Main Logo

Saturday 30 October 2021

එක රටයි එක නීතියයි එක හාමුදුරුවොයි

 

එක රටයි එක නීතියයි එක හාමුදුරුවොයි

 

එක රටක් එක නීතියක් ගැන වාර්තා කරන්න ජනාධිපතිතුමා කමිටුවක් පත් කරල. මා හිතන්නෙ එය ඉතා වැදගත් තීරණයක්. කමිටුවේ සභාපති ලෙස පූජ්‍ය ඥානසාර හිමියන් පත් කරලා. මා උන්වහන්සේ සමග කතාබහ කර ඇති බවක් මට මතක නැහැ. ඒත් උන්වහන්සේගේ දෙසුම් මා අහල තියෙනවා. ඒ සෑම දෙයක් ගැන ම මා එකඟ නොවන්න පුළුවන්. උන්වහන්සෙ විවිධ කාලවල සම්බන්ධකම් පැවැත් වූ අය ගැනත් මට තියෙන්නෙ සුහද හැඟීමක් නො වෙයි. එහෙත් මා හිතනවා ඔය කමිටුවේ සභාපති ධුරයට පත් කළ යුත්තේ භික්‍ෂූන් වහන්සේ නමක් බවත් ඒ සඳහා සුදුසු ම උන්වහන්සේ කියාත්.

 

සමහරු කියන්න පුළුවන් උන්වහන්සේ අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බව. මට මතක හැටියට ඒ උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන්. උසාවිය කියන්නෙ පවත්නා නීතිය අනුව විනිශ්චය දෙන ආයතනය. උසාවිය ගැන මටත් අත්දැකීම් තියෙනවා. කම්කරු උසාවියේ සිට ශ්‍රෙෂ්ඨාධිකරණය දක්වා මා නඩු කියල තියෙනවා. උසාවිය ගැන මා කිසිවක් කියන්නෙ නැහැ. උසාවියට ගරු කරන්න ඕන. ඒ වගේ ම උසාවිය එයට එන්නන්ටත් ගරු කරන්න ඕන. උසාවියට අපහාස කරනවා කියන එක සංකීර්ණ දෙයක්. අනෙක් හැම එකක මෙන් ම එහි ඇති වාස්තවිකත්වයක් නැහැ. උසාවියෙ තීන්දුත් විවිධ කරුණු මත රඳා පවතිනවා.

 

ඥානසාර හාමුදුරුවන් එක්නැලිගොඩගේ විවාහක බිරිඳට උසාවියේ දී යමක් කීමෙන් උසාවියට අපහාස වුණා කියල තීරණය වූ බවයි මගේ මතකය. එක්නැලිගොඩ අතුරුදහන් වීම නිසයි ඔහුගෙ විවාහක බිරිඳට යම් තැනක් ලැබුනෙ. එක්නැලිගොඩ අතුරුදහන් නූණ නම් ඔහුගේ විවාහක බිරිඳට කිනම් තැනක් ලැබෙන්න තිබුණ ද කියන එක අහන්න ඕන ඇගෙන්මයි. කොහොමත් ඒ සිද්ධිය නිසා උසාවියට වූ අපහාසය ගැන මා වැඩි දුර කියන්න යන්නෙ නැහැ. මගෙන් උසාවියට අපහාසයක් වෙන්න බැරි නැහැ. මෙරට ක්‍රියාත්මක වන්නෙ ඉංගිරිසි නීතිය මුසු වූ රෝම ලන්දේසි නීතිය. එය සිංහල ජාතිකත්වයට පක්‍ෂපාත නැහැ. ඒ කියන්නෙ නීතිය අපක්‍ෂපාත කියන එක නො වෙයි. අර පරණ එක්නැලිගොඩ නිලමෙ ගැනත් මට මතක් වෙනවා. ඒ නිලමෙ සිංහලේ නිදහස් සටනට විරුද්ධ වූ අයෙක්. 

 

කමිටුවේ සාමාජිකයන් අතරින් මා දන්නෙ තව එක්කෙනයි. ඒ සුමේධ වීරවර්ධන. ඔහු ඇසූ පිරූ තැන් ඇත්තෙක්. මා හිතන්නේ ඔහු නීතිඥයෙක් නූණත් විවිධ නීතිවල පසුබිමේ ඇති දර්ශනය දන්නවා කියා. නීතිය රෝම වැසියන්ගෙ නිපදවීමක් නො වෙයි. ලන්දේසින් මෙරටට එන්න බොහෝ කලකට පෙරත් මෙරට නීතියක් තිබුණා. අපේ සිරිත් ලේනා කියා නිලයක් තිබුණා. එය අද කියන විධියට නම් නීතිපති ධුරය. නීතියෙ පදනම  සංස්කෘතිය හා සිරිත් විර්ත්.

 

ලන්දේසින්ට පෙර මෙරට තිබුණෙ සිංහල නීතිය. ලන්දේසින් රෝම ලන්දේසි නීතියට අමතර ව මෙරට විවිධ නීති ඇති කළා. ඔවුන් තමයි දුම්කොළ වගාවට මෙරටට වෙල්ලාලයන් ගෙනාවෙ. ඒ පැමිණි වෙල්ලාලයන් අස්වැන්න නෙලා ගැනීමෙන් පසු තම නිජබිමට ගියා. ලන්දේසින් එය වැළැක්වීමට එකල ඉන්දියාවෙ (එකල ඉන්දියාවක් තිබුණෙ නැහැ. ඒත් අපි සම්මුතියෙන් ඉන්දියාව කියල කියනවා) තිබුණු මුස්ලිම් නීතියක් වූ තේසවලාමෙ නීතිය යාපනයෙ පැනෙවුව. මුස්ලිම් තේසවලාමෙ නීතියට පසුව කෝවිල් කතාත් එකතු වී තියෙනවා. ඒත් එහි මුල ඇත්තෙ මුස්ලිම් නීතියක්.

 

වෙල්ලාලයන් තේසවලාමෙ නීතියක් පැනෙවුවට ආපසු තම නිජභූමියට යන එක නැවැත්තුවෙ නැහැ. පසු කාලෙක ඉංගිරිසින්ට සිදු වුණා නැවතත් තේසවලාමෙ නීතිය පැනවීමට. ඉංගිරිසින් රෝම ලන්දේසි නීතියට තම නීතිත් ඇතුල් කළා. එයට අමතර ව මුස්ලිම් නීතියක් තියෙනවා. අද උඩරට නීතිය කියල නීතියකුත් තියෙනවා. එයට උඩරට නීතිය කියල කිවුවෙ ඉංගිරිසින්. එය සිංහල නීතිය. ඒත් ඒ කාලෙ වන විට සිංහල රාජ්‍යය ඊනියා උඩරටකට සීමා වු නිසා සිංහල නීතිය උඩරට නීතිය ලෙස හඳුන්වනු ලැබුවා. ඒ ඉංගිරිසින් කළ එක අවුලක් පමණයි. ඒත් අප මතක තබා ගත යුත්තක් නම් සිංහල නීතියට නායක්කාර් රජවරු එකතු කළ අංගත් තියෙන බව. 

 

ඕනෑම නීතියක් රටක සංස්කෘතිය හා එහි සිරිත් විරිත් මත පදනම් වෙනවා. අප ඉංගිරිසි නීතිය කියනවා, රෝම ලන්දේසි නීතිය කියනවා මුස්ලිම් නීතිය කියනවා. කොහේවත් ජාතියකින් ආගමකින් සංස්කෘතියකින් තොර නීතියක් නැහැ. ඊනියා  වාස්තවික නීිති ලෝකෙ නැහැ. බටහිර විද්‍යාවත් වාස්තවික නොවූ කල වාස්තවික නීති කොහේ ද? බටහිර විද්‍යාව ග්‍රීක ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙලා තියෙන පට්ටපල් බොරුවක්. පඬියන් මහා පිපිරුම විශ්වාස කරන බව මා දන්නවා. එය විශ්වාසයක් පමණයි.

 

එංගලන්තෙ චීන ජනවර්ගයට වෙන ම නීති නැහැ. ඉංගිරිසි නීතිය ඒ රටේ සංස්කෘතිය සිරිත් විරිත් මත පදනම් ව විකාශය වෙච්ච පද්ධතියක්.  එක රටක් එක නීතියක් කියන්නෙ ඉංගිරිසි නීතිය මුසු වුණු රෝම ලන්දේසි නීතිය මෙරට හැම තැන ම ක්‍රියාත්මක කරන එක නො වෙයි.  මෙරට සංස්කෘතිය මත පදනම් වූ නීතියක් ඇතැම් සංස්කෘතීන්වල නීතිත් අවශ්‍ය පරිදි අවශෝෂණය කර ගෙන සකස් කර ගෙන ක්‍රියාත්මක කරන්න ඕන. බොරු සමාජවාදීන් ඒ ජනවර්ගයට ඒ නීතිය මේ ජනවර්ගයට මේ නීතිය කියා යෝජනා කරාවි. පුළුවන් නම් ප්‍රංශයට ගොස් මුස්ලිම් නීතිය ද ක්‍රියාත්මක කරන්න කියන්න.

 

අප මෙහි දී මතක තබා ගත යුතු තවත් දෙයක් තියෙනවා. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් ඉංගිරිසිනුත් ඊට පෙර ලන්දේසිනුත් පොරොන්දු වුණෙ මෙරට නීතිය අනුව එනම් සිංහල නීතිය අනුව රට පාලනය කරන්න. ඒත් තම ක්‍රිස්තියානි සංස්කෘතියට එකඟ ව ඔවුන් ඒ පොරොන්දු ඉටු කෙළේ නැහැ. යම් ආකාරයක නිදහසක් ලැබී අවුරුදු හැත්තෑතුනක් ගත වුව ද මෙතෙක් කිසිවකු ඒ ගැන හිතා බලල නැහැ. සේනනානයකලාගෙන් ජයවර්ධනලාගෙන් ප්‍රේමදාසලාගෙන් වික්‍රමසිංහලාගෙන් එවැන්නක් බලාපොරොත්තු වන්නත් බැහැ. ඔවුන් ඉංගිරිසින්ගේ අච්චුවේ ම වැඩ කළා. ගෝඨාභය රාජපක්‍ෂ අඩු තරමෙන් එක රටක් එක නීතියක් ගැන වාර්තා කරන්න කමිටුවක් පත් කරල තියෙනවා. ඒ කමිටුවේ සභාපති ධුරය මේ රටේ ක්‍රියාත්මක වන අවනීති ගැන අත්දැකීමෙන් ම දන්නා හිමිනමක් පත්කර තියෙනවා.