ත්‍රිලක්‍ෂණයේ ලක්‍ෂණ
බුදුදහම පිළිබඳ විවිධ අර්ථකථන පසුගිය අවුරුදු දෙදහස් හයසියයක පමණ
කාලයක කෙරී තිබෙනවා. හීනයාන, මහායාන ආදී වශයෙන් පමණක් නොව දැන්
බටහිර වශයෙන් ද බුදුදහම් තිබෙනවා. මෙරට ඇතැම් උගතුන් ද ථෙරවාදයේ නොව බටහිර
බුදුදහමේ. අවශ්‍ය නම් එය ප්‍රතිචීන බුදුදහම කියලා හඳුන්වන්න පුළුවන්. එහි සසර, කර්මය, නිවන ආදිය නැහැ. ඒ එකක් වත් පංචෙන්ද්‍රිය
ගෝචර නැහැ. පංචානන්තරීය පාප කර්ම ඒ බුදුදහමේ නැහැ. ප්‍රතිචීන බුද්ධාගම පංචෙන්ද්‍රිය
ගෝචරයි. උඩ ඉන්න ඇත්තන්ගෙ (උගතුන්ගෙ) බුදුදහම සාමාන්‍ය ජනයාටත් කාන්දු වෙනවා. අද
ඇතැම් දරුවන් දෙමව්පියන්ට සලකන්නෙ නැහැ. ඔවුන් බුද්ධිමය වශයෙන් නැතිවුවත් ප්‍රායෝගික
ව ප්‍රතිචීන බුද්ධාගමෙන් ආභාසය ලබනවා.
මොන බුදුදහමට වුණත් ත්‍රිලක්‍ෂණය ඇතුළත්. එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අපට පුරුදුයි. මේවා සංකල්ප. සංකල්ප තේරුම් අරගෙන මදි.
අප අවබෝධ කරන්න උත්සාහ කරන්නේ සංකල්පවලින් ඔබ්බෙන් ආධ්‍යාත්මික ව. බුදුදහමෙහි ඇති
එක් ප්‍රශ්නයක් නම් සංකල්පවලින් ඔබ්බෙහි වූ අවබෝධයක්, සංකල්පවලින් විස්තර කිරීමට යෑම. එසේ නොකර බැහැ. සංකල්පවලින් ඔබ්බට
යෑමටත් කියා දීමට සිදු වී ඇත්තේ සංකල්පවලින්. ඇතැම් අවස්ථාවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ශූන්‍ය කියාත් කියැවෙනවා. අනිත්‍ය,
දුක්ඛ, අනාත්ම හා ශූන්‍ය වෙන් කරන්න බැහැ.
සංකල්පවලින් ඔබ්බට යෑම කිව් පමණින් පඬියන් කලබල වෙනවා. මා බුදුදහම
ගූඩුදහමක් කරන්න යනවා කියා ඔවුන් කෑමොර ගහන්න ඉඩ තියෙනවා. මේ භවයේ ම වුවත් පාරමී
දම් පුරා ඇත්නම් නිවන් අවබෝධ කර ගන්න පුළුවන්. එහෙත් නිවන විස්තර කරන්න බැහැ. නිවන විස්තර කරන්න බැරි නම් එය ගුඩුදහමක්
ද කියා අහන්න පුළුවන්. ඔය ගුඩුදහම කතාව නැවතත් ඇත්තේ උගතුන්ගේ පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පීය ප්‍රතිචීන
බුද්ධාගමේ. පඬියකුට හැකි නම් අප කාටත් දැන ගැනීමට නිවන විස්තර කරනවා ද? නිවන අර්ථදක්වනවා ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නිර්සංකල්පීය ව තේරෙන අයකු
ඉන්නවා ද?
සංකල්පවලින් ඔබ්බට යෑමට සංකල්ප යොදා ගැනීමට සිදු වීම නිසා ප්‍රශ්න
ඇති වුවත් අපට වෙනත් මගක් දැනට නැති නිසා, අප ආධ්‍යාත්මික මගේ එතරම් දුරක් නොයන නිසා, අපට සංකල්ප අවශ්‍යයි. ත්‍රිලක්‍ෂණය යන්නෙහි තේරුම ලක්‍ෂණ තුනක්
යන්නයි. අනිත්‍ය යනු වචනාර්ථය ලෙස ගතහොත් නම් නිත්‍ය නොවීමයි. එහෙත් එය එසේ නො
වෙයි. මේ නිත්‍ය නොවන්නේ සංස්කාරයි. නිත්‍ය නොවීම යන්න තේරුම් ගැනීම බොහෝ දෙනාට
පුළුවන්. එහෙත් ඒ අය නිවන් අවබෝධ කර ගන්නේ නැහැ. වෙනස්වනවා කියන එක තේරෙනවා. ඒත් ඒ
යම්කිසිවක් වෙනස්වීම. කිසිවක් නැතිව (අනාත්ම) වෙනසක් (අනිත්‍ය) ගැන
සිතන්න හැකි ද?
ඒ කොහොම වුණත් නිත්‍ය නොවීම යන්න ලක්‍ෂණයක් ලෙස සලකන්න පුළුවන්.
අනාත්ම ගැනත් එලෙස ම කියන්න පුළුවන්. දළ වශයෙන් ගතහොත් ආත්මයක් නැත කියා කියන්න
පුළුවන්. මේ කියන්නේ බමුණන් කී ආත්මය. එය නැතැයි කීමෙන් ආත්මයක් ඇතැයි යනුවෙන් තර්ක
කරන්න බැහැ. අනාත්ම කියන්නෙත් ලක්‍ෂණයක්. සංස්කාරවල ලක්‍ෂණයක්. සංස්කාර අනිත්‍යයයි,
අනාත්මයි. මේ සංස්කාර යනු පෘථග්ජනයන්ගේ සංස්කාර
මිස ඊනියා වාස්තවික සංස්කාර නො වෙයි.
දැන් සංස්කාර දුකයි යනුවෙන් කියැවෙන්නේ කුමක් ද? එය ලක්‍ෂණයක් වන්නේ කෙසේ ද? ගුණයක් වන්නේ කෙසේ ද? දුක යනු පෘථග්ජනයාට දුක ඇති කිරීම ද? පෘථග්ජනයා තෘප්ත කිරීමට නොහැකි කම ද? කලින් අප කතා කෙළේ පෘථග්ජනයන්ගේ සංස්කාරවල ලක්‍ෂණ. දැන් අප කතා
කරන්නේ පෘථග්ජනයා සම්බන්ධ දෙයක්. පෘථග්ජනයන්ගේ සංස්කාරවල ලක්‍ෂණ වූ අනිත්‍ය,
අනාත්ම පෘථග්ජනයන්ට සාපේක්‍ෂයි. නිරපේක්‍ෂ සංකල්ප
ඇත්තේ ද්‍රව්‍යවාදීන්ගේ හා විඥානවාදීන්ගේ හිස් වූ හිස්වල පමණයි. දුක යන්න
පෘථග්ජනයාට සාපේක්‍ෂ පමණක් නොව පෘථග්ජනයා හා සම්බන්ධ වූ දෙයක් ලෙසයි අප සාමාන්‍යයෙන්
ගන්නේ.
කාට හරි කියන්න පුළුවන් සංස්කාර පෘථග්ජනයාට දුක උපදවනවා කියා. එහෙත්
එවිට එය අනිත්‍ය, අනාත්ම වැනි ලක්‍ෂණයක් වන්නේ නැහැ,
ගුණයක් වන්නේ නැහැ. දුක ඉපදවීමත් ලක්‍ෂණයක් නො
වේ ද කියා අහන්න පුළුවන්. එහෙත් දුක උපදවන්නේ සංස්කාරයෙන් බාහිර වූ අයකුට. අනිත්‍ය,
අනාත්ම පෘථග්ජනයාට සාපේක්‍ෂ වුවත් ඉන්
පෘථග්ජනයාට කෙරෙන යමක් නැහැ. ඒවා පෘථග්ජනයාට සාපේක්‍ෂ වුවත් පෘථග්ජනයාගෙන්
බාහිරයි. අප දන්නා දුක එසේ නො වෙයි. එය අපට බලපානවා.
දුඃඛ ඇත්තේ අනිත්‍ය හා අනාත්ම දෙකට මැදින්. එය ත්‍රිලක්‍ෂණවලින්
එකක්. එය අනිත්‍ය හා අනාත්ම මෙන් ම ලක්‍ෂණයක් විය යුතුයි. අපට දැනෙන, දැනීමට සලස්වන දෙයක් වෙන්න බැහැ. දුඃඛ (දුක්ඛ)
යන්නට වෙනත් තේරුම් ද තිබෙනවා. ඛ යන්නෙහි
තේරුම හිස්බව යන්න. බටහිර තාරකා විද්‍යාවේ ඛගෝලය යන්නෙහි තේරුම හිස් ගෝලය යන්නයි.
දුඃ යන්නෙන් කියැවෙන්නේ අයහපත්, නරක
වැන්නක්. එවිට දුක්ඛ යනු අයහපත් හිස් බවයි. එය සංස්කාරවල ලක්‍ෂණයක් මිස අපට
දැනෙන දුකක් නො වෙයි. සංස්කාර පෘථග්ජනයාට සාපේක්‍ෂයි. ඒ සාපේක්‍ෂ වූ සංස්කාරවල
දුක්ඛ යන්න තවත් ලක්‍ෂණයක්.
දුක්ඛ යන්න සංකල්පීය ව එලෙස තේරුම් ගත් විට එය අනිත්‍ය හා අනාත්ම
සමගත් ගැලපෙනවා. ඒ සියල්ලෙහි ම ශූන්‍ය බවක් තියෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන්නෙන් කිසිවක් නැති වෙනස්වන අයහපත් හිස් බවක් ගැන අපට
කියන්න පුළුවන්. එය නාස්තිකවාදයක් ලෙස නොසැලකිය යුතුයි. එය සංකල්පීය වශයෙන්
ගැනීමක් පමණයි. එපමණකින් අපට නිවන් අවබෝධ වන්නේ නැහැ. අපවත් වී වදාළ පූජ්‍ය නාඋයනේ
අරියධම්ම හාමුදුරුවන් ද දුක්ඛ ගැන අයහපත් හිස් බවක් ලෙස දේශනා කර තිබෙනවා.
අවිජ්ජා පච්චයා සංඛාරා කියා ඇති තැන අවිද්‍යාව යන්නටත් විවිධ අර්ථකථන
දෙනවා. එය චතුරාර්ය සත්‍යය නොදැනීම යනුවෙන් ඇතැම් විට විග්‍රහ කෙරෙනවා. චතුරාර්ය
සත්‍යයෙහි දුක්ඛ අපට පෘථග්ජනයන්ට ඇති වන්නක්. එයට හේතුවක් ගැන කියනවා. හේතුව නැති
කිරීම හා එයට මගත් කියැවෙනවා. මට නම් තේරෙන විධියට අවිජ්ජා කියන්නේ චතුරාර්ය සත්‍යය
අනවබෝධය නොව ත්‍රිලක්‍ෂණය අනවබෝධය. එවිට පටිච්චසමුප්පදායට අනුව ත්‍රිලක්‍ෂණය
අනවබෝධ වේ නම් සංඛාර වෙයි. සංඛාරවල ලක්‍ෂණ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙයි. මෙය චක්‍රීය චින්තනය
වෙයි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 මැයි 17