Main Logo

Monday 8 May 2017

ප්‍රංශ හුටපටේ


ප්‍රංශ හුටපටේ



දැනට අවුරුදු පනහකටත් ඉහත පේරාදෙණියේ ශාස්ත්‍ර පීඨයේ සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කළ දවස්වල එහි ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයකු රෙවල්‍යුෂන් යන්නට කියන සිංහල නම අමතක වෙලා ප්‍රංශ විප්ලවේට  ප්‍රංශ මහා හුටපටේ කියලා කිව්වලු. ප්‍රංශය හා ජර්මනිය තමයි යුරෝපයේ කේන්ද්‍රය. යුරෝපයට අදහස් ලැබුණෙ මේ රටවල් දෙකෙන්. එංගලන්තය හොඳ කළමනාකරුවකු පමණයි. ඔවුන් ලෝකය කළමනාකරණයෙහි, පාලනයෙහි අති දක්‍ෂයන්. මුළු ඉන්දියාව ම පාලනය කරන්න ඔවුන් කී දෙනකු යොදා ගත්ත ද? එය කොහොමටවත් ලක්‍ෂයක් වන්න බැහැ.




යුරෝපයට ප්‍රංශයෙන් බොහෝ දේ ලැබුණා. ප්‍රංශ විප්ලවය සහ ඒ හා සම්බන්ධ අදහස් ගැන අදත් මුළු මහත් බටහිර ලෝකය ම දොඩවනචා. මෙරට පඬියනුත් දොඩවනවා. පඬියන්ට බුදුහාමුදුරුවො අමතක වෙලා වෝල්ටෙයාර් ගැන කතා කරනවා. මෑත කාලයේ සාත්‍රෙ ගැන කියෙව්වා. කවුරුවත් වෝල්ටෙයාර් ගැන ඊනියා නැවත කියවීමක් කර නැද්ද? ඒ අතර සමහරු සිනමාව ගැන හැදෑරීමට ප්‍රංශයට යනවා. ප්‍රංශ කෙටිකතාව ගැන දිගකතා ලියනවා.



කාටිසිය තාප්පෙ හැදුවෙත් කැඩුවෙත් ප්‍රංශ කාරයො. ඒක කැඩුවෙ ඇස්පෙ කියලා ප්‍රංශ භෞතික විද්‍යාඥයෙක්. එයා ගැන මගේ ලෝකයෙත් සඳහන් වෙනවා. අද ඕස්ත්‍රියාවෙ ඉන්න භෞතික විද්‍යාඥයො ඒ තාප්පෙ කුඩු පට්ටම් කරනවා. හිට්ලරුත්  ඒ රටේ මිනිහෙක්. බර්ලින් තාප්පය වගේ ම කාටීසිය තාප්පෙත් සුණු විසුණු වෙලා.  ප්‍රංශකාරයොයි ජර්මන්කාරයොයි නැත්නම් යුරෝපයක් නැහැ. ඒත් ඉංගිරිසිකාරයන්ගෙ කළමනාකරණයට, වෙළෙඳාමට මේ ඔක්කොම යටවෙනවා.   



මාක්ස් කියලා තියෙනවා ප්‍රංශ කාරයො වැඩක් මුළුමනින් ම ඉවර වෙනකම් කරනවා කියලා. එංගලන්තෙ වැඩවසම් (යුරෝපීය, පඬියන් නම් කියන්නෙ අනුරාධපුරේ තිබුණෙත් වැඩවසම් ක්‍රමයක් කියලා) ක්‍රමය නැති කළාට රජපවුල තියා ගත්තා. අදත් තියෙනවා. ඒක ඉවරෙට ම ඉවර කෙළෙ නැහැ. ඒත් ප්‍රංශෙ ඒ වැඩේ ගිලටීනයට භාරදුන්නා. ලේ ගංගා ගලා ගියා. පසුව නැපෝලියන්ලා පහළ වුණා. ඒත් ඉංගිරිසි කාරයො නැපෝලියන් පැරැද්දෙව්වා. හිට්ලර්වත් පැරැද්දුවෙ ඉංගිරිසිකාරයොයි එක්සත් රාජ්‍යයයි එකතු වෙලා. ඒ දෙගොල්ලොම ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. 



ප්‍රංශකාරයො ලංකාවටත් ආවා. ත්‍රිකුණාමලේට ගොඩ බැස්සා. තව ටිකෙන් අප ප්‍රංශෙ යටත්විජිතයක් වෙනවා. ඒත් ඉංගිරිසිකාරයො අප ඒකෙන් මුදවා ගත්තා! මෙරට ඉංගිරිසිකාරයන්ට මොන තරම් ආඩම්බරයක් ද? ප්‍රංශකාරයො ලංකාව අල්ල ගත්ත නම් රනිල්ටයි චන්ද්‍රිකාටයි ප්‍රංශ භාෂාවෙන් කතා කරන්න තිබුණා.   චන්ද්‍රිකා කොහොමටත් කතා කරන්නෙ ප්‍රංශ. ඒවා මහින්දට නම් කොහොමටවත් තේරෙන්නෙ නැහැ. චන්ද්‍රිකා ඊයෙ පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙ දෙවැනි වටය ගැන මොනව කියනව ද දන්නෙ නැහැ.



ඊයෙ පවත්වපු වටයෙන් ලෙ පෙන් නෝනා පැරදිලා. එමානුවෙල් මැක්රොන් දිනලා. මේ ප්‍රංශ කාරයන්ගෙ නම් ලියන්නත් බයයි. මෙහෙ ඉන්න ප්‍රංශ දන්නා පඬියන් කියාවි ඒ උච්චාරණය කරන්නෙ එහෙම නෙවෙයි කියලා. ඊයෙ ජනාධිපතිවරණය එක්තරා ආකාරයකින් ජාතිකත්වය හා යුරෝපීයත්වය අතර සටනක්. ලෙ පෙන් දිනුව නම් යුරෝපා සංගමයෙන් වෙන් වෙනවා. එතකොට අපට බෙල්ජියමේ බ්‍රසල්ස් යන්න ලැබෙන්නෙ නැහැ. මැක්රොන් යුරෝපා සංගමයේ ඉන්නවා. ඔහුගෙ ජයග්‍රාහි රැළිය ඊයේ පවත්වලා තියෙන්නෙ සුප්‍රසිද්ධ මෝනා ලීසා චිත්‍රය තියෙන ලූව කෞතුකාගාරය ඉදිරිපිට චතුරස්‍රයෙ. එය ඉතාමත් යුරෝපීය තැනක්. ඔහු රැළියට අවතීර්ණ වී ඇත්තේ ප්‍රංශ ජාතික ගීයට නොව යුරෝපීය සංගමයේ නිල ගීතය වන නිල ගීතය වූ බීත්හොවන්ගේ සංගීතයකට අනුව.



මැක්රොන් අවුරුදු සියයකට පත් වූ ලාබාල ම ප්‍රංශ ජනාධිපති. ප්‍රංශයේ දැන් ඇත්තේ යුරෝපීය රාජාණ්ඩුවලින් පසුව බිහි වූ පස්වැනි ජනරජය. අපට ඇත්තේ සෝල්බරි ජෙනිංග්ස් ව්‍යවස්ථාවෙන් පසු දෙවැනි ජනරජය. රනිල් තුන්වැනි ජනරජය හෙවත් සහසන්ධීය රාජ්‍යය බිහිකරන්න සැලසුම් කරනවා. ප්‍රංශ පස්වැනි ජනරජයේ 1958න් පසුව පාලනය කර ඇති පක්‍ෂවලින් මැක්රොන් වෙන් වෙනවා. කලින් පක්‍ෂ මේ ජනාධිපතිවරණයෙන් පරාජය වෙලා. මට හිතෙන්නෙ කලින් පක්‍ෂ, ලිබරල් හා සමාජවාදී පක්‍ෂ ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය අගය කළ පක්‍ෂ. ලෙ පෙන් ඒ සුපිරිව්‍යුහයට පමණක් නොව යුරෝපා සංගමයටත් විරුද්ධ ජාතිකවාදිනියක්. මැක්රොන් අතරමැදියෙක්. ඔහු ජාත්‍යන්තරයේ නොව යුරෝපා සංගමයේ අයෙක්. ප්‍රංශ ජාතිකයන් අතරමැදියා තෝරා ගෙන.





මේ අවස්ථාවේ දී නම් ප්‍රංශයේ වෙලා තියෙන්නෙ හුටපටයක්. ප්‍රංශ වැසියන් වැඩේ ඉවරට ම ඉවර කරලා නැහැ. ඔවුන් බාගෙට නැවතිලා. මාක්ස් හිටිය නම් මොනවා කියාවි ද? අනුර කුමාර හරි ටිල්වින් හරි මොනවවත් කියවනව ද? ඒ මොකක් වුණත් ප්‍රංශ අදහස් ලෝකෙට බලපානවා. අද එංගලන්තය හා එක්සත් රාජ්‍යය ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයෙන් ගෝලිය කරණයට විරුද්ධව ක්‍රියා කරන්න පටන් අරන්. ට්‍රම්ප් හා බ්‍රෙක්සිට් පෙන්නුම් කරන්නේ එයයි. එහෙත් ප්‍රංශය බාගෙට නැවතිලා. මාස කිහිපයකට කලින් නෙදර්ලන්තයත් ජාතිකත්වයට හැරුණේ නැහැ.



මේ ප්‍රංශ හුටපටය එංගලන්තයට බලපාන්න පුළුවන්. ලබන මස පැවැත්වෙන එංගලන්ත මැතිවරණය ඒ අනුව වෙනස් වෙන්නත් පුළුවන්. තෙරේසා මේ හදිසි මැතිවරණයක් කැඳෙව්වෙ බ්‍රෙක්සිට් තහවුරු කරගන්න. ඒත් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ඒ එසේ නොවේවි ද? ලංකාවට ඇවිල්ල සිංහලයන්ට විරුද්ධ කතා කියූ බ්ලෙයාර් යුරෝපා සංගමය වෙනුවෙන් සටනට බැහැලා. ඔබාමාත් වක්‍රව ආධාර කරාවි. අද ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය එකා මෙන් යුරෝපා සංගමය බේරා ගැනීමට කටයුතු කරනවා.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මැයි 08