Main Logo

Tuesday, 2 May 2017

මැයි දින පණිවුඩය


මැයි දින පණිවුඩය



කිසිම ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිවරණයෙන් පැරදුණු මහින්ද ජනබලය අනුව දිනුම්. ගාලු මුවදොරට එක්වුණු ජනකාය මෙතෙක් ඉතිහාසයේ මැයි දින රැළියකට එකතු වුණු විශාලතම ජනකාය විය හැකිියි. අද ප්‍රධාන දේශපාලන ධාරාවන් ඇත්තේ දෙකයි. එකක් මහින්දගේ නායකත්වයෙන් අනෙක රනිල්ගේ නායකත්වයෙන්. මෛත්‍රිපාල කණ්ඩායම මෙරට සිංහල ජාතිකවාදී ගංගාවේ අතුගඟක් පමණයි. ගැටඹේ පිට්ටනිය ලොකු තැනක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්‍ෂය ආදිය ඊනියා වමක්, සමාජවාදයක්, කම්කරුවන් ගැන හිස් වදන් ලියන කියන පඬියන්ට සිත සනසා ගැනීමට ඇති පක්‍ෂ පමණයි. ඔවුන්ටවත් ඒ පඬියන්ටවත් මෙරට තැනක් නැහැ. කම්කරුවන්ට මැයි දිනයක් නැති බව පඬියන්ට තවම තේරුමක් නැහැ. සිංහලයන් අවුරුද්දට කොළඹ සිට ගම්රටවල් බලා යනවා. මැයි දිනයට ගම්වල සිට කොළඹ එනවා. 
       



එ ජා පෙරමුණේ ප්‍රධාන කථිකයන් අතර, චම්පක, රාජිත හා සරත් ෆොන්සේකා හිටියා. ඔවුන්ට ඇත්තේ රාජපක්‍ෂ භීතිකාවක්. එහෙත් රාජිතගේ හා ෆොන්සේකාගේ කතා වැදගත්. ඔවුන් තමයි සංස්ථාපනය (එස්ටැබ්ලිෂ්මන්ට්) නියෝජනය කෙළේ. අනෙක් පැත්තට හිටියේ විමල් හා වාසුදේව. එය ඔවුන්ට දෙන සහතිකයක් නො වෙයි. දේශපාලනයේ සමාන්‍යයෙන් වමක් හා දකුණක් ගැන කියැවෙනවා. මෙහි දකුණ කියන්නේ සංස්ථාපනය නියෝජනය කරන දේශපාලන ධාරා. වම කියන්නේ සංස්ථාපනයට අඩුවැඩි වශයෙන් විරුද්ධ දේශපාලන ධාරා. අද සංස්ථාපනය නියෝජනය කරන ප්‍රධානියා රනිල්. සංස්ථාපන දේශපාලනය යනු බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ දේශපාලනයයි. එය බටහිර දැනුම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තුව ආදිය වෙනුවෙන් පෙනී සිටිනවා. එහි නිශ්චිත ධුරාවලියක් තියෙනවා. එය අවුරුදු පන්සියක් විතර කාලයක් තිස්සේ විකාශය වෙලා තියෙන්නෙ.



සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දෙන්නේ මේ ධුරාවලියට ගරු කරන, එයට පක්‍ෂපාති අයයි. ඔවුන් ධනපතියන් වීම අවශ්‍ය නැහැ. ඔවුන් කිසියම් වූ ආකාරයකින් සංස්ථාපනය පිළිගන්නවා. මේ සංස්ථාපනයට ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි ආකල්ප. සිංහලයන් අතර ක්‍රිස්තියානි කතෝලික බැතිමතුන් වැඩිපුර එ ජා පක්‍ෂයට ඡන්දය දෙන්නේ එබැවිනුයි. එ ජා පක්‍ෂයට ඡන්දය දෙන බෞද්ධයන් ද යුදෙව් ක්‍රිස්තියානියක් ගැන දැන නොසිටියත් ඒ ධුරාවලිය හා ආකල්ප පිළිගන්නවා. එ ජා පෙරමුණු මැයි රැළියේ මේ අය දැක ගැනීමට හැකි වුණා. චම්පක එවැන්නකු නො වෙයි. ඔහු අංක එකේ අවස්ථාවාදියකු පමණයි.



සාමාන්‍යයෙන් ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය දෙන අය මේ සංස්ථාපනයට විරුද්ධයි. ඔවුන් හා එ ජා පක්‍ෂයට ඡන්දය දෙන්නන් අතර සාමාන්‍යයෙන් ගතහොත් සමාජයීය වශයෙන් වෙනසක් නැහැ. එකම පවුලේ සහෝදරයන් සංස්ථාපනයට පක්‍ෂවීමටත් විරුද්ධවීමටත් පුළුවන්. හැම මැයි රැළියක ම දැක ගත හැකි වූයේ එකම වගේ පිරිස්. ඇතැමුන් රැකියා හා වෙනත් බලාපොරොත්තු වෙනුවෙන් පක්‍ෂවලට එකතු වෙනවා. එහෙත් වඩා වැදගත් වන්නේ සංස්ථාපනයට අනුගත වෙනව ද විරුද්ධ වෙනව ද කියන එක. සංස්ථාපනයට එක එක අය එක එක ආකාරයෙන් විරුද්ධ වෙනවා. අද සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ මාක්ස්වාදී විරෝධය. එයත් විකාශය වුණෙ යුරෝපයෙ. ඒ නිසා ම එයත් එක්තරා ආකාරයකට සංස්ථාපනයේ කොටසක් බවට පත් වෙලා.



ඇතැමුන් කියනවා අපේ පන්තියට තැනක් නැහැ. රනිල් අපේ පන්තියේ නොවෙයි. මෛත්‍රිපාල අපේ පන්තියේ. ප්‍රේමදාසත් අපේ පන්තියේ. මෛත්‍රිපාලත් සමහරවිට අහනවා මට ගහන්නෙ මා ගොවියකුගෙ පුතකු නිසා ද කියලා. පංතිය කියන සංකල්පය වලංගු නැහැ. මෛත්‍රිපාල සංස්ථාපනයට නැහැ. ඔහුටවත් මහින්දටවත් ජනාධිපති වුණත් එයට ඇතුල් වෙන්න බැහැ. ඒ නිසා ඔවුන්ට පහර කන්න වෙනවා. රනිල් ඉපදුණෙ ම සංස්ථාපනයෙ. යමකු ශ්‍රී ල නි පක්‍ෂයට එකතු වන්නේ ම සංස්ථාපනයට විරුද්ධ නිසා. මුළු මහත් ක්‍රමය ම වෙනස් විය යුතු යැයි සිතන අය මාක්ස්වාදී පක්‍ෂවලට බැඳෙනවා. ඔවුන්ට යම් පිළිගැනීමක් ලැබෙනවා.



ශ්‍රී ල නි පක්‍ෂයට එවැනි පිළිගැනීමක් නැහැ. සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට සංස්ථාපනයේ පිළිගැනීමක් නැහැ. ඔවුන් ඒ යුදෙව් ක්‍රිස්තියානි සංස්ථාපනයට විරුද්ධ ව ශ්‍රී ල නි පක්‍ෂය බිහි කර ගෙන. බණ්ඩාරනායක මහතා එහි නායකයා වූවා පමණයි. එය සුළු ධනේශ්වර පක්‍ෂයක් ආදී වශයෙන් විස්තර කිරීමෙන් කිසිවක් තේරුම් ගන්න බැහැ. අද රටේ ජනබලය ඇත්තේ සිංහලයන්ට, සිංහල බෞද්ධයන්ට. එහෙත් ඔවුන්ට පැහැදිලි දැක්මක් නැහැ. ඔවුන්ට දැක්මක් දීමට දරණ උත්සාහයවත් ඔවුන්ට තේරුම් ගන්න බැහැ.



සිංහල විරෝධීන්ට බලයට පැමීණීමට බැහැ. එබැවින් ඔවුන්ට සිංහල බලවේගය කඩන්න අවශ්‍ය වෙනවා. පහුගිය ජනාධිපතිවරණයේ දී වූයේ එයයි. මෛත්‍රිපාල ලවා සිංහල බලවේගය කැඩවීමට සිංහල විරෝධින් සමත් වුණා. සිංහල විරෝධී සංස්ථාපනයට දැක්මක් අරමුණක් තියෙනවා. ඔවුන්ට ප්‍රවාද තියෙනවා. සිංහල ජාතිකත්වයට එවැනි දැක්මක් නැහැ. මෛත්‍රිපාල සංස්ථාපනයේ ගැටයට අහුවුණා.



මැයි දිනයේ සංස්ථාපනය වෙනුවෙන් කතා කෙළේ රාජිත හා ෆොන්සේකා. ඔවුන් පැහැදිළිව ම කියා සිටියේ සංස්ථාපනය වෙනුවෙන් මර්දනයට පසුබට වන්නේ නැති බව. සංස්ථාපනයට විරුද්ධව කතා කෙළේ විමල් හා වාසුදේව. ඔවුන් මාක්ස්වාදී ස්ථාවරයක පිහිටා ජනතාව පාරට බැස්වීමට කතා කළා. රාජිත හා ෆොන්සේකා එය මර්දනය කරාවි. මැතිවරණයක් ලබා ගැනීමට එක් දින අවිහිංසා හර්තාලයක් කරන එක නරක නැහැ. එහෙත් අවිහිංසාව හිංසාවට පෙරළෙනවා. ගාන්ධිට වූයේ එයයි. එයට වඩා නරක ද ආධ්‍යාත්මික වැඩ පිළිවෙළක් අනුගමනය කිරීම.



එහෙත් මේ සියල්ලට ම වඩා පහසු මගක් තිබෙනවා. මෛත්‍රිපාල අද සංස්ථාපනයට සේවය කළත්  ඔහු සංස්ථාපනයට විරුද්ධයි. අද සිංහලයන්ගේ ප්‍රධාන සතුරා රනිල්. ඔහු බටහිර ගැත්තකු යැයි කීම වැරදි වෙන්න පුළුවන්. ඔහු බටහිරයෙක්.  ඔහු රට විකුණනවා. දෙමළ ජාතිවාදීන්ට කප්පන් දෙනවා. මෛත්‍රිපාලත් මහින්දත් දෙයාකාරයකට ඔහු රකිනවා. ගැටඹෙන් හා ගාලු මුවදොරෙන් ලැබෙන්නෙ එක පණිවුයයි. කැම්බල් පිටියේ එතරම් බලයක් නැහැ. ගැටඹේ හා ගාලුමුවදොර එකතු වුණොත් රනිල්ට එංගලන්තයට දුවන්න වේවි. ගාලුමුවදොර ජනබලය තිබෙන බව ඇත්ත. එහෙත් දේශපාලන බලය ඇත්තේ ගැටඹෙ. රනිල් ඉවත් කළ හැක්කේ ජනතාව පාරට බස්සා මර්දනයට පාර කැපීමෙන් නොව රනිල් එළවීමට මෛත්‍රිපාල හා මහින්ද සියලු භේද දුරලා සිංහලයන් වෙනුවෙන්, රට වෙනුවෙන්  එකතු වීමෙන්.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මැයි 02