Main Logo

Saturday, 9 October 2021

ගොවීන් බහු ජාතික සමාගම්වලින් බේරා ගනිමු

 

ගොවීන් බහු ජාතික සමාගම්වලින් බේරා ගනිමු

 

පැන්ඩෝරාට පැන් වැඩීම ලිපිය බොහෝ වමක් නැති දකුණේ වමාලාට තේරුම් ගන්න බැරි වෙලා. සමහරු ලිපියට කැමති වෙලා (ලයික් ලකුණු කර) . ඔවුන්ගෙන් ඇතැමුන් හිතා ඇත්තේ පැන් වැඩීම කියන්නේ ආ වැඩීම, සවුදිය පිරීම වැනි දේකට කියා. ඔවුන් සිංහල බෞද්ධ සම්ප්‍රදාය දන්නේ නැහැ. පැන් වඩන්නේ මිය ගිය අයට. මා පැන් වැඩීමේ ගාථාවේ මුල් වචන කිහිපයත් ලිවුවා. එහෙත් වමාලාට ඒ වචනවලින් කිසිවක් මතක් වන්නේ නැතිව ඇති. මට කියන්න ඕන වුණේ පැන්ඩෝරා මිය ගිහින් කියන එක පමණක් නොවෙයි පැන්ඩෝරා පත්‍රිකා ද මිය ගිහින් බව.

 

ලංකාවේ පමණක් නොව ලෝකයේ ද තතු එහෙමයි. හිතනවා ද පුටින්ට හරි බ්ලෙයාර්ට හරි යම් පාඩුවක් සිදු වේය කියා. ටික කලක් පැන්ඩෝරා ගැන කතා කරමු. ඊට පසු පැන්ඩෝරා නැවතත් මරා දමමු. ඒ අතර පැන්ඩෝරා  ගැන ලියා ඇති දේ කියවමු. පැන්ඩෝරාගේ ස්වාමි පුරුෂයා, ගිනි හොරකම, සියුස් මහා දෙවියා ගැන දත්ත හා තොරතුරු මතක ගබඩාවේ තැන්පත් කර ගනිමු. වෙනත් මාතෘකාවකට යමු.

 

ගොවීන් හා පොහොර ප්‍රශ්නය ටික කලක් ඇදී යනවා. ගොවීන් පොහොර ඉල්ලනවා. ඔවුන් ඉල්ලන්නේ රසායනික පොහොර. ඇතැමකු ජීව පොහොර ගැන ද කතා කරනවා. ගොවීන් කියන්නේ රසායනික පොහොර නැතුව වගාව හරි නොයන බවයි. ඔවුන් සමහරකු අපට ජීව පොහොර යොදා ලබා ගත් අස්වැන්නේ නිසරු බව පෙන්වනවා. ඒ කියන්නේ ඔවුන් ජීව පොහොර යොදා ඒ වන විටත් ගොවිතැන් කළ බව ද?

 

ඒ කොහොම වුණත් මේ ගොවීන්ගේ සීයලා රසායනික පෙහොර එපා කියා හැටේ දශකයේ කී අය. සීයලා ඊනියා හරිත විප්ලවය වෙනුවෙන් ගෙනා රසායනික පොහොරවලට විරුද්ධ වුණා. මුණුබුරාලා පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරනවා. ඉතා කෙටියෙන් ඒක තමයි විප්ලවය. මේ විප්ලවය නිසා අප තව තවත් බටහිරට නතු වෙලා. අපේ සීයලාට වඩා අපි බටහිරට ගැතියි. බටහිර විද්‍යාවට ගැතියි.

 

ඊනියා හරිත විප්ලවය පනහේ දශකයේ ඇරඹී හැටේ දශකයේ අවසානය දක්වා ලෝකය පුරා පැතුරුණා. අපට ඒ විප්ලවය ආවේ හැටේ දශකයේ. මාක්ස්වාදී විප්ලවය නම් එන එකක් නො වෙයි. හරිත විප්ලවයෙන් කෙරුණේ අස්වැන්න වැඩි කිරීම. ඒ සඳහා හඳුන්වා දුන්නේ පොහොර පමණක් නො වෙයි. කෘමි නාශක, වල් නාශක, බීජ වර්ග ආදිය ද ඇතැම් විට ජල කළමනාකරණය ද විප්ලව පොදියේ (පැකේජයේ) තිබුණා. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කීවාක් මෙන් ඒ ඒ බීජවලට ඒ ඒ පොහොර. බීජවලට අදාළ පොහොර, පොහොරවලට අදාළ බීජ. වෙනත් පොහොර බැහැ. වෙනත් බීජ බැහැ. ඒ දෙකට ම  අදාළ වල් නාශක හා කෘමි නාශක.

 

හරිත විප්ලවයත් සමග අපේ ශරීරවලට වස විස ඇතුල් වුණා. කවුරු මොන කතා කීවත් රජරට වකුගඩු රෝගය ලෙස හැඳින්වුණු රෝගය මේ හරිත විප්ලවයේ ප්‍රතිඵලයක්. අද ඇතැමුන් එයට හේතුව කිවුල් ජලය කියන්න උත්සාහ ගන්නවා. කිවුල් ජලය අද ඊයේ ඒ ප්‍රදේශවලට ලැබුණු එකක් නම් එයටත් හේතුව හරිත විප්ලවයේ ජල කළමනාකරණය. එහෙත් කිවුල් ජලය එදත් ඒ ප්‍රදේශවල තිබුණා. ප්‍රශ්නය කිවුල් ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වීම. ඔව් නාථ දේව මණ්ඩලයෙන් තමයි අප ඒ පණිවුඩය ලබා ගත්තේ. ඉන්දීය දෙවිවරුන්ට මෙන් නොව නාථ දෙවියනට වාහනයක් නැහැ. සමන් දෙවියන්ටත් නැහැ. ඒ දෙවිවරුන් සතුන් පිට නැගලා යන්නේ නැහැ. සත්ව කරුණාව වෙනුවෙන්  අලි ඇතුන් පමණක් නොව සත්තු වත්තේ සියලු සතුන් නිදහස් කරමු ද? එපමණක් නොව අර දෙවිවරුන්ගේ වාහන ද දෙව්සතු කරමු ද? 

 

ගොවීන් තම නිෂ්පාදන සඳහා වැඩි මිලක් ඉල්ලීම තේරුම් ගන්න පුළුවන්. ඒත් ඔවුන් රසායනික පොහොර ඉල්ලන්නේ හාල් මෝලුන් වෙනුවෙන් පමණක් නොව බහු ජාතික සමාගම් වෙනුවෙන් ද බව ඔවුන්ට වැටහීමක් නැහැ. දකුණේ වමාලාට ඒ ගැන හාන්කවිසියක දැනුමක් නැතුවා ද නැත්නම් ඔවුනුත් බහු ජාතික සමාගම් පැත්තේ ද? වමක් නැති දකුණේ වමාලා බහු ජාතික සමාගම් වෙනුවෙන් පෙනී සිටිනවා නම් එහි පුදුම වෙන්න දෙයක් නැහැ. දකුණේ වමාලාට අවශ්‍ය අපේ ආනයන වැඩි කර පුළුවන් නම් රට බංකොළොත් කරන්න. විපක්‍ෂයට අවශ්‍ය වන්නේත් එයමයි.

 

බටහිර විද්‍යාව කියන තරම් දියුණු නැහැ. බටහිර වෙදකම ද එසේමයි. එහෙත් අපට බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය නිසා යම් යම් දේ කිරීමට බල කෙරෙනවා. අප බටහිර දැනුම හරි යන විට යොදා ගන්නවා. අප විරුද්ධ දැනුම් ආධිපත්‍යයට. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හොඳ කළමනාකාරීත්වයක් තියෙනවා. එයට පුළුවන් ලංකාවේ ගොවීන් ද තම ආධිපත්‍යය පවත්වා ගෙන යෑමට යොදා ගන්න. බටහිරයන් මෙරට උගතුන් හා බුද්ධිමතුන් තමන් වෙනුවෙන් යොදා ගැනීම ප්‍රකට කරුණක්.

 

අද ඇතැම් බටහිරයන් ද තේරුම් ගනිමින් සිටිනවා බටහිර ඊනියා සංවර්ධනයේ විපාක මොනවා ද කියා. ඔවුන් යම් මිලක් ගෙවා කාබනික ආහාර (organic food) ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා.  බටහිර ඔය කියන සංවර්ධනයට පරිසරය රැක ගන්න බැහැ. එමෙන් ම වස විස සිරුරට ඇතුල් වී අප රෝගීන් කිරීම ද වළක්වන්න බැහැ. රෝගීන් ඇති වුණා ම බටහිර විද්‍යාඥයන්ට වෙද මහතුනට ප්‍රතිකාර සොයා ගැනීමට මුදල් ලැබෙනවා. ඒත් කොවිඩ් 19 ගැන කියන්නේ වල් පල්. කොවිඩ් 19 පැතිරෙන්නේ වෛරසයකින් ද?

 

ගොවීන් බටහිර බහු ජාතික සමාගම්වලින් ගලවා ගැනීම පහසු වැඩක් නො වෙයි. එහෙත් අප ඒ සඳහා උත්සාහ කළ යුතුයි. ආරම්භයේ දී ම ඒ සාර්ථක වන එකක් නැහැ. එහෙත් එන ප්‍රශ්නවලට මුහුණ දෙමින් අප බහුජාතික සමාගම්වලින් නිදහස් වූ අපේ ගොවිතැනකට, වස විස නැති ගොවිතැනකට, සේන්දු වන්න ඕන.  අමාරුවෙන් හරි එය කරන්න ඕන.