Main Logo

Monday 22 May 2017

ජනරජ දිනය සැමරීම


ජනරජ දිනය සැමරීම



අද ජනරජ දිනයයි. තරුණ පරම්පරාවේ කී දෙනකු ඒ ගැන දැනුවත් ද දන්නේ නැහැ. අවුරුදු හතළිස්පහකට ඉහත 1972 මැයි මස විසිදෙවැනි දා අප ජනරජයක් වූවා. මැයි විසිදෙවැනි දා එකල මෙරට නිවාඩු දිනයක් වුණා. එහෙත් පසුව එය නැති වුණා. 1978 ජේ ආර්ගේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹුණේ පෙබරවාරි හතරවැනි දා.  නව සමසමාජ පක්‍ෂයේ අප හත් අට දෙනකු එදින කළුකොඩි දැම්මා. අප කණ්ඩායම් දෙකකට බෙදී පේරාදෙණියේ ඉංජිනේරු පීඨය අසළින් පටන් ගෙන කළුකොඩි දැමීමට ගියා. වික්‍රමබාහුගේ කණ්ඩායම පොලීසියට හසු වුණා. අප හසු වූයේ නැහැ. එහි බලපෑමක් රටට දැණුනේ නැහැ. වික්‍රමබාහු තුන්වැනි ජනරජ ව්‍යවස්ථාව (සහසන්ධීය රාජ්‍යය) බිහි කිරීමට ජේ අර්ගේ රනිල් බැණාට ආධාර කරනවා. දේශපාලනයේ හැටි ඔහොමයි.




අද ජනරජ දිනය සැමරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් කරනවා. ඔවුන් කියාවි වර්ජනයේ අරමුණ වෙනත් එකක් කියා. කොහොමටත් වෛද්‍ය නිලධාරීන්ට අමතක ඇති අද ජනරජ දිනය බව. කාලෝ ෆොන්සේකා ද ඇතුළු මෙරට බොහෝ දොස්තරවරුන්ට තර්ක කරන්න බැහැ. ඔවුන් අද සයිටම් උපාධියට විරුද්ධව බොරු තර්ක ඉදිරිපත් කරමින් ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා. ඔවුන් සටන අතර මැද සටන් පාඨ ඉල්ලීම් වෙනස් කරනවා. බොහෝ ජනමාධ්‍යවේදීන් ද ජාතික ව්‍යාපාරයෙහි බොහෝ අය ද සයිටම් විරෝධීන්. ඔවුන්ට මා කියන දේ නයාට අඳුකොළ වගේ. ජාතික ව්‍යාපාරයෙහි බොහෝ අයටත් ජනරජ දිනය අමතකයි.



මේ අතර අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් වන බව කතා පැතිරෙනවා. තවම වෙසක් අව පක්‍ෂය. මාසෙපෝයට තව දින කිහිපයක් තියෙනවා. අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල් යන්නත් පුළුවන්. බැරි වෙලාවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද වුවහොත් ඒ සිදු වන්නේ ජනරජ දිනයෙහි. රනිල්ට නම් ඒ ගැන වගේ වගක් නැතිව ඇති. මෛත්‍රිපාලට ජනරජ දිනය මතක ද? මහින්දට මතක ද? ජනරජ දිනය පසුව වීර දිනය වී එදින නිවාඩු දුන්නා. පසුව එයත් නැති වුණා. අද ජනරජ දිනය ජනරජයේ නිවාඩු දිනයක් නො වෙයි. ලෝකෙ මෙහෙම ජනරජයක් තවත් නැතිව ඇති. මහින්දටත් තම කාලයෙහි එදින නැවත නිවාඩු දිනයක් කරන්න බැරි වුණා.



අවුරුදු හතළිස්පහක් කියන්නෙ පොඩි කාලයක් නො වෙයි. හතළිස්අටේ සිට ගත්තොත් අප වැඩි කාලයක්, තුනෙන් දෙකකට ආසන්න කාලයක් ගෙවල තියෙන්නෙ ජනරජයක. ඒ හින්ද වෙන්නැති බොහෝ අයට ඒක අමතක. ජනරජයක් යටතෙ තමයි අපට ජනාධිපති කෙනෙකු ඉන්නෙ. මෛත්‍රිපාල ඒ බව අමතක කරන එක හරි නැහැ. විධායක ජනාධිපතිකම නම් ලැබුණේ ජේ ආර්ගෙ දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන්. තුන්වැනි ජනරජ ව්‍යවස්ථාවෙන් ඒක මෛත්‍රිපාලට අහිමි කරන්න රනිල් උත්සාහ ගන්නවා. රනිල් බටහිරයන්ගෙ සැලැස්මකට අනුව වැඩ කර ගෙන යනවා. අප බලන් ඉන්නවා.



ජනරජයක් වෙන්න කලින් ලංකාව ඩොමීනියන් තත්වයේ රාජ්‍යයක්. එංගලන්තයේ රජු හරි රැජන හරි අපේත් රජු හරි රැජන හරි වුණා. එංගලන්තයේ රජුට මෙහෙට එන එක අපහසු නිසා ඔහුගේ නියෝජිතයකු මෙරට සිටියා. ඔහුට කිව්වෙ අග්‍රාණ්ඩුකාරයා කියල. ඔහු පාර්ලිමේන්තු සැසිවාර  පටන් ගන්න විට රාජාසනයේ කතාව පැවැත්වුවා. ඒකෙ ආඩම්බරේ කාට ද කියලා මගෙන් අහන්න එපා. මන්ත්‍රීවරු රාජාසන කතාවට ස්තුති යෝජනාවක් සම්මත කර ගත්තා.



එකල මෙරට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දුවලට විරුද්ධව එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ විනිශ්චය සභාවට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. දෙමළ ජාතිවාදීන් එය රාජ්‍ය භාෂා පනතට එරෙහි ව උපයෝගී කර ගත්තා. බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවට විරුද්ධව 1962 දී රවි කරුණානායකලාගේ සියා ඇතුළු ක්‍රිස්තියානි හා කතෝලික හමුදා හා පොලිස් නිලධාරීන් කරන ලද කුමන්ත්‍රණයෙන් විත්තිකරුවන් වැරදිකරුවන් වූ විට ඔවුන් සාමි මන්ත්‍රී සභාවට අභියාවනයක්  ඉදිරිපත් කළා. තාක්‍ෂණික හේතුවක් මත ඔවුන් නිදහස් වුණා.



මේ අභියාචනා බලය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් නැති වුණා. අද රනිල්ගේ ආණ්ඩුව බටහිරයන් සමග එක් වී ඒ බලය වෙනත් ක්‍රම මගින් දෙමළ ජාතිවාදීන්ට ලබා දී රණවිරුවන් හා රාජපක්‍ෂලා දඩයම් කිරීමට සැරසෙනවා. ජනරජ ව්‍යවස්ථාවක් නොතිබුණා නම් මෙළහකටත් රණවිරුවන් හා රාජපක්‍ෂලා ඊනියා යුද්ධාපරාධවලට වරදකරුවන් වී අවසන්. ජනරජ ව්‍යවස්ථාවෙන් අග්‍රාණ්ඩුකාර ධුරයත් නැති වුණා. ඒක අපරාධයක්. ඒ දවස්වල ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරයාට ඇන්දම හරි හැඩයි. විලියම් ගොපල්ලව ජාතික ඇඳුම ඇඳලා ඒ විකට ඇඳුම ඉවත් කළා.



ජනරජයක් වීමෙන් පසුවයි අපට නියම නිදහස ලැබුණෙ. ඒත් අප එදින ඒ සමරන්නේ නැහැ. ඒ වෙනුවට දොස්තරලා වැඩ වර්ජනය කරනවා. ඇමති මණ්ඩල සංශෝධනය වැනි විහිළු රඟ දක්වන්න හදනවා. අපට ජාතිකත්වයක් ඇත්නම් අප කළ යුත්තේ අත්වැසුම් නැතිව එලිසබෙත්ට අතට අත දුන්න එක ගැන උදම් අනන එක නොවෙයි. මැයි දහඅටවැනි දා අප දෙමළ ත්‍රස්තවාදයත් ඒ සමග 1833 බෞතීස්ම කළ දෙමළ ජාතිවාදයත් පරාජය කළ දිනය. මැයි දහනවය සයනයිඩ් නොකෑ නිවට ප්‍රභාකරන් බටහිරයන්ට සවන් නොදී ඝාතනය කළ දිනය. මැයි විසිදෙක එංගලන්ත රජු ඉවත්කළ දිනය. අප මැයි දහඅටවැනි දා සිට විසිදෙවැනි දා දක්වා දින පහක් එක දිගට උත්සව පැවැත්විය යුතුයි. එහෙත් එය කරන්න මහින්දටත් බැරි වුණා. දින පහක් නිවාඩු දුන්නෙත් මෙරට දේශප්‍රේමි ජනතාව ට්‍රිප් යන්නත් ඉඩ තියෙනවා. ජාතියට ම ට්‍රිප් එක (ස්විචය) යන්න තව වැඩි කාලයක් නැහැ.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මැයි 22