Main Logo

Sunday 28 May 2017

ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්විය යුතුයි


ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්විය යුතුයි



නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවූයේ අහවල් දේකට ද? රනිල් අද වැඩියෙන් ම කතා කරන්නේ ආර්ථිකය ගැන. ඔහු නව ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ නැති තරම්. ගංවතුර ගැන ඊයේ (27 වැනි දා) පැවැත් වූ ජනමාධ්‍ය සාකච්ඡාවක දී රනිල් කවුද කියන එක යම් පිරිසකට හරි තේරුණා නම් ඒක ලොකු දෙයක්.  සාගල රත්නායක දුරකතන විසන්ධි වීම් හා වෙනත් එවැනි අපහසුතා නිසා ඊනියා ආපදා කළමනාකරණය නිසි පරිදි කිරීමට නොහැකි වීම ගැන දුක්ගැනවිලි කියද්දී රනිල් කතා කෙළේ සැලැස්මක් නොමැති වීම පිළිබඳ ව. ඔහු කියා සිටියේ වැස්ස ගැන දත්ත නිසි පරිදි ලැබුණි නම් සැලැස්මක් ඇතිව ජනතාව ආරක්‍ෂක ස්ථානවලට ගෙන යෑමට තිබූ බවයි. ඔහු වැඩ කරන්නේ බටහිරයකු ලෙස සැලැස්මකට අනුවයි. සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට බටහිර සැලැස්ම තේරෙන්නේ නැහැ. සිංහලයාගේ වත්මන් තත්වයට එය ප්‍රධාන හේතුවක්.




ඔහු කියා සිටි තවත් කරුණක් වූයේ  සති දෙකක් ඇතළත ආර්ථිකය යථා තත්වයට පැමිණිය යුතු බවයි. ඒ සඳහා කළ යුතු දේ කරන්න ඔහු උපදෙස් දුන්නා. බැංකු නිසි පරිදි ක්‍රියාත්මක වී මූල්‍ය සංසරණය යථා පරිදි සිදුවිය යුතු බව ඔහු කියා සිටියා. මේ රනිල් ක්‍රියා කරන ආකාරය. ඔහුට සැලැස්මක් තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ එවැනි සැලැස්මක් කාටවත් නැහැ. පොහොට්ටු පක්‍ෂයේ කිසිවකුටවත් නැහැ. ඔවුන් බොහෝ වෙලාවට සිද්ධියෙන් සිද්ධියට ප්‍රතිචාර දක්වනවා පමණයි. එහි ඇත්තේ සිද්ධි කළමනාකරුවන් ඊනියා ගේම් කාරයන් පමණයි.



එහෙත් රනිල්ගේ සැලැස්මේ ඔහු නොකියන දේත් තියෙනවා. එසේ නොකියන්නේත් සැලැස්මකට අනුවයි. ඔහු ව්‍යවස්ථාව ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේත් සැලැස්මකට අනුවයි. ඔහු ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටෙව්වේත් සැලැස්මකට අනුවයි. ඒ සැලැස්ම ඔහු කිසිවකුටවත් කියන්නේ නැතිව ඇති. ඒත් කිරඇල්ල වැනි ඇමතිවරුන් ලවා ඊනියා ජනමත විචාරණයක් ගැන කියවනවා. සම්බන්ධන් ද ජනමත විචාරණයක් ගැන කියවනවා. ඔහු මුළු රටට ම පොදු දෙයක් ගැන කියවන්නේ නම් ඒ ව්‍යවස්ථාව ගැන පමණයි. එසේ වන්නේත් ව්‍යවස්ථාව මගින් දෙමළ ජනයාට වෙන ම රාජ්‍යයක් ලබා ගැනීමට ඔහු කටයුතු කරන බැවිනුයි.



ව්‍යවස්ථාව සම්මත කර ගන්න යන්නේ කෙසේ දැයි කවුරුන්වත් හරියට දන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ අය සිතන්නේ සාමාන්‍ය ක්‍රමයට, එනම් 1978 ව්‍යවස්ථාවේ ඇති ආකාරයට නව ව්‍යවස්ථාව සම්පාදනය කර ගනීවි කියා. ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කර ඉන්පසු අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයකට ඉදිරිපත් කරාවි කියා ඔවුන් හිතනවා. එහෙත් එහි ප්‍රශ්න තිබෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලබා ගැනීම මූලික ප්‍රශ්නයක්. එය වැළැක්වීමට අඩු තරමෙන් ඡන්ද 76ක් ඕන. එය ලබාගන්න බැරි වෙන එකක් නැහැ. එහෙත් සහතිකයක් නැහැ. ඡන්ද 76ක් ලබා ගන්න බැරි වුණොත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වෙනවා. ඉන්පසු අවශ්‍ය නම් ජනමත විචාරණයකට යොමු කරාවි. එහෙත් මෛත්‍රිපාල කියන්නෙ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සම්මතයකට, සංශෝධනයකට තමා එකඟ නැති බවයි.



රනිල්ට සැකයක් ඇති මේ තත්වය යටතේ ව්‍යවස්ථාවේ සඳහන් අන්දමට ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ගැන. ඔහු ව්‍යවස්ථාව ගැන කිසිවක් නොකියන්නේ ඒ සම්මත කර ගැනීම සඳහා වෙනත් විකල්ප කල්පනා කරන නිසා. ඒ විකල්පය වෙනුවෙන් තමයි ඔහු ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටෙව්වෙ. ආණ්ඩුවට තිබුණා ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න ආදී පුස් කෑ ට්‍රොට්ස්කිවාදීන් හා ලිබරල්වාදීන් ලවා නීතිපතිගේ ද සහායෙන් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එහෙත් ඔහු එසේ කෙළේ නැහැ. ඒ වෙනුවට මහජන මතය විමසීමට කියා ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් කමිටුවක් පිහිටෙව්වා. මුළු පාර්ලිමේන්තුව ම අයත් වන විධියට ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවලා මෙහෙයුම් කමිටුවක් හා අනුකාරක කමිටු හයක් පිහිටෙව්වා. දැන් රනිල් මෙහෙයුම් කමිටුවට මුට්ටිය දැමීමක් ලෙස වාර්තාවක් ඉදිරිපත් කරලා. ඒකෙ වචන හරඹ. ඒකීය වචනය තියාගෙන සහසන්ධීය රාජ්‍යයක් ඇති කිරීම, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බව කියමින් එයට කිසිම වැදගත් තැනක් නොදීම වගේ කරුණු එහි ඇතුළත්. සම්බන්ධන් ද පහුගිය දවසක කියා තිබුණෙ ඔවුන් වචන ගැන සැලකිලිමත් නොවන බව.



ඊනියා මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරලා එය සම්මත කර ගැනීමට රනිල් කටයුතු කරන්න ඉඩ තියෙනවා. මුළු පාර්ලිමේන්තුව ම ඒ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට අයත් බැවින් එය තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත වුවත් නැතත් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කෙලින් ම ජනමත විචාරණයකට යොමු කරන්න රනිල් කටයුතු කරන්න ඉඩ තියෙනවා. මෛත්‍රිපාලටත් එයට විරුද්ධ වෙන්න බැරි වේවි. ඒ එය සම්මත ජනමත විචාරණයක් නොවන නිසා. ඔහු විරුද්ධ වන්නේ සම්මත ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනවලට. රනිල් කටයුතු කරනු ඇත්තේ සම්මතයට පිටුපා. ඔහු එහි දී බණ්ඩාරනායක මැතිණිය පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගත් ආකාරය පූර්වාදර්ශයක් ලෙස ගනීවි. එවැනි අවස්ථාවක දී ඒකාබද්ධ විපක්‍ෂයත් මෛත්‍රිපාලත් අසරණ වෙනවා. ඔවුන්ට සැලසුම් නැතිවා පමණක් නොවෙයි ඔවුන් රනිල්ගේ සැලසුම් ගැන කල්පනා කරන්නේවත් නැහැ. රනිල් ඉදිරිපත් කරන වවස්ථාව වචන හරඹයකින් සහසන්ධීය රාජ්‍යයක් ඇති කරාවි. ජනමත විචාරණ දිනන හැටි රනිල් තම මාමාගෙන් ඉගෙන ගන්නට ඇති.



ඒකාබද්ධ විපක්‍ෂය මේ ව්‍යවස්ථා මණ්ඩල මගෝඩියෙන් වහාම ඉවත් විය යුතුයි. එහි කිසිම කටයුත්තකට සහභාගි නොවිය යුතුයි. හැකිනම් මෛත්‍රිපාල කණ්ඩායම ද එක් කර ගත යුතුයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය අප කියන දේට සවන් දෙන්නේ නැහැ. ඔවුන්ට උපදෙස් දෙන නීතිඥයන් හා දේශපාලන විශාරදයන් කියාවි ව්‍යවස්ථාව සම්මත කර ගත යුත්තේ සම්මත ක්‍රමයට ම කියා. එහෙත් රනිල් බලන්නේ අසම්මත ආකාරයකින් වුවත් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු කිරීමෙන් රනිල්ට අසම්මත ආකාරයකින් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ආධාර කරනවා. ව්‍යවස්ථා  මණ්ඩලය ම අසම්මතයි. ඒකාබද්ධ විපක්‍ෂය එහි රැඳී සිටීම ම අසම්මත ආකාරයකට කටයුතු කිරීමක්.









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මැයි 28