Main Logo

Thursday 7 October 2021

පැන්ඩෝරාට පැන් වැඩීම

 

පැන්ඩෝරාට පැන් වැඩීම

 

පළමුව ඊයේ (ඔක් 06) ලිපියට පොඩි එකතු කිරීමක් කරන්න ඕන. මට පසුව ආරංචි වූ ආකාරයට ඉන්දීය විදේශ ලේකම් ජනාධිපතිතුමාට කරුණු කියනවාට වඩා අනෙක් පැත්තයි සිදු වී තිබෙන්නේ. ජනාධිපතිතුමා විදේශ ලේකම්ට කියා තියෙනවා ජනතා අභිලාෂයන්ට විරුද්ධ ව වැඩ කරන්න බැහැ කියන එක. විදේශ ලේකම් ඒ සියල්ල අසාගෙන ඉඳලා ගිහිල්ලා.

 

අප සියලු දෙනා ම එකතු වී මේ රට ගොඩ ගන්න ඕන. එහෙත් එය වෙන්නෙ නැති වැඩක්. ඒ කියන්නෙ රට ගොඩ ගන්න බැහැ එක නො වෙයි. සියලු දෙනා ම එකතු වෙන්නෙ නැති එක. අපට ඉන්දියාවටවත් චීනයටවත් බටහිරටවත් ගැති වීමට අවශ්‍යතාවක් නැහැ. ඒ කිසිවකු තරහා කර ගැනීමටත් අවශ්‍ය නැහැ. මෙරට ජනතා අභිලාෂය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්පූර්ණයෙන් ම ලංකාව යටතට ගැනීමයි. ඇමති උදය ගම්මන්පිළ ඒ කරන්න උත්සාහ ගන්නවා නම් අප එයට සහාය දෙන්න ඕන. අද යම් ගිවිසුමක් යටතේ තෙල් ටැංකි, මා දන්නා තරමින් නම් අසූපහක්, ඉන්දියාවටත් ලංකාවටත් හවුලේ අයිතියි. එහෙත් එය අවිධිමත් ගිවිසුමක්. ඉන්දියාවට ඕන ඒ අවිධිමත් ගිවිසුම විධිමත් කිරීම. මෙරට ජනතා අභිලාෂය අවිධිමත් ගිවිසුමත් අවලංගු කිරීම.

 

යහපාලනයට හවුල් වූ අය කතා කරන්නේ අවිධිමත් ගිවිසුම එ ජා ප ආණ්ඩු කාලවල ඇති වූ බව අමතක කරමින්. තමන් වරදක් කර ඇත්නම් කළ යුත්තේ මේ ආණ්ඩුවත් සමග එකතු වී එය නිවැරදි කර ගැනීම මිස ආණ්ඩුව අරක කරන්න යනවා මේක කරන්න යනවා කියමින් ඡන්ද හිඟා කෑම නො වෙයි. අප  අනුකරණය  කරන්නේ ඉංගිරිසි ප්‍රජාතන්ත්‍රවාදය. ඉංගිරිසින් විරුද්ධ පක්‍ෂයට කියන්නේ රැජනගේ විරුද්ධ පක්‍ෂය කියා. ඔවුන් විරුද්ධ පක්‍ෂයෙන් බලාපොරොත්තු වන්නේ සාධනීය විවේචන මිස කඩාකප්පල්කාරී විවේචන නො වෙයි. එහෙත් අනුකාරක අප ලබා ගෙන ඇත්තේ වෙනින් මොකක්දෝ  ප්‍රජාතන්ත්‍රවාදයක්.

 

ග්‍රීක කතාවක තියෙන පැන්ඩෝරා පෙට්ටිය දැන් තියෙන්නෙ ලංකාවෙ. මා හිතන්නෙ ග්‍රීකයන්ට වඩා මෙරට වැසියන් දැන් පැන්ඩෝරා ව දන්නවා කියා. ඒත් ඒ ලාංකික පැන්ඩෝරාවක්.  ග්‍රීක පැන්ඩෝරා සියුස් කියන දෙවියන්ගේ ප්‍රධානියාගෙන් ලැබුණු භාජනයක් තම සැමියා භාරයේ තිබිය දී විවෘත කර තියෙනවා. සියුස් ඒ භාජනයේ සියළු නරක තැන්පත් කර තියෙනවා. සියුස් එසේ කර ඇත්තේත් තමාගෙන් ගින්දර හොරකම් කිරීම නිසා ඒ වෙනුවෙන් පළිගන්න. අපේ ශක්‍රයා නම් එහෙම කරන්නේ නැහැ. කොහොමටත් ග්‍රීක කතාව අනුව ලෝකයට නරක ලැබී ඇත්තේ ඒ අයුරෙන්.  පැන්ඩෝරා තම සැමියා භාරයේ තිබූ භාජනය ඔහු නැති අතර අරින එක හොඳ ද නරක ද කියා කතාවේ කියන්නේ නැහැ. නරක ලැබුණේ භාජනය විවෘත කිරීමෙන් පසු නිසා සැමියා නැති අතර භාර්යාව ඔහුට අයත් දේ සොයා බැලීම හොඳ වැඩක් වෙන්න ඕන. භාජනය කල් යෑමේ දී පෙට්ටියක් බවට විකාශය වෙලා තියෙනවා.

 

ලාංකීය පැන්ඩෝරා ගැහැණු ද පිරිමි ද කියා කිසිවකු දන්නේ නැහැ. දැන ගන්න ඕනත් නැහැ. පැන්ඩෝරා පැන්ඩෝරා කිවුව පමණින් පඬි වෙනවා. පැන්ඩෝරා ගැහැණු ද පිරිමි ද යන්න ගැන වගේ වගක් නැති වුණත් පෙට්ටියෙන් ඇවිත් තියෙන්නේ නිරූපමා රාජපක්ෂ හා ඇගේ සැමියා තිරුකුමාර් නඩේසන්. නිරූපමා රාජකීය විදුහල් ක්රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ව සිටි ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය. ජෝර්ජ් ක්රීඩා කරනු බැලීමට ඔහුගේ පියා ඩී එම් රාජපක්ෂ පැමිණි බව සෑම් විජේසිංහ කියා තිබුණා. සෑම් විජේසිංහ ගිරුවාපත්තුවේ ගැටමාන්නේ. මහින්දට මහේන්ද්ර කියල ඩී ඒ රාජපක්ෂට නම යෝජනා කරල තියෙන්නෙ සෑම් විජේසිිංහ. සෑම් විජේසිංහ රනිල්ගේ මාමා. මහින්ද රාජපක්ෂගේ පියා ඩී ඒ රාජපක්ෂ, ඩී එම්ගේ සොහොයුරා. නිරූපමා නෑකමට මහින්දගේ දුවක් වෙනවා. තිරුකුමාර් නඩේසන් ගැන සඳහන් වන්නේ ඔහු මහාරාජා සමාගමේ සමූහ අධ්යක්ෂ ලෙසයි. රාජපක්ෂ ගැන කතා කරන විපක්ෂය කිලී මහාරාජා ගැන කතා කරන්නේ නැහැ.

මේ සිද්ධිය ගැන අහන විට මෙරට කෙතරම් පිරිසිදු දේශපාලනඥයන් ඉන්නවා ද කියන එක වැටහෙනවා. නිරූපමාට හැරෙන්න මෙරට දේශපාලනඥයන් අතිවිශාල බහුතරයකට පිටරට බැංකුවල ගිණුම් නැහැ. පිටරට දේපොළ නැහැ. පිටරට රැකියා කළ අය ගැන මා දන්නේ නැහැ. එහෙත් පිටරට රැකියාවක් නොකළ මෙරට දේශපාලනඥයන්ගේ සියලු ගිණුම් ඇත්තේ මෙරට බැංකුවල. ඔවුන්ගේ දේපොළ සියල්ල ඇත්තේ මෙරට. මෙතරම් සුදනන් කපුරුහාමිලා දේශපාලනයේ ඉන්න රටක රටවැසියන් වීමට අප පින් කර තියෙන්න ඕන.

 

නිරූපමා හා තිරු නඩේසන් රටට එන්න තියෙන ධනය පිටරට තැන්පත් කරල තියෙනව නම් එය තදබල වරදක්. ඒත් මෙරට නීතිය අනුව අපට ඒ ධනය ලබා ගන්න පුළුවන් ද ඔවුන්ට දඬුවම් කරන්න පුළුවන් ද යන්න මා දන්නේ නැහැ. ඔවුන් තවත් වරදක් කර තියෙනවා. පිටරට දේපොළ තමන්ගේ නමින් තබා ගැනීම. ඔවුන්ට ඇත්තේ අවිද්‍යාවක්. විද්‍යා අමරලා ඔවුන්ට නැහැ. අමරලා ඉන්නේ පොත්වල. මා කියන්නේ පොත් පෙරළීම ගැන නො වෙයි.

 

මට මතක් වෙන්නේ ඉම්රාන් කියන කතාව. ඔහුට අනුව දුප්පත් පොහොසත් රටවල් නැහැ. මට තේරෙන විධියට ඔහු කියන්නේ අප වැනි කුඩා ආර්ථිකයක් තියෙන රටවලට මෙසේ ධනය පිටරට තැන්පත් කිරීම රටට බලවත් පාඩුවක් කියන එක. එංගලන්තයේ ටෝනි බ්ලෙයාර් රුසියාවේ පුටින් ආදීන් තම ධනය පිටරට තැන්පත් කර ඇති බව කියනවා. ඒ එසේ වුණත් ඉන් ඒ රටවලට වන පාඩුව ආර්ථිකයත් සමග සංසන්දනය කළ විට ලොකු නැහැ. එහෙත් අප වැනි රටවලට මේ ධනය අහිමි වීම නිසා නොලැබී යන්නේ බදු මුදල් පමණක් නො වෙයි. ඩොලර් සංචිතය ප්‍රාග්ධනය මේ සියල්ල අඩුවෙනවා.

 

මා හිතන්නේ නැහැ විද්වත් අමරලා නැති දේශපාලනඥයන් රාශියක් ලංකාවේ ඉන්නවා කියා. තමන්ගේ හරි තමන්ගේ පවුල්වල අයගේ හරි නමට ධනය ලියා ගැනීමට තරම් දේශපාලනඥයන් ආත්මාර්ථකාමී වන්නේ නැහැ. විද්වත් අමරලාට සියල්ල පැවරීමට ඔවුන් පරිත්‍යාගශීලි වෙනවා. නැහැ අනුරලාට නො වෙයි. අනුරලා හිඟන්නන් නො වෙයි. මට තේරුම් ගන්න බැරි පැන්ඩෝරා කියන විධියට නිරූපමා මෙතරම් ආත්මාර්ථකාමී  වූයේ ඇයි ද යන්නයි. සියුස්ට වැරදිලා ද දන්නේ නැහැ. ශක්‍රයාගේ පුතා වයිමාටත් වැඩ වරදිනවා. ඒ දේශීය වශයෙන් ම. අර මේට්ලන්ඩ් නිවස ගැන අහන්න ඕන ප්‍රේමදාසගේ පුතාගෙන් ද ලේලිගෙන් ද? 

 

කමක් නැහැ. තව ටික දිනකින් අපි පැන්ඩෝරාට පැන් වඩනවා.  යථා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං…….. .. ….. ..