Main Logo

Tuesday 16 May 2017

මෝදි මහින්ද හමුවේ ජී එල් භූමිකාව


මෝදි මහින්ද හමුවේ ජී එල් භූමිකාව



මහින්ද හා මෝදි හමුව හදිසියේ සංවිධානය කෙරුණක් බව පෙනෙන්නට සලස්වනවා. එහෙත් එය එසේ ම වී දැයි අප දන්නේ නැහැ. කලින් සංවිධානය කරන ලද්දක් වුවත් නැතත් මේ හමුවට ජී එල් පීරිස්ගේ සම්බන්ධයක් ඇති බව හිතා ගන්න පුළුවන්. ඒ හමුවට ජී එල් හා ගෝඨාභයත් සහභාගි වී තිබෙනවා. මේ සාකච්ඡාව පිළිබඳ යම්කිසි සැකයක් දැනටමත් ඇතැමුන් අතර ඇති වී තිබෙනවා. එයින් ජී එල් පීරිස්ට ප්‍රශ්නයක් නැහැ. ඔහුට මේ රටේ මනාප නැහැ. එහෙත් අනෙක් දෙදෙනා ගැන එසේ කියන්න බැහැ. ඔවුන්ගේ කාර්යයන් පිළිබඳ විචිකිච්ඡාවක් ඇති කිරීම ජාතිකත්වයට ප්‍රශ්න ඇති කරාවි. මෛත්‍රිපාලත් මේ හමුව ගැන දැන සිටියාලු. 




ජී එල්ට ඇති ජාතිකත්වයක් නැහැ. මා එසේ කියන්නේ ඔහු මගෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ දී ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා ඇසු නිසාවත් රුපියල් ලක්‍ෂ ගණනක් වියදම් කර මට විරුද්ධව චෝදනා විභාග කිරීමට මාස තුනක පමණ කාලයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කාමරයක් කුලියට ගත් නිසාවත් අවසානයේ දී මා විශ්වවිද්‍යාලයෙන් අස්කිරීමට දායක වූ නිසාවත් නො වෙයි. ඒ සිද්ධියේ දී විද්‍යා පීඨයේ ආචාර්යවරුන් ඔහු යොදා ගත්තා. ඉන් එක් අයකු කලක සිට මහින්දගේ විශ්වාසදායක උපදේශකවරයෙක්.



ජී එල්ට ජාතිකත්වයක් නැති බව ඔහුගේ දේශපාලන ඉතිහාසයෙන් මැනවින් පේනවා. ජී එල් කියන විධියට නම් සක්සුදක් සේ පෙනෙනවා. ඔහු ජේ ආර්ගේ කාලයටත් පෙර සිට එ ජා ප හිතවතෙක්. ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ දී ඔහු සිටියේ එ ජා ප සමග. ඔහු පළාත් සභා අනුමත කළා. ඉන්පසු ප්‍රේමදාසට ආධාර කළා. පසුව රනිල් සමග වූ විරුද්ධතාව නිසා පක්‍ෂ මාරු කළා. ඔහු සංස්ථාපනයට පක්‍ෂයි. එහෙත් සංස්ථාපනයේ රනිල් ඔහුට කැමති නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරයේ බලකණු එදා ජී එල් සමග එක්වුණා. ශිෂ්‍ය ව්‍යාපාරයේ  ඒ අතීතය තිත්ත ඇත්තක්. මා මේ දේ කියන්නේ මට වුණු පෞද්ගලික කරදර නිසා නො වෙයි. මගේ භාර්යාවට හා දරුවන්ට පින් සිදු වන්නට මා අස් කිරීම හිතට වධයක් වුණේ නැහැ. මා රැකියාව නැති කාලයෙහි බොහෝ පොතපත කියෙව්වා.



ජී එල් පසුව චන්ද්‍රිකා සමග එක්වුණා. පැකේජය වෙනුවෙන් කටයුතු කළා. ඔහු පැකේජයේ ප්‍රධාන නියමුවෙක්. ෆෙඩරල්වාදියෙක්. පසුව මහින්දට ආධාර කළා. ඔහුගේ ආධාරයෙන් මහින්දට ඡන්ද කීයක් වැඩි වුණා ද කියා දන්නේ නැහැ. ඒ කොහොම වෙතත් ජී එල් 13 + සමග ඔහු හිටියා. ඔහු විදේශ ඇමති ලෙස මහින්ද අමාරුවේ දාපු අවස්ථා තිබුණා. ඒ සියල්ල සිදු වුණේ කෙසේ ද? ජෙනීවා සාකච්ඡා පිළිබඳ වෙන ම සාකච්ඡාවක් කරන්න වේවි.



ඉතා මෑතක දී ඔහු සමගාමී ලැයිස්තුව ඉවත් කර ගැනීමට කෙහෙළිය රඹුක්වැල්ල සමග එකතු වී ලිපියක් දී ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ අනුමැතියකින් තොරව. මෙරට කැබිනට් මණ්ඩලයෙත් නැති සාමූහික වගකීම දේශපාලන පක්‍ෂවල තියෙන්න විධියක් නැහැ. අද දේශපාලන පක්‍ෂවල එක් එක් අය තම තමන්ට කැමති ප්‍රකාශ කරනවා. පසුගිය දා ජී එල් ඉන්දියාවට ගොස් පැමිණ කිව්වේ ඉන්දියාවට මහින්ද දේශපාලන වශයෙන් විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය බවයි. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ ම කිව්වා. රහසේ මහින්දට පමණක් කිව්වේ නැහැ.



ගිය සතියේ මෝදි සමග සාකච්ඡාව ඉල්ලන්න ඇත්තේ මහින්ද වෙන්න පුළුවන්. ජී එල්ගේ වුවමනාවට මහින්ද ඉල්ලුවා වෙන්නත් පුළුවන්. එහි ජී එල් භූමිකාව අපට නිල වශයෙන් දැන ගැනීමට නො හැකියි. එයට ගෝඨාභය එක්කර ගත්තේ ඇයි? බටහිරටත් ඉන්දියාවටත් රාජපක්‍ෂලා දේශපාලන වශයෙන් විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය ද? ගෝඨාභයට විරුද්ධව එක්සත් රාජ්‍යවල නඩු  පැවරීමට විසිරුණු දෙමළ ජනයා කටයුතු කර තිබෙනවා. ඒ ඔහුගේ ද්විත්ව රටවැසිබව බලෙන් තියා ගැනීමට ද? ඔහු මෙරට ඉහළ තලයේ දේශපාලනයට සහභාගි වීම වැළැක්වීමට කිසිවකු කටයුතු කරනවා ද? 



මෝදි රාජපක්‍ෂලාට දේශපාලනයෙන් විශ්‍රාම ගන්න කිව්වා ද? එසේත් නැත්නම් වෙනත් කරුණුවලට එකඟ කරවා ගත්තා ද? මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් පනස්අට ලක්‍ෂයට ම කෙසේ වෙතත් ඒ බව දැන ගැනීමට අවශ්‍ය පිරිසක් රටේ ඉන්නවා. ජී එල් සමගින් වූ මෝදි - රාජපක්‍ෂ සාකච්ඡා පිළිබඳ තොරතුරු දැන ගැනීමට යම් පිරිසකට අවශ්‍යයි. එහෙත් ජී එල් පීරිස් දි අයිලන්ඩ් පුවත්පතේ විශේෂ වාර්තාකරුවකු වූ වෙන්කට් නාරායනට දුරකතනය මගින් කියා ඇත්තේ ඒ සාකච්ඡා රහස්‍ය බවයි. ඒ වාර්තාව ඊයේ (මැයි 15) එකී පුවත්පතේ පළ වූවා. ඒ වාර්තාව ලියා ඇත්තේ ඉන්දියාවට විරුද්ධ වී ලංකාවේ දේශපාලනය කළ නොහැකිය යන අදහස ගෙන දෙන අයුරින්. සිංහල බෞද්ධයන් ඉන්දියාවට ඇති ඇල්මක් නැහැ. ඔවුන් වන්දනාවේ යන්නේ දඹදිවට මිසක් කොටින්ට ආධාර කළ ඉන්දියාවට නො වෙයි. පඬියකු කියන්න බැරි නැහැ දඹදිව කියන්නෙත් ඉන්දියාව කියා. පඬියන්ට ඒ වෙනස්කම් තේරෙන්නේ නැහැ. කොහොම වුණත් සිංහල බෞද්ධයන් තරම් රැවටෙන වෙනත් පිරිසක් නැතිවෙන්න පුළුවන්.



මහින්ද හරි රනිල් හරි මෛත්‍රිපාල හරි වෙනත් කවුරු හරි වෙනත් රාජ්‍ය නායකයන් සමග පවත්වන රහස් කතා මොනවා ද? මේ අය පෙනී සිටින්නේ ජනතා නියෝජිතයන් ලෙස. ජනතා නියෝජිතයන් ජනතාවට හොරෙන් කරන සාකච්ඡා මොනවා ද? ජනතා නියෝජිතයකු නොවූ ජී එල්ට ජනතාවට බැඳීමක් නැහැ. ඔහු නොයෙකුත් රහස් කතා පවත්වනවා විය හැකියි. එහෙත් මහින්දට ජනතා නියෝජීිතයකු ලෙස ජනතාවට වසන් කරන දේශපාලනයක් තියෙන්න බැහැ. මෝදි රාජපක්‍ෂලා සමග සාකච්ඡා කෙළේ පෞද්ගලික කරුණු කියා අප සිතන්නේ නැහැ.



ජී එල් අද පොහොට්ටු පක්‍ෂයේ නායකයා. එහෙත් ඔහු වෙනුවෙන් කී දෙනකු රැස්වීමකට සහභාගි වේවි ද? මහින්ද ජී එල් කඩේ යවනවා ද? නැත්නම් ජී එල් මහින්ද කඩේ යවනවා ද? මේ සියල්ල පිටුපස ඉන්නේ කවුරුන් ද? අද රටේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ ව්‍යවස්ථාව. ඒ පිළිබඳ ජී එල් කියන්නේ කුමක් ද? ජී එල් මහින්ද කණ්ඩායම හා මෛත්‍රිපාල කණ්ඩායම අතර එකතුවකට ඉතා දැඩි ලෙස විරුද්ධයි. එවැනි එකතුවකින් වුවත් අසම්මත ලෙස සම්මත කිරීමට යන ව්‍යවස්ථාවක් පරාජය කරන්න බැහැ. එසේ නම් එකතුවකටත් විරුද්ධ වීමෙන් ජී එල් කරන්නේ කුමක් ද? ජී එල් තම ක්‍රියාකාරකම් මගින් රාජපක්‍ෂලා සැකයට භාජනය කරවන අතර ව්‍යවස්ථාව  සම්මත කර ගැනීමටත් උපකාර කරනවා ද? ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලින් සංධානයෙන් පත් වූ සියලු මන්ත්‍රීවරුන් ඉවත් වීමට කටයුතු කරනවා ද? අද ඒ මණ්ඩලය කොහොමටත් කල් ඉකුත් වූවක් පමණයි. ඉන්දියාවට ඒ මණ්ඩලය අවශ්‍ය ද? ඒ ගැනත් මෝදි යමක් කිව්වා ද? ඒකත් රහසක් ද? 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මැයි 16