Main Logo

Tuesday 5 October 2021

කාදිනල්තුමාගෙන් අහමු

 

කාදිනල්තුමාගෙන් අහමු

 

කාදිනල්තුමා නිතර කියන කතාවක් තමයි මේ රටේ නීතිය හැමට එක වගේ ක්‍රියාත්මක නොවන බව. ඒක ඇත්ත. එතුමා මේ කතාව කියන්නේ විශේෂයෙන් ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. පාස්කු ප්‍රහාරයේ දී මිය ගිය අයගෙන් විශාල පිරිසක් කතෝලිකයන්. ඒ නිසා ම කාදිනල්තුමාටත් මෙරට බිෂොප් සභාවටත් වගකීමක් තියෙනවා පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් සොයා ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට.

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ අය විවිධ කතා කියනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතැමුන්ගෙන් ඒ සම්බන්ධ ව ප්‍රශ්න කර තියෙනවා. ඒ කළ යුතුයි. මා ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තියෙනවා. මා ඒ සෑම එකක් ම ප්‍රසිද්ධ ව කර තියෙන්නෙ. ඒත් මා ඒ අහවලා කළ බවක් හරි අහවලා වග කිව යුතු බවක් හරි කියා නැහැ. මගේ ප්‍රකාශ පළල් නැත්නම් සමූහ වශයෙන් කරන සාධාරණ (පොදු)  ප්‍රකාශ.

 

ඒ සෑම එකක් ම නැවත කීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ඉතා කෙටියෙන් කියනවා නම් මෙහි මුල ඇත්තේ බටහිර ක්‍රිස්තියානි (කතෝලික නොවෙයි) නූතනත්වය. මෙහි ඇත්තේ එකී සභ්‍යත්වය හා මුස්ලිම් සභ්‍යත්වය අතර ගැටුමක්. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වය මුස්ලිම් වහාබ්වාදී අන්තවාදීන් කොටසක් ද තම වුවමනා වෙනුවෙන් යොදා ගන්නවා. ක්‍රිස්තියානි නුතනත්ව සභ්‍යත්වයට චීන සභ්‍යත්වය සමගත් ගැටුමක් තියෙනවා. එහි දී දකුණු හා අග්නිදිග ආසියාව අස්ථාවර කිරීමත් චීන වෙළෙඳාමට බාධක ඇති කිරීමත් බටහිර රටවල මෙන් ම ඉන්දියාවේ හා ජපානයේත් අවශ්‍යතාව.

 

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මේ අස්ථාවර කිරීම සඳහා විශේෂයෙන් ම ආරක්‍ෂක කටයුතු දුර්වල රටවල් තෝරා ගන්නවා. යහපාලන සමයේ මෙරට ආරක්‍ෂාව බල්ලකුටවත් දී නොතිබුණු බව මා කියා ඇති. පාස්කු ප්‍රහාරය සිදු වුණේ ඒ පසුබිමේ. එහි වගකීමක් පවරන්නේ නම් ඒ සමස්ත යහපාලන ආණ්ඩුවටයි. එයින් අදහස් කරන්නේ ඇමතිවරුන් සිටි පක්‍ෂ පමණක් නොවෙයි. ආණ්ඩුවට සහාය දුන් ජ වි පෙරමුණත් එයට වග කියන්න ඕන. දින පනස් දෙකේ ආණ්ඩුව වට්ටවා නැවත රනිල් බලයට පත් කිරීමට ජ වි පෙ නායකයන් ගත් උත්සාහය හා යහපාලන ආණ්ඩුවට ඔවුන් දුන් සහාය අමතක කරන්න බැහැ. අද ජ වි පෙ නැවතත් ඔවුන්ගේ සුපුරුදු සිංදුව උනුත් එකයි මුනුත් එකයි ගායනා කරන්න පටන් අරන්. එහෙම නම් ජ වි පෙරමුණට තියෙන්නෙ මේ ආණ්ඩුවට සහාය දීම.

 

යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා රනිල්. මෛත්‍රිපාල ජනාධිපති වුණත් ආණ්ඩුව ගෙන ගියේ රනිල්ගේ හා එකල එ ජා පක්‍ෂයේ අවශ්‍යතාව අනුව. ශ්‍රී ල නි පක්‍ෂයට වඩා ජ වි පෙ එහි දී වැදගත් වුණා. යහපාලන ආණ්ඩු කාලයේ රටේ ආරක්‍ෂාව බිඳ වැටීමට එ ජා ප, ජාතික හෙළ උරුමය, විවිධ මුස්ලිම් පක්‍ෂ, දෙමළ ජාතික සංධානය හා ජ වි පෙ වගකියන්න ඕන. ඒ අසික්කිත සංධානයේ නායකයා හැටියට රනිල් වගකියන්න ඕන. එමෙන් ම යහපාලන ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කළ බටහිරයන් හා ඉන්දියාව ද වග කියන්න ඕන.

 

කාදිනල්තුමා දන්නේ මෙයට වඩා වෙනස් දෙයක් වෙන්න ඕන. එතුමා නිතර මහා මොළකරුවකු ගැන කියනවා. මගේ කතාව අනුව නම් මහ මොළකරු එංගලන්තයේ ඔත්තු සේවාවන්හි ප්‍රධානියා. එහෙම නැත්නම් ඔහු වෙනුවෙන් දකුණු ආසියාව භාර ව කටයුතු කරන තැනැත්තා. මෙරට නම් මහා මොළකරුවකු මා දකින්නේ නැහැ. කොහොමටත් මෙරට මහා මොළකරුවන් නැහැ. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ.

 

අද වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් පිරිසකට විරුද්ධ ව නඩු පවරලා තියෙනවා. තවත් සමහරුන් ගැන තවමත් පරීක්‍ෂණ පැවැත්වෙනවා. මා හිතන්නේ හිටපු ඇමතිවරයකු වූ බද්‍යුද්දීන් ද අර ප්‍රභූ නීතිඥයා ද ඒ අතර වෙනවා. එහෙත් කාදිනල්තුමා කියන දෙයින් පැහැදිලි වන්නේ එතුමා එයින් සෑහීමකට පත් වී නැති බවයි. එතුමාට අනුව මියගිය අසරණ ජනතාවට තවම සාධාරණයක් ඉටු වෙලා නැහැ.

 

ඒ කියන්නේ එතුමා පාස්කු ප්‍රහාරය ගැන වෙනත් තොරතුරු දන්නා බවයි. ඒ තොරතුරු හංගාගෙන සිටීම වරදක්. කාදිනල්තුමා නොව අතිපූජ්‍ය මහානායක හාමුදුරුවන් වහන්සේ නමක් කළත් වරදක්. අවශ්‍ය නම් ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගෙන් අහන්න. උන්වහන්සේ විිද්වත් භික්‍ෂු සංගමයක සාමාජික හාමුදුරුනමක්. ඇඹිලිපිටියේ වැඩවාසය කළත් උන්වහන්සේට දිගා මඩුල්ල කිට්ටුයි.

 

වරක් කාදිනල්තුමාගේ ප්‍රකාශයකින් කියැවුණේ මෛත්‍රිපාල සිරිසේන තම වගකීම පැහැර හැර ඇති බවක්. ඒ කෙසේ වෙතත් එතුමා මාධ්‍ය සංදර්ශන පවත්වන එක වෙනුවට තමන් දන්නා තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාරතමේන්තුවට හෙළිදරවු කරන්න  ඕන. එසේ නොකිරීම නම් මා හිතන විධියට කතෝලික ජනතාවට කරන අසාධාරණයක්. මා ඉල්ලා සිටින්නේ නැහැ කාදිනල්තුමාගෙන් දෙමළ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් බිෂොප්වරුන්ගේ නම් හෙළිදරවු කරන්න. සිංහල බෞද්ධයන් වශයෙන් අප ඒ වද වේදනා සියල්ල විඳ දරාගන්නම්. අපට ඒ සම්බන්ධ ඇති වෛරයක් නැහැ. අප ඇහැට ඇහැක් ඉල්ලන්නේ නැහැ. වෛරයෙන් වෛරය නොසංසිඳේ යන බුදු වදන  අනුව අප ජීවිත හැඩ ගස්ස ගන්න උත්සාහ ගන්නවා.

 

මෙරට නීතිය එක් එක් පුද්ගලයාට එක් එක් අයුරින් ක්‍රියාත්මක වන බව ඇත්ත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අර අහිංසක මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාගේ උපකල්පන ගැන ප්‍රශ්න කරනවා. මන්ත්‍රීතුමාට හොඳ බටහිර විද්‍යාඥයෙක් වෙන්න තිබුණා. බටහිර විද්‍යාඥයන් ද වැඩ කරන්නේ උපකල්පන මත. සමහර වෙලාවට ඔවුන්ගේ උපකල්පන වැඩ කරනවා. මන්ත්‍රීතුමාගේ උපකල්පනය නම් වැඩ කර නැහැ. එහෙත් මන්ත්‍රීතුමාට වියුක්ත උපකල්පන ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳ අනාගතයක් තියෙනවා.

 

අහිංසක මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කාදිනල්තුමාගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. නීතිය හැමෝට ම ක්‍රියාත්මක වෙන්න ඕන.  කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය ගැන යම් තොරතුරු දන්නා බවයි එතුමාගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ. උසාවියට ඉදිරිපත් කෙරී ඇති අය ගැන එතුමා සෑහීමකට පත්වන්නේ නැහැ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කාදිනල්තුමාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නේ නැත්තේ ඇයි. එතුමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම නිලයට කරන අගෞරවයක් නම් අදාළ නිලධාරීන්ට කාදිනල් මාළිගාවට ගොස් ඒ ප්‍රකාශය සටහන් කර ගත හැකියි. එසේ නොකිරීම කාදිනල්තුමා කියන අයුරින් ම මිය ගිය කතෝලිකයන්ටත් ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ටත් කරන අසාධාරණයක්.