Main Logo

Saturday 27 May 2017

ඊනියා ආනුභාවිකයෙන් අධ්‍යාත්මයට හරවන ගංවතුර


ඊනියා ආනුභාවිකයෙන් අධ්‍යාත්මයට හරවන ගංවතුර



මේ දිනවල දරුණු ගංවතුර තර්ජනයක් නිරිතදිග ප්‍රදේශ ආශ්‍රිත ව තිබෙනවා. වැස්ස අඩුවුනත් කලින් වැස්ස වතුර මුහුදට ගලා යන්න ඕන. වතුර තැනිතලා ප්‍රදේශ මැදීන් ගලන විට ගංවතුර තර්ජනය වැඩි වෙනවා. මිනිසුන් කල් ඇතිව ආරක්‍ෂක තැන්වලට යන්නේ නැහැ. ඔවුන් එසේ යැවීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් ද නැහැ. අප බොහෝ වෙලාවට කරන පරිදි ප්‍රශ්නය ඔඩු දිවීමෙන් පසුව පමණක් ප්‍රශ්නයට මැදිහත් වෙනවා.




අපට සැලසුම් කිරීම තේරෙන්නේ නැහැ. දේශපාලනඥයන්ට බැණ වැදීමෙන් වැඩක් නැහැ. දේශපාලනඥයන්ගේ ඊනියා උපදෙස් නොමැති ව නිලධාරීන්ට ප්‍රශ්නවලට මැදිහත් වෙන්න බැරි ද? මිනිසුන් ද දන්නෙ නැද්ද පහුගිය අවුරුද්දෙ නැත්නම් 2003 ගංවතුර වෙලාවෙ දි යට වූ ප්‍රදේශ. ඒ අනුව ආරක්‍ෂක ස්ථානවලට කලින් ම යන්න. ඔවුන් අවසාන මොහොතත් පසු වූවාට පසු පමණක් ආරක්‍ෂක ස්ථාන ගැන කියන්නේත් අඳෝනා කියන්නේත් සැලසුම් කිරීමට යොමු නොවන නිසා.



කාලගුණ දෙපාර්තමේන්තුව කියාවි මේ නිරිතදිග මෝසම සක්‍රීය වීමක් කියා. එය එක් හේතුවක් පමණයි. කාලගුණ දෙපාර්තමේන්තුව තමන්ට සුද්දන් කියා දී ඇති ආකාරයට මෝසම ගැන පමණක් සඳහන් කරනවා. අපට ඒ ගැන ඔවුන්ට දොස් කියන්න බැහැ. ඔවුන් ලබා ඇති අධ්‍යාපනය අනුව ඔවුන්ට මෝසම හැරෙන්නට වෙනත් අදහසක් නැහැ. එය අපේ බලවත් අඩුපාඩුවක්.



නිව්ටන් මොනවා කිව්වත් ලෝකය හැමදාම එකම විධියට කැරකෙන්නේ නැහැ. මේ අවුරුද්දේ හුළඟ ඇතිවෙන ආකාරයට ඊළඟ අවුරුද්දේ හුළඟ ඇති වන්නේ නැහැ. ඒ සඳහා බටහිර විද්‍යාඥයන් විවිධ හේතු දක්වාවි. ඒ සියල්ල භෞතික හේතු. මේ ගංවතුරට තවත් හේතු තියෙන්න පුළුවන්. ඒවා භෞතික හේතු විය යුතු ම නැහැ. හේතුඵල ගැන අප කතා කරන්නේ ම නැහැ. වාතයේ කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම, හරිතාගාර ආචරණය, උෂ්ණත්වය වැඩිවීම ආදී දහසක් කරුණු බටහිර විද්‍යාඥයන් කියාවි. ඔවුන්ට ඒ කිසිවක් ගැන නිශ්චිත දෙයක් කියන්න බැහැ. අඩු තරමෙන් ට්‍රම්ප්වත් ඔවුන් කියන දේ විශ්වාස කරන්නේ නැහැ.



එහෙත් අප බටහිර විද්‍යාඥයන් කියන දේ විශ්වාස කරනවා. අද සිංහල බෞද්ධයන්ටත් බයිබලයක් තියෙනවා. ඒ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ විද්‍යා බයිබලය. සිංහල බෞද්ධයන් අහන්නේ බුද්ධාගම මේ බයිබලයට එකඟ ද කියා. අප නිව්ටන්ගේ සම්භාව්‍ය භෞතික විද්‍යාවෙන් මුළා වෙලා. එහි ගලක් පොළොව ආසන්නයේ උඩ දැම්මොත් එයට කුමක් වන්නේ ද කියන එක නිශ්චිත ව කීමට ප්‍රවාද හෙවත් කතන්දර හෙවත් හිතළු තිබෙනවා.  ඒ එහි දී හුළඟ ආදිය නොසලකා හැරීමට හැකි නිසා. ගැලීලියොත් තම පීසා නුවර කළා යැයි කියන පරීක්‍ෂණයේ දී හුළඟ නොසලකා හැරියා. ඔහු රික්තයක් නොවන තැනක අනෙක් අයට රික්තයක් මවා ගන්න කිව්වා. ඔහු පිහාටු අතහැරියෙ නැහැ. ඒ පිහාටුවලට හුළඟ බලපාන නිසා. එහෙත් කාලගුණ විද්‍යාවේ දී හුළඟ අත්හරින්න බැහැ. එය එක් පැත්තක් පමණයි.



අප බටහිර විද්‍යාව ඉගෙන ගන්න පටන් අරන් අවුරුදු එකසිය හැත්තෑපහක් පමණ වෙනවා. බලපත්‍ර දොස්තරවරුන් හා තාක්‍ෂණ නිලධාරීන් පුහුණු කිරීමට වෛද්‍ය විද්‍යාලය හා තාක්‍ෂණ විද්‍යාලය පටන් අරන් අවුරුදු එකසිය පනහකට ආසන්නයි. එහෙත් අපට තවමත් හරිහමන් විද්‍යාඥයකු බිහි කිරීමට බැරි වෙලා. මෙරට කසිකබල් විද්‍යාඥයන් දන්නේ ආනුභාවික විද්‍යාවක් ගැන පුරසාරම් දෙඩීමට පමණයි. ගුරුත්වාකර්ෂණ බලය ආනුභාවික ය කියා කාලෝ ෆොන්සේකා කියනවා ද? ඔහු කියන්නේ බුදුහාමුදුරුවොත් ආනුභාවික කියායි. ආනුභාවික ව අඩු තරමෙන් ප්‍රථම ධ්‍යානයටවත් සම වැදෙන්න බැරි බව කතෝලික පවුලක ඉපිද කතෝලික අධ්‍යාපනයක් ලත් බටහිර විද්‍යාවට කිසිම සංකල්පයක් ප්‍රවාදයක් එකතු කර නැති ඊනියා විද්‍යාඥ කාලෝ දන්නේ නැහැ. බටහිර විද්‍යාව ගැන මා සමග විවාදයකට පැමිණෙන ලෙස මා බොහෝ කලක සිට කාලෝට අභියෝග කර ඇති නමුත් ඔහු තවමත් ඒ අභිියෝගය පිළිගෙන නැහැ. මා ඔහුට ඒ අභියෝගය සයිටම් සම්බන්ධවත් කරනවා.



නිව්ටන් තරමක්වත් හරි යන්නේ (හරි නො වෙයි) ඔහු සලකන සාධක හැරෙන්න වෙනත් සාධක නොසලකන අවස්ථාවල පමණයි. එහෙත් සූර්යයා වටා ග්‍රහ වස්තු චලනයේ දී එයත් හරි යන්නේ නැහැ. බටහිර විද්‍යාව ඇතැම් තැන්වල හරියන්න පුළුවන්. ඒත් එය පට්ටපල් බොරුවක්. අප සෑම දෙයකට ම බටහිර දිහා බලනවා. ඊනියා ආපදා කළමනාකරණයත් අප කරන්නේ බටහිරට ඕන විධියට. අප යොදා ගන්නෙ බටහිර සංකල්ප. මේ රටට වැඩියෙන් ම වින කරන්නේ ඊනියා උගතුන්. ඔවුන්ට ජඩමාධ්‍යවේදීනුත් අයිතියි. දේශපාලනඥයන් එන්නේ ඉන් පසුව. අද ජනමාධ්‍ය ගංවතුර වාර්තා කරන්න එකිනෙකා සමග තරග කරනවා. සෙල්ෆි ගහන්න එපා කියමින් ඊනියා ප්‍රවෘත්ති වටිනාකම වැඩි කර ගන්න ගුවනින් පින්තූර ගන්නවා. ජනතාවගේ දුක නිවන්න  කියමින් තරග කරනවා.



මේ ගංවතුර වින්නැහියට පෙර මෑත කාලයේ, අවුරුද්දක් පමණ කාලයක, කොපමණ විනාශ වුණා ද? කොපමණ පිපිරීම්, නාය යෑම්, ගංවතුරු ආදිය සිදු වුණා ද? මෙරට අපරාධ දිනෙන් දින වැඩි වෙනවා. එක් පඬියකු කියා තිබුණේ අපරාධ වැඩි නොවන බවත් වාර්තා කිරීම් පමණක් වැඩි වන බවත්! එකලත් දෙමවුපිය ඝාතන දාරක ඝාතන මෙපමණට ම සිදුවුණ බව ඔහුට පමණක් වාර්තා වෙන්න ඇති. මේ කසිකබල් පඬියන් කුමක් කීවත් අද මෙරට ආධ්‍යාත්මික ව පිරිහිළා. සම්‍යක්දෘෂ්ටික දෙවියන් ක්‍රමයෙන් අප අත්හැර යනවා. වෙනත් දෙවිවරුන් බලවත් වෙලා. මේ වින්නැහිවලට එයත් බලපානවා. එහෙත් එය බටහිර විද්‍යාවට අහුවෙන්නේ නැහැ. විසාලා නුවර තුන්බිය ඇති වූ අවස්ථාවේ බුදුහාමුදුරුවන් ග්‍රීකයන් ඒ ගැන කියන්නේ මොනවා ද කියා විමසුවේ නැහැ. පිරිත් දේශනා කළා. අදත් අපට අපේ ආධ්‍යාත්මික ගුණ වර්ධනය කිරීමට අවස්ථාව එළඹිලා. ගුණ නැණ එකට යන්නේ. පාදෙණිය කියන ආකාරයට බටහිර වෛද්‍ය විද්‍යාවේ නැණට සිංහල බෞද්ධ ගුණ එකතු කරන්න බැහැ. අනෙක් දරුවන්ට බටහිර වෙදකම් කරමින් තමන්ගේ දරුවන්ට අද්‍යශ්‍යමාන ප්‍රාණීන්ගෙන් ප්‍රතිකාර ගැනීම ගුණ නැණ එකතු කිරීමක් ද කියා මා දන්නේ නැහැ.



බටහිර විද්‍යාඥයන්ගේ හා වෛද්‍යවරුන්ගේ කුහකකම් කොහොම වුණත් අද අප රට සම්බන්ධයෙන් සම්‍යක්දෘශ්ටික දෙවිදේතාවුන් නොබලන තත්වයකට පත්වෙලා. වෙනත් දෙවියන් අපට අලාභහානි කරනවා. අප නිව්ටන්ට යදිනවා. ඒත් අපට වැඩක් වී නැහැ. අජිත් පෙරේරා ලොකුවට කියනවා වකුගඩු රෝග සම්බන්ධයෙන් අපට ඕස්ත්‍රේලියාවෙන් ආධාර ලැබෙනවා කියා. ඔවුන්ට ඒ සම්බන්ධ ප්‍රතිකාර නැහැ. අජිත් පෙරේරා ජයවර්ධනපුර විද්‍යා උපාධිධාරියෙක්. ඔහු මට වඩා විද්‍යාව දන්නවා. වකුගඩු ගැන ජනමාධ්‍යයත් උනන්දු වෙනවා. ඒත් බටහිර වෙදකම ගැන. මේ සියල්ලන් නොදන්න කරුණක් නම් සිංහල වෙදකමේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ඇති බව. ඔවුන් ඒ පිළිගැනීමට කැමති නැහැ. පිළිගැනීම සඳහා බටහිර වෛද්‍ය සහතික ඉල්ලනවා. ඒ අපේ දේ රැක ගැනීමට වෙන්න ඇති.



අප අපේ රටේ ඇති ක්‍රමවලට හිත යොමු කළ යුතුයි. මේ වින්නැහිවලට නිව්ටන් දෙස පමණක් නොබලා බුදුහාමුදුරුවන් දෙසත් බැලීමට පුරුදු විය යුතුයි. අපේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කර ගැනීමට යොමු විය යුතුයි. ඒ සඳහා දන්නා කියන අයගේ උපදෙස් ලබා ගත යුතුයි. දන්නා කියන අය නැත්තේ ම විශ්වවිද්‍යාලවල. මා ඒ බව අත්දැකීමෙන් ම දන්නවා. 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මැයි 27