Main Logo

Saturday 7 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 6


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 6





අර වෛද්‍ය මහාචාර්යවරයා හොඳ කතා කියනවා. ඔහුට අනුව ජී එල් පීරිස් 2015 ජනවාරියෙන් පසු හොඳ මිනිහෙක් වෙලා. ජී එල්ට සුදු පිරුවටයක් තියෙන හැඩයි. ජී එල් පීරිස් දැන් 13 ට විරුද්ධ ද? එහෙමත් නැත්නම් 13+ට විරුද්ධ ද? මහින්ද 13ට විරුද්ධ ද 13+ට විරුද්ධ ද? බැසිල් 13ට විරුද්ධ ද 13+ට විරුද්ධ ද? දැන් බලාගෙන යන කොට ජී එල් පීරිස් තමයි හොඳ ම ජාතිකවාදියා. විමල් 13 ගැන කියන්නේ මොකක් ද? ජී එල් පීරිස් අද ඊනියා ජාතිකවාදියකු වී ඇත්තේ රනිල් ඔහු නොගත් නිසයි. ඔහු 2015 ජනවාරි අටවැනි දාට පසු එ ජා ප නායකයකු හමුවීමට ගියේ නැද්ද? ඔහු මහින්ද මග හැරියේ නැද්ද? ඒ ඔක්කොම ජනවාරි අටට පසු. රනිල් ජී එල්ට විරුද්ධ නිසා අද ජී එල් ඊනියා ජාතිකවාදියකු වී සිටිනවා. ඉතා මැතක ජී එල් පීරිස් හා කෙහෙළිය රඹුක්වැල්ල සමගාමි ලැයිස්තුව අස්කර ගන්නා බවට ලිපියක් දුන්නේ නැද්ද? මහාචාර්යවරයාගේ කාලය ආපස්සට යනවා ද දන්නෙ නැහැ. නැතුව 2015ට පසු 2017 එන්න විධියක් නැහැ.  අනේ මෙහෙමත් මහාචාර්යවරු! ඔහු නම් විද්‍යාවටවත් පොදුවේ දැනුමටවත් අලුතෙන් ප්‍රවාදයක් සංකල්පයක් එකතුකර නැතත් නියම විද්‍යාඥයකු බව පේනවා. අද විද්‍යාවේ ඇත්තේ හරියනවා නම් ඕන දෙයක්. එය පසුව හරියන්නේ නැත්නම් ඕන ම නම් පමණක් අත්හරිනවා. එහෙම නැත්නම් හරියන වපසරියක යොදා ගන්නවා. රනිල් බැරි වෙලාවත් එ ජා පක්‍ෂයේ නායකත්වයෙන් බැහැර වුවහොත් ජී එල් පීරිස් නවතින්නේ එ ජා පක්‍ෂයේ. මේ මහාචාර්යවරුන් ගැන වැඩි කතා ඕන නැහැ.




පඬි පෝතකයකු අසා තිබුණා ජ වි පෙ විජයකලාගේ ප්‍රකාශයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබූ බව දැක්කේ නැද්ද කියා. දැක්කා. ඒ විතරක් නොවෙයි රනිල් ඒ ප්‍රකාශය ගැන කී දේත් කියෙව්වා. රනිල් ඇයට රාජ්‍ය ඇමති ධුරයෙන් අයින් වෙන්න කියලා. රනිල් දැන් සිංහල විරෝධී නො වෙයි ද? රනිල්ගෙ ජ වි පෙ ඇම්බැට්ටයන් ගැන කියනුම කවරේ ද? ජ වි පෙ ගැන අප දන්නේ අවුරුදු පනහක විතර කාලයක ඉඳලා. ඒ අය කරන ප්‍රකාශ තෝරල බේරල ගන්න අප දන්නවා. 



අප කතා කරමින් හිටියෙ ඩොනමෝර් කොමිසම හා දෙමළ ජාතිවාදය ගැන. ඩොනමෝර් කොමිසමෙන් ලංකාවට සර්වජන ඡන්දය  දුන්නට පස්සෙ පැරණි ව්‍යවස්ථාදායක සභාව අහෝසි කෙරුණා. ඒ වෙනුවට රාජ්‍ය මණ්ත්‍රණ සභාව කියලා සභාවක් පිහිටවුණා. එහි සාමාජිකයන් වුණෙ සර්වජන ඡන්දයෙන් තේරී පත්වෙන මන්ත්‍රීවරුන්. ඔවුන් ලංකාවෙ හැම තැනින් ම තේරී පත්වුණා. ජී ජී පොන්නම්බලම් මුල සිට ම එයට කොන්දේසි දැම්මා. ඔහු කෙළේ පොන්නම්බලම් කුමාරස්වාමි දේශපාලනයේ වර්ධනයක්. ඔහු කියා සිටියේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යවෙන් සියයට පනහක් සිංහල නොවන අයට වෙන් කළ යුතු ය කියා. ඉතිරි සියයට පනහ සියල්ලන් අතර බෙදී යා යුතු ය කියා. මෙය පනහට පනහ ප්‍රතිපත්තිය ලෙස හැඳින්වුණා. එහෙත් එයින් කියැවුණේ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සියයට පනහකට අඩු විය යුතු ය යන්නයි. ඒ අර්ථයෙන් ගත්තම පනහට පනහ කියන එක වැරදි ව්‍යවහාරයක්. ඒකෙන් හිතෙන්න පුළුවන් සිංහලයන්ට මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට පනහක් හිමි වෙන බව.



ඩොනමෝර් කොමිසම ඉදිරියට ගිය ඇතැම් සිංහල නායකයන් ද සර්වජන ඡන්දයට විරුද්ධ වුණා. ඒ විරුද්ධ වුණෙ ඔවුන්ට පමණක් සීමා වෙලා තිබුණු ඡන්ද අයිතිය දැන් සියල්ලන්ට ම හිමි වෙන නිසා. එහෙත් රාමානාදන් වැනි  දෙමළ වෙල්ලාල නායකයන් සර්වජන ඡන්දයට විරුද්ධ වුණෙ සර්වජන ඡන්දයෙන් තමන්ගෙ වරප්‍රසාද අහිමි වෙන නිසා. දෙමළ වෙල්ලාල නායකයන් රටේ ම නායකයන් ලෙස තමයි කටයුතු කෙළෙ. ඔවුන්ට වරප්‍රසාද තනතුරු ආදිය සිංහල ප්‍රභූන්ට වඩා ලැබුණා. ඔවුන්ගේ අරමුණ වූයේ එය ආරක්‍ෂා කර ගැනීම හා තව තවත් වර්ධනය කිරීම.



සර්වජන ඡන්දයෙන් සිංහලයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහුතරය වීමත් සමග දෙමළ වෙල්ලාල නායකයන්ට තමන්ට රටේ නායකත්වය අහිමි වන බව තේරුණා. ඒ නිසා තමයි ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කෙළේ. පනහට පනහ තමයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ජාතිවාදී ම ඉල්ලීම. මෙරට පඬියන් හා පඬිපෝතකයන් මේ සියල්ල අමතක කරනවා. මේ ජාතිවාදී දේශපාලනය ගැන ජේන් රසල් ලියා තියෙනවා. ඇය මෙරටට පැමිණ ඊනියා පර්යේෂණ කළ අයෙක්. ඇය සිංහලයන්ට පක්‍ෂපාති වූ අයකු නො වෙයි. එහෙත් ඇය ජාතිවාදී දේශපාලනය ගැන ලිවීමට පෙළඹුණේ දෙමළ ජාතිවාදයේ ක්‍රියාකාරීත්වය නිසා.



දෙමළ ජාතිවාදයේ අරමුණු දෙකක් තිබුණා. ඒ දෙක එකිනෙකාට සම්බන්ධයි. එකක් දෙමළ වෙල්ලාල නායකයන්ට තිබූ වරප්‍රසාද ආරක්‍ෂා කර ගැනීම. දෙවැන්න මෙරට සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට හිමි තැන අහිමි කිරීම. මෙය සිදුවූයේ ඉංගිරිසින්ගේ අනුබලයෙන් හා අනුග්‍රහයෙන්. ජාතික නිවාඩු දින ප්‍රකාශ කිරීමේ දී පවා ඉංගිරිසින් සිංහලයන්ට හිමි තැන දුන්නේ නැහැ. සිංහල අවුරුදු නිවාඩුව ඊනියා සිංහල හින්දු අවරුදු නිවාඩුවක් බවට පත් කෙළේ එය ඉන්දියාවේවත් හින්දු නිවාඩුවක් නොවන විට. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ සිංහලයන්ට දෙමළ කතාකරන අයට වැඩියෙන් නිවාඩු නොදීමට. දෙමළ ජාතිවාදය ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක්.