Main Logo

Monday 25 October 2021

යහපත් එඬේරා හා අයහපත් කළු බැටළුවා

 

යහපත් එඬේරා හා අයහපත් කළු බැටළුවා

 

මගේ අත තවමත් සම්පූර්ණයෙන් සුව වී නැහැ. එබැවින් දිර්ඝ ලිපියක් ලියන්න බැහැ. වෙද මහතා කියන විධියට තව දින කිහිපයක් පත්තුව බඳින්න වෙනවා. ලියන්න බොහෝ දේ තියෙනවා. ගුරුබොරුවන්ගේ බොරුව අද තවත් අදියරකට පත් වෙනවා. 2023 දක්වා අදියර කිහිපයක් තියේවි. ගුරුවරුන්ගේ වැටුප මදි. තවත් අයගේත් වැටුප් මදි. ගුරු වැටුප් ප්‍රශ්නයට අවුරුදු විසි හතරක් වෙනව කියනවා. ඒ කියන්නෙ 2015 දී අවුරුදු දහඅටක් වුණා කියන එක. ඒත් එදා සෙඩෙක් ආයතනයේ පුහුණුව ලැබූ ජෝසෆ් ස්ටැලින් (මට පුරුදු ස්ටාලින් නොව ස්ටැලින් කියන්න. ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් මට හිනහ වෙන්න පුළුවන්)  හා යමපාලන ආණ්ඩුවට සහාය දුන් ජ වි පෙරමුණේ මහින්ද ජයසිංහ ප්‍රශ්නය අතට ගත්තෙ නැහැ. ඔවුන් යමපාලනයට ප්‍රශ්න ඇති කෙළේ නැහැ.  එදා අධ්‍යාපන ඇමති වුණෙ රනිල්ගේ ගජ මිතුරු අකිල විරාජ්.

 

අද ප්‍රථමික පාසල් විවෘත වෙනවා. ඒත් ඔය අධ්‍යාපනයෙන් රටට වැඩක් වෙලා තියෙනවා ද? ඔය ළමයින්ට ගණිතය උගන්වනවාට වඩා ගුණ ධර්ම කියා දුන්නොත් නරක ද? දියව් දියව් කියන්න ද ගුරුවරුන් ළමයින්ට පුරුදු කරන්නෙ. එක අදියරෙන් ම දියව්. අද ගොවීනුත් බටහිර පොහොර දියව් දියව් කිය කිය පාරෙ ඇවිදිනවා. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් බටහිර දැනුම දියව් දියව් කියනවා. අපේ දැනුම මිථ්‍යා කියනවා.

 

මෙරට ඊනියා උගතුන්ගෙන් නිර්මාණාත්මක දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් දන්නේ බටහිර පළවන සඟරාවක් පොතක් පතක් කියවල ඒක තමන්ට තේරෙන විධියට සිංහලෙන් කියන්න පමණයි. ඒ කොහොම වුණත් අද හැමෝ ම වගේ කියනවා දේශීය පොහොරවලට මාරු වෙන්න ඕන කියල. ඒත් ඒක ක්‍රමයෙන් කරන්න ඕන කියල. ඒකත් හොඳයි. අවුරුදු දහයකට දොළහකට ඉහත අප ආසනික් හා වස විස සහිත පොහොර කෘමි නාශක වල් නාශක ගැන කියද්දි අපට හැමෝ ම වගේ විරුද්ධ වුණා. නාථ දෙවියන්ට හිනහ වුණා. මට විද්‍යුත් මුද්‍රිත  ජනමාධ්‍ය නැති වුණා. දෙරණ පළමු වතාවට මා 360ට ගෙන්වල මා දේශීයත්වයක් ගැන කතා කළාට මගේ ළමයින් ඉගෙන ගන්නෙ බටහිර කියන වැරදි මතය තහවුරු කරන්න උත්සාහ කළා. කාගෙ වුවමනවට ඒක කළා ද කියා මා දන්නේ නැහැ. එදා සිට අප බොහෝ දුරක් ඇවිත් තියෙනවා. දෙරණත් යම් දුරක් ඇවිත් තියෙනවා. දෙරණට තව හුඟක් දුර යන්න තියෙනවා.

 

අපේ අධ්‍යාපනයට භාවනාව එකතු කළොත් නරක ද? එක් පැත්තකින් නිවන් සම්මාබෝධයට එය උපකාර වේවි. අනෙක් පැත්තෙන් අභිඥා වැඩීමෙන් දැනුම ලබා ගැනීමට හැකි වේවි. අභිඥා කියන්නෙ බටහිර පාරමනෝවිද්‍යාව (parapsychology) නො වෙයි. මා කැලණිය විද්‍යා පීඨාධිපති ව ඉන්න විට විද්‍යා පීඨයේ භාවනාව සඳහා ඉඩකඩ ලබා දුන්නා. අපොයි එ පීඨයෙ ඊනියා විද්‍යාඥයො ඒකට දක්වපු විරුද්ධතාව. ඔවුන්ට නොබෙල් තෑග්ග හිමි නොවන්නෙ මොක ද කියන එකයි මට තියෙන ප්‍රශ්නය. ඒ මා නොබෙල් තෑග්ග වටිනව කියන නිසා නොවෙයි. මෙරට පඬි නැට්ටන්ට ඒක වටිනව නොවැ.

 

බටහිර ඊනියා විද්‍යාත්මක ක්‍රමය කඩා වැටිලා. කොවිඩ් 19 වෛරස් රෝගයක් ද? වෙනත් රෝගයක් ද? වෛරස් රෝගවලට බටහිර වෙදකමේ ප්‍රතිකාර තියෙනවා ද? කොවිඩ් 19ට ප්‍රතිකාර තියෙනවා ද? මා මෙරට උගතුන්ගෙන් උත්තර බැඳීමක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මට අද වැඩියෙන් ම කියන්න ඕන වුණෙ කාදිනල් මැල්කම් රංජිත් යහපත් එඬේරා  ගැන. බෞද්ධයන් නම් බැටළුවන් නො වෙයි. බෞද්ධයන් අයත් වන්නෙ එව බලව සම්ප්‍රදායට. ඒත් කාදිනල්තුමාට බලා ගන්න බැටළුවන් ඇති. කාදිනල්තුමාට ඇති ප්‍රශ්නය පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රිපාල සිරිසේනට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් නොකිරීම බවයි මගේ වැටහීම. මා හිතන්නෙ නැහැ සිරිසේන ඔය ප්‍රහාරය සැලසුම් කළා ය කියා. ඔහු ගැන කාදිනල්තුමාට කියන්න තියෙන්නෙ මොකක් ද? අයහපත් කළු බැටළුවා කවුද?  කාදිනල්තුමා සිරිසේන ගැන දන්න විස්තර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දන්නනවා ද? ඒ වගේ ම රනිල් වැරදි කාරයකු නොවී සිරිසේන වැරදි කරුවකු වේ නම් එයටත් සාධක දක්වනවා ද? කාදිනල්තුමාගෙන් තවත් දෙයක් දැන ගන්න තියෙනවා. අර කොටි සංවිධානයට ආධාර කළ කතෝලික පූජකවරු වැරදි කරුවන් ද නැත් ද? ඔවුන් එඬේරුන් ද කාගෙවත් බැටළුවන් ද?