Main Logo

Saturday 13 May 2017

මෝදිං සරණං ගච්ඡාමි


මෝදිං සරණං ගච්ඡාමි



මෝදි අපට ඇහෙන්න කතා දෙකක් කළා. එකක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ දි. අනෙක දික්මය නෝර්වුඩ් ක්‍රිඩාංගනයේ දී. බණ්ඩාරනායක ශාලාවෙ කරපු කතාව ප්‍රභූන්ට. එහි නිවේදක කටයුතු කෙළේ චන්ද්‍රිකාගෙ ඥාතියකු වූ  අරුන් ඩයස් බණ්ඩාරනායක. ඔහු යොහෝවාගේ සාක්‍ෂිකාරයන්ගේ ආගමේ. ඒක ක්‍රිස්තියානි නිකායක්. ඔහුට වෙසක් උත්සවයක් ගැන හැඟීමක් තිබුණෙ නැහැ. ඇතැම් නළුවන් එවැනි අවස්ථාවල දී නැති හැඟීම් රඟ පාලා පෙන්නවා. මොහු එසේවත් කෙළේ නැහැ. ඔය නිවේදක කටයුත්තට ඉංගිරිසි දන්න සිංහල බෞද්ධයකු හොයා ගන්න  බැරි වුණා ද?




දික්මය කතාව එයට වඩා භයානකයි. මෝදි ඉන්දියාවෙ අගමැති හැටියට, රාජ්‍ය නායකයකු හැටියට මේ රටේ ජනකොටසකට පමණක් ආමන්ත්‍රණය කළා. එය වැරදි වැඩක්. ඔහු ඉන්දියාවෙ දි කියා තිබුණෙ නියම ඉන්දියානු ජාතිකයන් හමුවෙනවා කියලා. හැබැයි අපේ රටේ නිවට නායකයන් ඉන්නකම් ඕන එකක් කරන්න පුළුවන්. දික්ඔය දෙමළ ජනතාව ඇවිත් තිබුණෙ ඉන්දියානු ජාතික කොඩිත් රැගෙන.  ඒ අතර සිංහ කොඩි කිහිපයකුත් තිබුණා. ඒත් අප දැක්ක විධියට නම් වැඩිපුර තිබුණෙ ඉන්දියානු ජාතික කොඩි.   



දැන් මෝදි ආපසු යන්නෙ බුදුහමට මහා සෙතක් කළ රාජ්‍ය නායකයකු ලෙස. ඔහු දළදා මාළිගාවට ගියා. ඊනියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා වුණා. මේ වෙසක් උත්සවයේ ඉංගිරිසියෙන් තිබූ නිල ආරාධනා පත්‍රයෙහි සඳහන් වුණෙ Eliminating Vesak (මේ සමග එහි පිටපතක් අමුණා ඇති). එහි තේරුම වෙසක් ඉවත් කිරීම යන්නයි. මෙය කට බොරු කිව්වත් දිව බොරු නොකියන කතාවක් වෙන්න පුළුවන්. විජයදාස රාජපක්‍ෂ මේ ආරාධනා පත්‍රය බැලුවෙ නැද්ද? ඒ කොහෙම වුණත්  මෝදි වාරණාසි නගරයට (බරණැසට) කොළඹ සිට සෘජු ගුවන් ගමන් සලසන බව කිව්වා. ඒත් ඇයි කියලා කිව්වෙ නැහැ. අප මොන තරම් අහල තියෙනව ද යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුවො ගැන. බොහෝ දෙනා මෝදිගෙ කියමන ගැන සතුටු වෙන්න ඇති.



ඒත් දික්මය දී තමයි නියම මෝදි එළියට ආවෙ. ඔහු දෙමළ වතු කම්කරුවන් තම සංස්කෘතික නියෝජිතයන් ලෙස සැලකුවෙ. ඔහු පැහැදිලි ව කියා සිටියා මෙරට දෙමළ වතු කම්කරුවන් ඉන්දියාවෙ සංස්කෘතිය මෙරට පවත්වා ගෙන යන බව. එය ඔහු අගය කළා. ඔහු නිකමටවත් කිව්වෙ නැහැ ඒ කම්කරුවන් මෙරට සංස්කෘතියට අනුගත විය යුතු බව. මෝදිට අවශ්‍ය දෙමළ වතු කම්කරුවන් ඉන්දියානු සංස්කෘතිය රැක ගැනීම. ඔවුන්ට ඉන්දියාවට ඇති බැඳීම තව තවත් වර්ධනය කිරීම. මෝදිට මෙන් ම මෝදිගෙ කතාවටත් දෙමළ කම්කරුවෙන්ගෙන් උද්‍යොගිමත් ප්‍රතිචාර ලැබුණා. කාට හරි හිතෙන්න පුළුවන් එක්කෝ මෝදි ලංකාවෙ අගමැති කියා, නැත්නම් රැස්වීම පැවැත්තුවෙ ඉන්දියාවෙ කියා.



අර වාරණාසි ගුවන් ගමන් මොකට ද කියන එක මෝදි දික්ඔය දි පැහැදිලි කළා. ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් බලන්න යන්න නොවෙයි. ඒ වතු කම්කරුවන්ට වාරණාසි ගිහිල්ල ශිව දෙවියන්ගෙ ආශිර්වාදය ලබා ගන්න. වාරණාසි හින්දුන්ගෙත් පූජනීය ප්‍රදේශයක්. අපට ඒක ප්‍රශ්නයක් නො වෙයි. මෝදිට බරණැස යන සිංහල බෞද්ධයන් මතක් වුණෙ නැහැ. මෝදි තව අවුරුදු කිහිපයකින් වතු කම්කරුවන්ගෙ මුතුන් මිත්තන් ලංකාව ගෙන ඒමේ දෙසිය වැනි වස උදාවන බව සඳහන් කළා. සිංහල බෞද්ධයන් ඇතැම් ප්‍රශ්න මතු කළත් වෙනත් රටවල මෙන් බටහිරයන් මෙරටට ගෙනා දෙමළ ජනයා ආපසු ගන්න ලෙස බල කෙළෙ නැති එක ගැන කියන්න මෝදිට අමතක වුණා. 



මෝදි තවත් භයානක කතාවක් කිව්වා. ඔහුට අනුව දෙමළ වතු කම්කරුවන් ඉන්දියානු සම්භවයක් ඇති ඉන්දීය ඩයස්පෝරාවක කොටසක්. මෝදිට වෙනත් රටකට ඇවිල්ල එහි ජීවත් වන එක ජනවර්ගයක් ගැන එහෙම ප්‍රකාශයක් කරන්න කිසිම අයිතියක් නැහැ. ඔහු යොදා ගත්ත වචනෙ ඩයස්පෝරාව. මෝදි හිතන්නෙ මෙරට කඳුකරයේ වාසය කරන්නෙ ඉන්දියාවට අයිතිවාසිකම් කියන්න පුළුවන් ජන කොටසක් කියල ද? ඒ ජන කොටසෙ සුභ සිද්ධිය වෙනුවෙන් කියලා යම්කිසි දවසක මෝදි ඉන්දියන් හමුදාව එවයි ද?  මෝදි කඳුකරයෙ දෙමළ ජනයාට නිවාස දහදාහක් තනන්න යනවා. රනිලුත් ඒක අගය කළා. එත්  රනිල්ටත් මෝදිටත් අමතකයි ඉංගිරිසින් මුඩුබිම් පනතින් සිංහලයන්ගෙ ඉඩම් උදුරා ගත්ත බවත් ඒවායෙ කෝපි හා තේ වැව්ව බවත්, ඒ ඉඩම්වල දෙමළ ජනයා පදිංචි කළ බවත්. රනිල්ගෙන් සිංහලයන්ට කිසිම සෙතක් වෙන්නෙ නැහැ.



මෝදිගෙ ප්‍රකාශවලට කිසිවකු දැනට විරුද්ධත්වය පාලා නැහැ. අඩු තරමෙන් ඒකාබද්ධ විපක්‍ෂෙන් ප්‍රකාශයක් නිකුත් කෙරිලා නැහැ. මහින්දගෙ ඕනෑ කමට මෝදි හමුවෙන්න ඔහුට අවස්ථාවක් දීලා. ඒකට ගෝඨාභයත් ජී එල් පීිරිසුත් සහභාගි වෙලා. ජී එල් මහින්ද නොමග යවන කෙනෙක්. 13 + සහ තවත් බොහෝ දේ පිටුපස ඔහු සිටියා. ඔහු චන්ද්‍රිකාගෙ පැකේජය වෙනුවෙන් දැඩිව පෙනී සිටියා. අඩු තරමෙන් රනිල්වත් ඔහු විශ්වාස කරන්නෙ නැහැ. මහින්ද ජී එල් ගැන තබන විශ්වාසය කුමක් ද? අද මහින්ද වටා සිටින අයගෙන් වැඩි දෙනෙක් එ ජා ප දේශපාලනයේ යෙදෙන යෙදුණ අය. රනිල් ඔවුන් සමග හොඳ නැහැ. ඔවුන් මහින්ද සමග ඉන්නේ ඒ නිසයි.



මහින්දගෙ පරාජයෙන් පස්සෙ ඔහු කී කරුණක් තමයි ඉන්දියාවෙ රෝ ඔත්තු සේවය තම පරාජය පසුපස සිටිය බව. මෝදි ඒ බව දන්නවා. එකලත් ඉන්දියාවෙ අගමැති මෝදි. මෝදිටත් අවශ්‍ය වුනෙ නැද්ද මහින්ද ගෙදර යවන්න. මහින්දට දේශපාලනික ව විශ්‍රාම ගන්න කියලා ඉන්දියාව ජී එල් පීරිස් ලවා කියෙවුවෙ මැතක දි. සමගාමි ලැයිස්තුව ඉවත්කරන්න කියලා ජී එල් හා කෙහෙළිය ලිපියක් දීල වැඩි කලක් නැහැ. තමා පරාජය කළ ඔත්තු සේවය තියන රටේ අගමැති හම්බ වෙන්න මහින්ද ජී එල් එක්ක ගියෙ අහවල් දේකට ද? ගීතගෙ ආසනය බේරලා දෙන්න ජී එල් නීතිඥයාට නීති උපදෙසක් දෙන්න පුළුවන් ද? උපදෙස් පිළිගන්න නොගන්න එක වෙන ම වැඩක්. මහින්ද තියා ජාතික ව්‍යාපාරයෙ අයවත් ජනමාධ්‍යවත් අප කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් ගන්නෙ නැහැ. මා මේ ලිපි ලියන බව දන්නෙත් ඉතා ටික දෙනයි. බොහෝ දෙනකු සිතන්නේ මා දැන් කිසිවක් නොකරන බවයි. ජාතික ව්‍යාපාරයෙ අයත් ඒකට පොහොර දානවා.









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මැයි 13