Main Logo

Monday 1 May 2017

කෝ මේ කම්කරු පංතිය  


කෝ මේ කම්කරු පංතිය



අද මැයි දිනය. ලෝක කම්කරු දිනය. මා එංගලන්තයේත් ඕස්ත්‍රේලියාවේත් මැයි දින රැළිවලට හා පෙළපාළිවලට සහභාගි වී තිබෙනවා. ඒත් කම්කරු පංතියක් දැක්කේ නැහැ. 1980 මැයි දිනයට මා සහභාගි වූයේ අප නිවස තැනීමේ කටයුත්තේ මේසන් බාසුන්නැහෙලා යෙදී සිටිය දී. ඒ ඔවුන් වෙනුවෙන් ද?. එයට ටික කලකට පෙර මා නව සමසමාජ පක්‍ෂයෙන් අස් වී සිටි නමුත් මා සිතුවා මගේ වගකීම ඉටු කළ යුතුය කියා. ඒ මගේ අවසන් මැයි දිනය. මා මුලින් ම මැයි පෙළපාළියකට සහභාගි වූයේ 1963 දී. ඒ 1963 ජූනියේ අග විශ්වවිද්‍යාලයට යෑමට ඔන්න මෙන්න කියා තිබිය දී. අසූවේ ජූලි වැඩ වර්ජනයටත් මා සහාය දුන්නා. විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් අස්කෙරුණේ නැහැ. ඒත් වෙනත් බොහෝ දෙනා අස්කෙරුණා. ඔවුන් සමහරකු දුක් විඳ රැකියාවක් නැතිව ම මියගියා. ඔවුන් වෙනුවෙන් වැඩ කළ අමරදිවාකර මගේ මිත්‍රයෙක්. ඒ ජේ ආර්ගෙ කාලෙ. දැන් ඉන්නෙ ජේ ආර්ගෙ බෑණා. බැණා කරන්නේ මොකක් ද කියන එකට සරත් ෆොන්සේකා සාක්‍ෂි කියාවි.




අද මැයි රැළි පෙළපාළි රාශියක් පැවැත්වෙනවා. මේ හැම එකක් ම දේශපාලන පක්‍ෂවල නැත්නම් කම්කරුවන්ගෙ නොවන සංවිධානවල රැළි හා පෙළපාළි. පළමු මැයි රැළිය කම්කරුවන්ගෙ වෙන්න ඇති. ඒත් ඊනියා කම්කරු පංතිය මැයි දිනය අතට ගත්තට පස්සෙ කම්කරුවන් විසි වුණා. කම්කරුවන්ට නැවත මැයි දිනය ලැබෙන්නෙ නැහැ. අද මැයි දිනය පටන් ගත්ත එක්සත් රාජ්‍යවලවත් නිවාඩු දිනයක් නොවෙයි. ඔවුන්ට වෙන ම කම්කරු දිනයක් තියෙනවා. ලෙනින්වත් මැයි දිනය කම්කරුවන්ට දුන්නෙ නැහැ. වැඩ කරන ජනතාවගේ කියමින් මැයි දින පවත්වන අය ඊනියා වැඩ කරන පංතිය කියන්නෙ මොකක් ද කියලවත් දන්නෙ නැහැ. ප්‍රොලිටේරියට් කියන එකට කම්කරු පංතිය කියලා කියනවා. ඒක ප්‍රාග්ධනය සමග සම්බන්ධයි කියලයි කියන්නෙ. විජේවීර ඊනියා නිර්ධන පංතියක් ගැන කිවුවා. නිර්ධන පංතියට හිඟන්නොත් අයිති ද කියලා ඇතැම් මාක්ස්වාදීන් ඇහුවා. අද නම් රනිලුත් මැයි දිනය පවත්වනවා. ජේ ආර් එ ජා ප වෘත්තීය සමිති හැදුවා. එ ජා ප ධනපති පංතියේ පක්‍ෂයක්ලු. ධනපති පංතිය කම්කරුවන් වෙනුවෙන් මැයි දින පවත්වනවා! දෙමළ ජාතික සංධානය කම්කරුවන් වෙනුවෙන් නොව දෙමළ කතාකරන ජනයා වෙනුවෙන් අක්කරපත්තුවේ මැයි රැළියක් පවත්වනවා. 



අද රජයේ වෛද්‍යවරුන්ගෙ සංගමය පොහොට්ටුවෙ මැයි දිනයට සහභාගි වෙනවා ද? ඔවුන් ප්‍රොලිටේරියට් ද? ඔවුන් ප්‍රාග්ධනය හා සම්බන්ධ වන්නේ කෙසේ ද? වැටුපෙන් ද නැත්නම් චැනල් මගින් ද? ඒ දෙකෙන් ම නොවේ නම් දෑවැද්දෙන් ද? ශාරීරික හෝ මානසික හෝ ශ්‍රමය විකුණන ඕනෑම අයකු කම්කරුවෙක් ද? ශ්‍රමය මිළ දී ගන්නේ ධනපතියන් ද? වෛද්‍යවරුන්ගේ ශ්‍රමය මිළ දී ගන්නා රෝගීන් ධනපතියන් ද? රෝගින් අති විශාල බහුතරයකට ප්‍රාග්ධනය නැහැ. පොහොට්ටුවෙ මැයි රැළියෙ වෘත්තීයකයන්ට වෙන ම මඩුවක් තිබෙනවා. වෘත්තීයකයන් ප්‍රොලිටේරියට් නොවෙයි ද? ඔවුන්ට වෙන ම මඩුවක් මොකට ද? මඩුවත් වේදිකාවත් හැදුවෙ වෘත්තීයකයන් ද? කම්කරුවන් ද? වෘත්තීයකයන් අනෙක් වෘත්තීය සමිති ද සමග මහා වැඩ වර්ජනයක් කරන්න අරඅඳිනවා ද? එතකොට අර මඩුවෙන් බිමට බහිනවා ද? මහා වැඩ වර්ජනයෙ දී මෛත්‍රිපාලට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙන ඒමට අදහස් කරනවා ද? එහි අරමුණ රනිල් ජනාධිපති කිරීම ද? වෘත්තීයකයන්ගේ ප්‍රධාන වෘත්තීය සමිතියක එ ජා ප හිතවතුන් ද ඉන්නවා ද? මෛත්‍රිපාල තදබල වරදක් කළ බව ඇත්ත. රනිල් මෛත්‍රිපාල කඩා ගැනීම මගින් වරදක් කර නැද්ද?  ඒකාබද්ධ විපක්‍ෂය කළ යුත්තේ රනිල් ඉවත් කිරීම ද නැත්නම් මෛත්‍රිපාල ඉවත් කිරීම ද? දෙන්න ම ඉවත් කිරීම වැනි පඬි කතාවලින් වැඩක් නැහැ. මේ රටේ පඬියන් වැඩියි. අද හෙට කරන්න පුළුවන් දෙයක් ගැනයි අප කල්පනා කළ යුත්තේ. 2019/2020 මැතිවරණවලට සූදානම් වීම පසුව කරන්න පුළුවන්.  දේශපාලනය පෞද්ගලික ප්‍රශ්න මත තීරණය කරන එක වැරදියි.



කාල් මාක්ස් කියන්නෙත් යුදෙව්වෙක්. ඔහුට ලංකාවේ කසිකබල් මාක්ස්වාදීන්ට මෙන් නොව ඉතාමත් හොඳට වියුක්ත ව හිතන්න පුළුවන් වුණා. ඔහු ඉපදුණේ යුරෝපයේ. පසු කලෙක යුදෙව්වන් සමූලඝාතනය කළ ජර්මනියෙ. ඔහුටත් අවසානයේ දී එංගලන්තයට යන්න වුණා. ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය විප්ලවය පාවා දුන් බව රෝසා ලක්සම්බර්ග් කිවුවා. ඇය නොදැන සිටි කාරණය නම් පාවා දෙන්න කම්කරු පංති විප්ලවයක් තිබුණෙ නැති බව. පසුව පඬියකු වූ ඉතාලියෙ ග්‍රාම්ස්කි (මෙය ඉතාලි භාෂාවෙන් ග්‍රාම්ස්චි ද කියන එක මට වැඩක් නැහැ. කල්පනා කිරීමට බැරි පඬියන්ට නම් ඒවා ප්‍රශ්න) විප්ලවය ගැන කියෙවුවා. ඉතාලියෙත් ජර්මනියේත් විප්ලවය ජයග්‍රහණය කිරීම කොහොම වෙතත් මුසෝලිනී හා හිට්ලර් නම් මාක්ස්වාදීන් ඝාතනය කළා. පඬියන් කියාවි එසේ වුණේ කම්කරු පංතිය ඉදිරියට එන්න බැරි වුණ නිසා කියලා. ඒත් ඉදිරියට එන්න කම්කරු පංතියක් නැහැ.



මාක්ස් ඉපදෙන විට යුරෝපයේ ජාතික රාජ්‍ය කියා ආගමික රාජ්‍ය තිබුණා. ඒත් ජාතීන් තිබුණෙ නැහැ. ඔහු යුදෙව්වකු ලෙස සමාජ අසාධාරණය දුටුවා. එමෙන් ම යුරෝපීය සමාජ විකාශය ද දුටුවා. ඔහුට ඩාවින්ගේ පරිණාමවාදය බලපෑවා. ඔහු තම ප්‍රාග්ධනය කෘතිය ඩාවින්ට පිළිගැන්වීමටත් කල්පනා කළා. ඩාවින් එය පිළිගත්තේ නැහැ. මාක්ස්ට සමාජ අසාධාරණය හා සමාජ විකාශය තේරුම් ගන්න අවශ්‍ය වුණා. ඔහු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත ඉතා හොඳින් පදනම් වූ අයෙක්. ඔහු සමාජ අසාධාරණය හා සමාජ විකාශය තේරුම් ගැනීම සඳහා බටහිර විද්‍යාවේ කෙරෙන පරිදි පංතිය කියන සංකල්පය අනපෝහනය කළා. ඔහු  පංති අරගලයක් නිර්මාණය කළා. අනපෝහනයේ කෙරෙන්නේ හිතළු ඉදිරිපත් කිරීම. සමහර හිතළු හරියනවා. සමහර හිතළු වරදිනවා. මාක්ස්ගෙ හිතළුව වැරදුණා. ඊනියා කම්කරු පංතියෙ වැරුද්දක් තිබෙන බව ලෙනින් තේරුම් ගත්තා. මාක්ස්ගෙ කම්කරු පංතිය ඉපදෙන්නෙ විඥානයක් නැතිව. විඥානයක් නැතිව ඉපදීම ම ප්‍රශ්නයක්.



මාක්ස්වාදය බටහිර විද්‍යාවටවත් එකඟ නැහැ. එහි ඊනියා පුරෝකථන සාක්‍ෂාත් වුණෙ නැහැ. මා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වුණෙ මාක්ස්වාදය විද්‍යාත්මක ද කියලා දීර්ඝ ලිපියක් ලියලා. ලෙනින් මාක්ස් නිවැරදි කරන්න කම්කරු පංතියට විඥානය බාහිරින් ගේන්න ඕන කියලා කිවුවා. ලෙනින්ගෙ කම්කරු  පංතිය මාක්ස්ගෙ කම්කරු පංතිය නො වෙයි. කම්කරු පංතිය, පංති අරගලය ආදිය හිස් වචන පමණයි. විඥානයක් නැති පංතිය මොකක් ද? මාක්ස් යුරෝපය දිහා බලලා ලෝකෙට ම කතන්දර අනපෝහනය කළා. පඬියන් මේ රටේ වැඩවසම් ක්‍රමයක් තිබුණ බව කියන්නෙ මාක්ස් පසුව කියූ ආසියාතික නිෂ්පාදන මාතය ගැනවත් කිසිම දැනීමක් නැතිව. මාක්ස්ගෙ සමාජ විකාශය පස්සෙ ට්‍රොට්ස්කි තම සාමූහික හා අසම සංවර්ධන ප්‍රවාදය මගින් හරිගස්සන්න හැදුවා. ඒත් හරි ගියෙ නැහැ.



එක අතකින් දේශපාලනඥයන් හරි. නැති කම්කරු පංතියකට මොන කම්කරු දින ද? මෙය දේශපාලනඥයන් තම බලය පෙන්වීමට, උරගා බැලීමට, අනෙකුන්ට අභියෝග කිරීමට යොදා ගන්නා දිනයක් පමණයි. අපි යන්නේ කොයි පාරේ, දේශපාලනඥයන් යන පාරේ.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මැයි 01