Main Logo

Thursday 28 October 2021

මියන්මා රජය ධීවර යාත්‍රා නිදහස් කරලා

 

මියන්මා රජය ධීවර යාත්‍රා නිදහස් කරලා

 

මා මියන්මාහි තානාපති කාර්යාලයේ නිදා සිටි අවධියේ සිහිනෙන් කරන ලද වැඩක අවසාන ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. අර ධිවරයන් දොළොස් දෙනා නිදහස් කරනු ලැබූවත් ඔවුන් ගමන් කළ යාත්‍රා දෙක නිදහස් කෙරුණේ නැහැ. ඒවා මියන්මා රජය අත්අඩංගුවට ගෙන තිබුණා. මට ඊයේ දැන ගන්න ලැබුණා මියන්මා රජය ඒ යාත්‍රා දෙක ද නිදහස් කරල කියා. එය ඉතා වැදගත් ආරංචියක් බවට සැකයක් නැහැ.

 

මා නින්දෙන් පසු වූ පසුගිය ජූනි මාසයේ තානාපති කාර්යාලයෙන් මියන්මා විදේශ අමාත්‍යාංශයට ඉංගිරිසින් ලෝකයට පුරුදු කර ඇති රාජ්‍යතාන්ත්‍රික ගණුදෙනු කරන ආකාරය අනුව ඔවුන්ට තෙවැනි පාර්ශ්ව දැන්වීමක් (Third Party Note) කෙරුණා. ඒ යාත්‍රා නිදහස් කරන ලෙස නින්දෙන් කෙරුණු අවසාන ඉල්ලීමයි. ඉන් පසු ජූලියේ මට නින්දෙන් ම කොවිඩ් හැදුණා. මා දින කිහිපයක් සිහි විකල් ව විකාර කියෙවුවා. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් නම් කියන්නේ මා හැමදාමත් විකාර කියවන බව. මේ පඬි සමාජවාදී විකාර ගැන පසුව කියන්න ඕන. ජ වි පෙ නැවතත් ගමෙන් පටන් ගන්න යන බවට විකාර කියවනවා. ජීවිතය ලස්සන කරන විසඳුම් ගේන්න යනවා. මල් ශාලාවලටත් දන්වන්න ඕනද? ලස්සනට තියෙයි.

 

ඒ කොහොම වෙතත් සැප්තැම්බරයේ මා නින්දෙන් අවදි වී ආපසු ලංකාවට ආවා.  තානාපති ධුරයේ වැඩ බලන සංඛපාලි මහත්මිය මියන්මා විදේශ අමාත්‍යාංශයට අර දැන්වීම ගැන සිහි කැඳවීම් යවා තියෙනවා. ඊයේ මියන්මා බලධාරීන් යාත්‍රා නිදහස් කිරීමට ගත් තීරණය දැනුම් දී තියෙනවා. දැන් මෙරට විදේශ අමාත්‍යාංශයත් ධීවර අමාත්‍යාංශයත් ඒ යාත්‍රා ආපසු ලංකාවට ගෙන ඒමට අවශ්‍ය පියවර ගනීවි.

 

මා ඒ ටික කිවුවේ ගෞරවයක් පිළිගැනීමක් බලාපොරොත්තුවෙන් නො වෙයි. මෙරට උගතුන්ගේ බුද්ධිමතුන්ගේ පිළිගැනීමකට උගතකු බුද්ධිමතකු නොවන මා ලක් නොවන බව මා දන්නවා. මා ඊයේ (ඔක්තෝම්බර් 27) සඳහන් කළ මාල් විජයරත්න තම න ච සො න ච අඤ්ඤො කෘතියෙහි මා බුද්ධිමතකු ලෙස  හඳුන්වා දී තිබෙනවා. එයට සමහරුන්ගේ කැමැත්තක් නැතිවිය හැකි බවත් ඔහු ඒ සමග ම කියා තියෙනවා. ඔහු දන්නවා ඇති උගත් සමාජය මා ගැන හිතන හැටි.

 

මා තානාපති කාර්යාලයේ නිදා සිටි සමයේ මියන්මා දේශපාලනය හැරෙන්න අනෙක් දේශපාලන කටයුතු ගැන මගේ මත පළ කළා. දැන් මට මියන්මා දේශපාලනය ගැනත් ලියන්න කියන්න පුළුවන්. මා රාජ්‍ය සේවයේ ඊනියා ආචාර ධර්මවලින් බැඳිලා නැහැ. මා හිතන අයුරින් අදහස් ප්‍රකාශ කරනවා.

 

මෙරට ජනමාධ්‍යවේදීන් කෙතරම් ප්‍රබුද්ධයන් වුවත් ඊනියා වාමවාදී/ප්‍රගතිශීලි අදහස් දැරුවත් ප්‍රවෘත්ති ලබා ගන්නේ බටහිර ජනමාධ්‍යවලින්. බටහිර ජනමාධ්‍ය මියන්මා හමුදා රජයට කැමති නැහැ. ඔවුන්ට අවශ්‍ය තම ගැත්තකු හරි ගැත්තියක හරි ලවා හමුදා ආණ්ඩුව පෙරළා දමා බටහිර ගැති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටුවීමටයි. රට බෙදීමටයි. ඔවුන් තවමත් ඒ සඳහා යොදා ගන්නේ මියන්මාහි චන්ද්‍රිකා වූ අවුන් සාං සු චී. කලින් හමුදා ආණ්ඩුව  වැරදි කර තියෙනවා. ඒත් උපන්ගෙයි මිනීමරුවන් වූ බටහිරයන් වත්මන් හමුදා ආණ්ඩුව මනුෂ්‍ය ඝාතක රැළක් ලෙස ලෝකයට දක්වනවා. එයට ඇත්තේ එකම එක හේතුවක්. හමුදා ආණ්ඩුව බටහිර ගැති නො වීම.

 

බටහිරයන් අපේ හමුදාවට රණවිරුවන්ට විරුද්ධ ව ලෝකය පුරා ගෙන යන ප්‍රචාරය සලකන්න. අප දෙමළ ජනයා සමුලඝාතනය කළ බවයි ඔවුන් කියන්නේ. ඒ අන් කිසිවක් නිසා නොව අපේ හමුදාව බටහිරයන්ගේ ආශිර්වාදය අනුග්‍රහය හා තවත් දේ ලැබූ අනභිබවනීයැයි රොහාන් ගුණරත්න ඇතුළු ඊනියා විශේෂඥයන් පැවසූ කොටි ත්‍රස්තවාදීන් පරාජය කළ නිසයි. අපේ විශේෂඥයන් පොහොර ගැනත් තවත් දේ ගැනත් කතා කරනවා. ඔවුන් විශේෂ අඥයන් බවයි මගේ හැඟීම. බටහිරයන් කියන දේ තමන්ට වැටහෙන අයුරින් පරිවර්තනය කර කියවීම තමයි විශේෂ අඥයන්ගේ කාර්ය භාරය.

 

ධිවරයන්ගේ ප්‍රශ්නය ඇති වුණේ මියන්මා හමුදා ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව. අප ධීවර ප්‍රශ්නය ගැන මුළුමනින් ම සාකච්ඡා කෙළේ හමුදා ආණ්ඩුව සමග. අපට නිදහස් කර ගැනීමට හැකි වූයේ මියන්මා නීතියට අනුව සිර දඬුවමකට නියම කෙරුණු ධිවරයන් හා අත්අඩංගුවට ගැණුනු යාත්‍රා. හමුදා ආණ්ඩුවත් එයට  පක්‍ෂපාත භික්‍ෂූන් වහන්සේත් ලංකාවට ගරු කරනවා. මා දන්නා අන්දමට හාල් මෝලුන් හාල් හංගද්දී මියන්මා ආණ්ඩුව අපට හාල් මෙට්ට්‍රික් ටොන් තිස්දාහක් ලබා දී තියෙනවා. පඬි නැට්ටකු කියන්න පුළුවන් මුදල්වලට කියා. හමුදා ආණ්ඩුව ඇලි ඇතා දන් දුන් වෙස්සන්තර රජකු නො වෙයි.

 

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කියන්නෙ බටහිරයන් විසින් බටහිරයන් වෙනුවෙන් පවත්වා ගනු ලබන බටහිරයන්ගේ ආණ්ඩු සහිත රටවල්වලට. පඬියන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක පැටළිලා. වමක් නැති දකුණේ වමාලා ප්‍රජාතන්ත්‍රවාදී වැලේ හිරවෙලා හුස්ම ගන්න දඟලනවා. බටහිරයන් හිතන්නේ තමන් වෙනුවෙන් පවත්වා ගන්නේ නැති ආණ්ඩු පෙරලා දැමීම තම ශුද්ධ වූ අයිතියක් බවයි. ඒත් අද බටහිරයන් ශක්තිමත් නැහැ. චීනයටත් යුද්ධ ශක්තියක් නැහැ. ඒ අතර බටහිර දැනුම කඩා වැටිලා. විකල්පයක් නැති නිසා බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තවමත් ඇදි ඇදී යනවා. වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම මත රැඳෙනවා ද? එය පාලනය කරන්න පුළුවන් ද? බැරි නම් ඒ ඇයි? අපේ ආර්ථිකවිද්‍යා විශේෂ අඥයන් මොක ද කියන්නෙ. මොන සංකීර්ණ කතා කිවුවත් ප්‍රශ්නය එපමණයි. ඩඩ්ලි සිරිසේනගෙන් අහමු ද?         

 

ලංකාව හා මියන්මා අතර සම්බන්ධය තවත් දැඩි වෙන්න ඕන. පඬි නැට්ටන් මේ ගැන කියන දේ තුට්ටුවකවත් මායිම් කරන්න ඕන නැහැ. අප රටවල් අතර අඩු තරමෙන් එකොළොස්වැනි සියවසේ සිට සංස්කෘතික හා වෙනත් සම්බන්ධකම් තියෙනවා. මා ගිහින් ඇති රටවල්වලින් මට ලංකාවෙන් පිට ගෙදරක් වූයේ මියන්මා දේශය පමණයි. ලංකාවෙන් යන බොහෝ දෙනකුට ඒ බව දැනෙනවා.