Main Logo

Tuesday 23 May 2017

ආණ්ඩුවට හුස්මක් ගන්න ඉඩක්  


ආණ්ඩුවට හුස්මක් ගන්න ඉඩක්



වරින් වර කල් ගිය ඇමති මණ්ඩල වෙනසක් කරලා. ඉස්සරහට තවත් පොඩි ඇමති වෙනස්කම් කෙරෙනව කියලයි කියන්නෙ. මේක හිසරදේට කොට්ට මාරු කිරීමක් නො වෙයි. බෙල්ල රැක ගැනීමක්. අපේ බෙල්ල මිරිකීමට අවස්ථාව ලබා ගැනීමක්. ආණ්ඩුව ඇතුළෙ ප්‍රශ්න රාශියක් තිබුණ. රවි කරුණානායකට විරුද්ධ ව තිබූ චෝදනා එක් කරුණක් පමණයි. අමරවීර කියන්නෙ රවි හොරකු නොවන බවයි. හොරුන් ඉන්නව නම් ඉවත් කරනවලු. හොරුන් නැත්නම් අමරවීර තියා මෛත්‍රිපාලවත් මොනව කරන්න ද? ඒත් මේ ආසියාවේ හොඳ ම මුදල් ඇමති මාරු කළේ අහවල් දේකට ද? දේශපාලනඥයන් ඇත්තක් කිව්වෙ කවද ද? ඉවත් නොකර මාරු කෙරුවෙ ඇයි කියලා අමරවීර අපට කියලා දෙනවා ද? හොරුන් නොවන ඇමතිවරුන් ගැනත් ඒ එක්ක ම කියනවා ද?




රවි කිව්වෙ මුදල් ඇමති කම නැත්නම් පසු පෙළට යනව කියලා. එහෙත් එහෙම ගියෙ නැහැ. කොන්දේසි දාල කියලා කියනවා. ඇත්ත ද කියලා ගැසට් පත්‍රයෙන් බලා ගන්න පුළුවන්.  ලොතරැයි මණ්ඩලය, මහපොළ, එයාර් ලන්කන්, විදේශ අමාත්‍යාංශයට මොකට ද? විදේශවලට යෑමට ගුවන් සේවය අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. කොහොමත් ඉස්සරහ පෙළේ ඉන්නෙත් පසු පෙළේ ඉන්න ඕන අය. ඒ නිසා ඉස්සරහ ඉන්න එක ගැටළුවක් නො වෙයි. ඕන නම් පසු කියන එක පශු හැටියට කියෙව්වත් කමක් නැහැ. ඒක අර පඬියන්ගෙ ඊනියා කියවීමක් එහෙම නම් නො වෙයි. දැන් රවිට ලෝකෙ ම හොඳ ම විදේශ ඇමති වෙන්න පුළුවන්. රවිට හුසේන් කුමරු සමග සම්බන්ධකම් ගොඩනගා ගන්නත් පුළුවන්. මේ සම්මාන දෙන අයට සම්මානයක් දෙන්න විධියක් තියෙනව ද? අර ඊනියා ලෝක සිනමා සම්මාන දෙන අයටත් සම්මානයක් දෙන්න ඕන.



සිනමා කිව්ව ම එක් පඬියකුට අනුව මංගලගේ පූර්ව හැසිරීම හොඳ නිසා චිත්‍රපටි ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ තියෙන එක හොඳයි. මංගල කවුද කියලා අප නම් දන්නවා. ඔහු අපේ දේ රැකගන්න අයකු කියලා මේ පඬියන් හිතනවා ද? සිංහල බෞද්ධ විරෝධී චිත්‍රපටවලට සමලිංගික චිත්‍රපටිවලට මංගලගේ ආශිර්වාදය ලැබේවි. අර පඬියන්ට එවිට අපේ දේ රැකගන්න පුළුවන් වේවි. කොහොමටත් මේ අමාත්‍යාංශ නම් කරන්න ඕන ඇමතිවරුන්ට අයත්වන දෙපාර්තමේන්තු ආයතන නමින්. එතකොට රවි විදේශ, මහපොළ, ලොතරැයි, ශ්‍රී ලන්කන් ගුවන් ඇමති. 



කවුරු කවුරුත් මාධ්‍යයට නම් කිව්වෙ තම තමන් සතුටු වන බවයි. මේ රටේ හරිහමන් මාධ්‍යයක් නැති එකේ මාධ්‍යයට මොනව කිව්වම මොකෝ. මැකෝ ගැන මොන විවේචන තිබුණත් ඔහු කියන විධියට ම මාධ්‍ය ප්‍රචාරය කරන්නෙ හිට් කෑලි විතරයි. ඊනියා කැබිනට් වෙනස ගැන හොඳ ම කතාව කී දේශ විමුක්ති පෙරමුණේ අයකු කී දේ අයින් කරලා අනුර කුමාරගෙ සුලබ කීමකට ප්‍රසිද්ධිය දෙනවා. ගයන්ත කිව්ව තමන්ට ජනතාවට සේවය කරන්න රට වටේ යන්න පුළුවන් කියලා. මේ මැති ඇමතිවරුන්ට බැරි ද  ජනතාවට සේවය නොකර ඉන්න. මේ අප ඉන්නව වගේ. ඒකෙන් සෑහෙන මුදලක් ඉතුරු කර ගන්නත් පුළුවන් වේවි. ජනමාධ්‍ය ඇමතිකමත් මංගලට පවරලා. ඒක බොහොම කල්පනා කරල කරපු එකක්. ගොබෙල්ස් ක්‍රමයට එක් පැත්තකින් තැන ලැබෙන අතර අනෙක් පැත්තෙන් ජනමාධ්‍ය පාලනයක් ද ඇති වේවි. දැනටමත් වැඩ පටන්ගෙන ඇති. ජඩමාධ්‍යයට ම සරිලන ඇමති කෙනෙක් හමු වෙලා.



කරුණාරත්න පරණවිතාන කී එක දෙයකට මා එකඟ වෙනවා. ඔහු කලිනුත් මංගල එක්ක වැඩ කරලා තියෙනවා කියන එක ඇත්ත. අනූහතරෙ මැතිරණයෙදි එකල ජනතා මිතුරෝ හරි වෙනත් එවැනි සංවිධානයක හරී හිටිය අය මාතර ගිහින් පැල් බැඳගෙන මංගලට වැඩ කළා. කොහොමත් පරණවිතානලා, චම්පකලා දැන් එක්සත් ජාතික පෙරමුණේ ඇත්තන්. දේශපාලනය සඳහා පමණක් ජාතිකත්වය යොදා ගන්න අය අවසාන වශයෙන් නවතින්නෙ එ ජා පක්‍ෂයෙ හරි එහි පෙරමුණක හරි. රනිල් විරෝධය නොවන්නට දැනටමත් ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද තවත් පිරිස් ද එ ජා පක්‍ෂයට ගිහිල්ලා.



ආණ්ඩුවේ අර්බුදය උග්‍ර වෙලා තිබුණෙ. එය පෞද්ගලික ප්‍රශ්නයක් නො වෙයි. ශ්‍රී ල නි ප ප්‍රතිපත්ති හා එ ජා ප ප්‍රතිපත්ති අතර ගැටුමක්. සංස්ථාපනයට පක්‍ෂ හා විපක්‍ෂ අය අතර ගැටුමක්. ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයට පක්‍ෂ හා විපක්‍ෂ අය අතර ගැටුමක්. එය ඇත්තට ම ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය දෙන්නන්ගෙ වුවමනාව නිසා ඇතිවන්නක්. ඇමතිවරුන්ට ඒකට යම් ප්‍රමාණයකට හරි සවන් දෙන්න වෙනවා.  ගැටුම එළියට ආවෙ අර ඇමති හා මේ ඇමති අතර ගැටුමක් විධියට. මේ ගැටුම එන්න කලකට පෙර ම අප යෝජනා කළා මහින්ද අගමැති කරමු කියා. මාධ්‍යයට එය හිට් කෑල්ලක් වුණේ නැහැ. ඔවුන් හිතන්න ඇති කරන්න බැරි මෝඩ අදහසක් කියලා. අප නම් මෝඩ කමට ඒ මෝඩ අදහසෙ දිගට ම හිටියා. ඒත් පඬියන් එසේ හිතුවෙ නැහැ.



අපේ ඉල්ලීමෙ තේරුම රනිල් ඉවත් කර ඒකාබද්ධ විපක්‍ෂෙ අයකු අගමැති කරමු කියන එක. මෙහි අගමැති මහින්ද ම වෙන්න ඕන නැහැ. කොහොමටත් මෛත්‍රිපාල මහින්ද වෛරය නිසා මෛත්‍රිපාල මහින්ද අගමැති කරන්නෙ නැහැ. එහෙත් මහින්දගෙ කැමැත්තක් ආශිර්වාදයක් නැතිව ඒකාබද්ධ විපක්‍ෂෙ වෙනත් අයකු අගමැති කරන්නත් බැහැ. අප වෙනත් අයකු අගමැති කිරීමට අපට හැකි ප්‍රමාණයට කටයුතු කළා. එහෙත් දේශපාලනඥයන් එක්ක අපේ ඇයි හොඳයියක් නැහැ. ඔවුන් අපට සමීප නැහැ. ඔවුන් අප ගණන් ගන්නෙත් නැහැ. ඔවුන් එකතු කරගෙන මෛත්‍රිපාල ළඟට යෑමට අපට හැකි කමක් නැහැ. එසේ කිරීමට පුළුවන් අය එය මග හැරියා. අප කතා කළ ජනමාධ්‍ය ලොක්කකු කිව්වෙ මා ගේම් කාරයකු බවයි. ඔහු කිව්වේ නුවර යුගයේත් මා ගේම් ගහන්න ඇත කියා. හොඳ වෙලාවට ඔහුට අනුරාධපුර යුගය මතක් වුණෙ නැහැ. දේශපාලනයේ දී තබා කිසිවක මා ගේම් ගසා නැහැ. මා වැඩ කරන්නේ හිතේ යම් යම් දේ සඟවා ගෙන නො වෙයි.



මේ බොහෝ දෙනකු දේශපාලනය කරන්නේ ඊළඟ මැතිවරණ දෙස බලාගෙන. ප්‍රශ්නය ඒකයි. අපට සුද්දන් දුන් වෙනත් බොහෝ දේ වගේ ම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයත් අප අල්ලා ගෙන ඇත්තේ වැරදි පැත්තෙන්. මහින්දට ජනබලය තියෙන නිසා ඒකාබද්ධ විපක්‍ෂෙ මැතිවරණ දිහා බලන් ඉන්න අය මහින්ද කියන දේකට විරුද්ධ වෙන්නෙ නැහැ. එබැවින් රනිල් ඉවත් කරන්න බැරි වුණා. වැඩිකල් යන්න ඉස්සර රනිල් සම්පූර්ණ බලය තමන් අතට ගන්නවා. අප දරුණු මර්දනයකට ගමන් කරමින් සිටිනවා. සයිටම් සඳහා ආණ්ඩුව විසඳුමක් දීලා තියෙන්නෙ. ඒත් ජනමාධ්‍ය පඬියන්ට ඒක තේරෙන්නෙ නැහැ. ඔවුන් මා වගේ මිනිස්කමක් සමාජවාදයක් නැති අය නොවෙයි හරි ප්‍රගතිශීලින්. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සටන් පාඨ වෙනස් කරනවා. සයිටම් අහෝසි කරනු කියන එක පසුකාලීන ඉල්ලීමක්. වෛද්‍ය සංගමයෙ එ ජා ප හිතවතුන් ඉන්නවා. ඔවුන් මරදනයට අත වනනවා. අප බොහෝ වෙලාවට කිව්වෙ මැතිවරණ ලබා ගන්නත් රනිල් ඉවත් කරන්න වේවි කියලා. ඒත් රනිල් ඉවත් කරන්න මෛත්‍රිපාල එක්ක එකතු වෙන්න ඒකාබද්ධ විපක්‍ෂෙ අය බයයි. ඒ මහින්දට බය නිසා. ඒකට බය නැත්තෙ වාසුදේව විතරයි. ඔහු මැතිවරණය ගැන හිතන්නෙ නැහැ. ඔහු රනිල් ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි කියා තිබුණා. අපත් දිගින් දිගට ම කිව්වෙ එයයි.



එහෙත් එය සිදු වුණේ නැහැ. මෛත්‍රිපාල ඒකාබද්ධ විපක්‍ෂෙ අය එනකම් බලං හිටියා කියා හිතනවා. ඒත් ආවෙ නැහැ. ඔහු හොඳ අයකු නොවෙයි. එහෙත් ඔහු නැතිව රනිල් ඉවත් කරන්න බැහැ. අද මෛත්‍රිපාල නැවතත් රනිල් සමග එකතු වෙලා. ආණ්ඩුවට හුස්මක් ගන්න ඉඩක් ලැබෙන විධියට අමාත්‍යවරුන්ගෙ වෙනසක් සිදු  කරලා. ආණ්ඩුවට එසේ ඉඩක් ලබා දීම ගැන ඒකාබද්ධ විපක්‍ෂය වග කිව යුතුයි. මේ අමාත්‍ය මණ්ඩල වෙනසින් රනිල් දිනුම්. ඔහු තවත් බලවත් වේවි. රවිත් බලවත් වේවි. මර්දනය දැන් වැඩි ඈතක නො වෙයි. ව්‍යවස්ථා සංශෝධනය, එට්කා, හම්බන්තොට වරාය හා ඉඩම් චීනයට දීම, තෙල් ටැංකි හා භූමිය ඉන්දියාවට දීම මර්දනය හා සම්බන්ධයි. විද්‍යුත් ජඩමාධ්‍ය අප කියන දේට කිසිම ප්‍රසිද්ධියක් දෙන්නේ නැහැ. හුස්මක් ගන්න ඉඩක් ලබා ගත් එ ජා පෙරමුණ අපේ හුස්ම හිර කරාවි. විද්‍යුත් ජඩමාධ්‍යත් එදාට පාඩමක් ඉගෙන ගනීවි. ඒත් එවිට ප්‍රමාද වූවා වැඩියි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මැයි 23