදන කළ හැකි අය ඉන්නවාද කියන එක. ලෝකය ධනවාදය සමාජවාදය යන සංකල්ප ඔස්සේ සංස්කරණය (නිර්මාණය) කරන පඬි නැට්ටන්ට, වමාලාට මා කියන දේ ධනවාදී වෙන්න පුළුවන්.

 

ඉහත සඳහන් දේට හරහට ඉන්නේ ප්‍රසාරණය වූ මධ්‍යම පංතිය. ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්ප බලාපොරොත්තු බටහිර තකතීරු අධ්‍යාපනයක් හරහා ලැබෙන දේ. ඒ වෙනස් නොකර රටට සුගතියක් බලාපොරොත්තු වන්න බැහැ. අද අපේ බෙල්ලට බටහිර තොණ්ඩුව වැටිලා. එය ආර්ථිකයේ කෘෂිකර්මයේ ගණිතයේ භෞතික විද්‍යාවේ හැම තැන ම දකින්න පුළුවන්. අප තොණ්ඩුවේ ඉඳිමින් ම බෙල්ල එහාට මෙහාට හරවනවා. එයින් තොණ්ඩුව තව තවත් තද වෙනවා. තොණ්ඩුව ගලවන විධියක් හොයමු. පළමුවෙන් අපේ ආකල්ප වෙනස් කර ගනිමු.