කාලෝ හා පියසර ශිල්පාධිපති
සිංහල බෞද්ධ සංස්කෘතිය අද තරම් පරිහාණියකට වෙන කිසිම දවසක පත් වී නැහැ. එයට ප්‍රධාන හේතුව බටහිර සංස්කෘතික ආධිපත්‍යය බවට සැකයක් නැහැ. අප හිතනවා සුද්දන් කළු සුද්දන් පිරිසක් ඇති කර රටින් පිට වී ගියා ය කියා. මෙහි දී කළු සුද්දන් ලෙස අප එදා දැක්කේ ඉංගිරිසි ක්‍රමයට තම ජීවිත සකස් කරගත් එදා නම් ටයි කෝට් කලිසම් ඇඳි ඉංගිරිසියෙන් කතා බහ කරන අප එදා කී විධියට හැම් බේකන් කන පිරිසක්. එහෙත් අද හැමෝ ම වගේ කලිසම් අඳිනවා. මගුල් ගෙවල්වල දී ටයි කෝට් කලිසම් අඳින අය තමයි අති මහත් බහුතරය. අද හැම් බේකන් කෑම අරුමයක් නො වෙයි. අද ඉංගිරිසිත් සිංහල වගේ කතා කෙරෙනවා. බොහෝ විට සිංහල නම් කතා කෙරෙන්නෙ ඉංගිරිසි වචනත් හැකිතාක් එකතු කර ගෙන. එයට තාක්‍ෂණයත් යම් ප්‍රමාණයක් බලපානවා. මෙසේජ් සෙන්ඩ් කිරීම තරුණ තරුණියන්ගේ පුරුද්දක් වෙලා.