දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 4
දෙමළ ජාතිවාදය ගැන මේ ලිපි පෙළෙන් බටහිරයන් ගැන කියන බොහෝ දේ මෙයට
වඩා තරමක් සවිස්තරාත්මක ව ප්‍රභාකරන් මහුගේ බාප්පලා හා මස්සිනාලා කෘතියෙන් කියවන්න
පුළුවන්. ඒ කෘතිය www.kalya.org වෙබ් අඩවියට ගොස් එහි පැරණි වෙබ් අඩවියෙන්
නොමිළේ බාගත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නව වෙබ් අඩවියේ කාලය ලිපිවල 2016 අප්‍රේල් මස පළ වී ඇති එහි කොටස්වලින් කියවන්න
පුළුවන්. මේ කෘතිය පළ වුණේ අනූවේ දශකයේ මුල බව සලකන්න. මෙහි පළවන්නේ අපට අද අදාළ
කොටස් හා තවත් එකතු කරන ලද කොටස්. ජාතික ව්‍යාපාරය විසින් ප්‍රභාකරන් කෘතිය
මුළුමනින් ම අමතක කර දමන ලද්දේ ඇයි ද යන්න ගැටළුවක්. එම කෘතියෙහි දෙමළ ජනයා ගැන
කියවුණත් එයින් කියැවෙන්නේ දෙමළ ජනවර්ගයක් ගැන නො වෙයි. මෙරට තවමත් දෙමළ ජනවර්ගයක්
නැහැ. ඇත්තේ දළ වශයෙන් දෙමළ කතාකරන ජනකොටස් තුනක් පමණයි. ඒ යාපනයේ, මඩකලපුවේ හා කඳුකරයේ. ඔවුන්ට වෙන වෙන ම නායකයන්
ඉන්නවා. ඔවුන්ට ජනවාර්ගික කියා නායකයන් නැහැ.
ප්‍රභාකරන් කෘතියෙහි සඳහන් කරුණු විශ්වාස නොකරන්නේ නම් ජාතිකවාදීන්ට
දෙමළ ජාතිවාදයේ විකාශය ගැන වෙනත් කතාවක් තිබිය යුතුයි. එහෙම නැතුව දෙමළ ත්‍රස්තවාදය
ගැන පමණක් කීමෙන් වැඩක් නැහැ. ජාතිකවාදීන් දෙමළ ජාතිවාදීන් කියන කතාව පිළිගන්නවා ද?
සිංහලයන්ගෙන් දෙමළ කතාකරන ජනයාට අසාධාරණයක් ඉටු
වී ඇති බව දෙමළ ජාතිවාදීන් හා කව් ඇන්ඩ් ගේට් පඬියන් කියනවා. එහෙත් අසාධාරණය මොකක්
ද කියලා කවුරුන්වත් කියන්නෙ නැහැ. ඔවුන් කියන්නේ වෙන ම රාජ්‍යයක් ඉල්ලීමට හේතුව ඒ
නොකියන අසාධාරණය කියලා. ඊනියා අසාධාරණයට අවසන් පිළියමක් ලෙස තමයි වෙන ම දෙමළ රාජ්‍යයක්
ඉල්ලන්නෙ.
දැන් මේ ඊනියා අවසන් පිළියම ඊනියා හේතුව ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්
ද? දෙමළ ජාතිවාදීන් වෙන ම දෙමළ රාජ්‍යයක්
ඉල්ලන්නේ ඔවුන්ට වෙන ම දෙමළ රාජ්‍යයක් නැති නිසා ද? එය එසේ යැයි කියන්න කිසිම තර්කයක් තියෙනවා ද? දෙමළ ජාතිවාදයට මෙරට ඉතිහාසයක් තියෙනවා. ඒ
ඉතිහාසයේ අවසන් අදියර තමයි දෙමළ රාජ්‍යය ඉල්ලුවේ. ඒ මිසක් දෙමළ ජාතිවාදය දෙමළ රාජ්‍යයක්
ඉල්ලීමෙන් පටන් ගත් එකක් නො වෙයි. මේ
ඉල්ලීම් පසුව දෙමළ වෙල්ලාල නායකයන්ගෙන් පහළ දෙමළ කතා කරන ජනයාට පැටවණු දේ
මිස පහළින් උඩට ගිය දේ නොවෙයි.
දහනවැනි සියවසේ හා විසිවැනි සියවසේ මුල උඩ (කොළඹ) සිදු වූ දේශපාලනය
යාපනයේ පහළට දැණුනෙවත් නැහැ. දෙමළ වෙල්ලාල නායකයන් උඩ, එනම් කොළඹ දි සටන් කෙළේ තමන්ට ඉංගිරිසින්ගෙන් ලැබුණු වරප්‍රසාද,
තනතුරු ආදිය රැකගන්න. ඔවුන් ඒ සටන ඉංගිරිසින්ගෙ
සහාය ඇතිව සිදු කෙළේ සිංහල ප්‍රභූන්ට විරුද්ධ ව. 1912 තෙක් මෙරට කිසිවකුට ඡන්ද බලයක් තිබුණෙ නැහැ. ආණ්ඩුකාරයා සිංහලයන්
බර්ගර්වරුන් හා දෙමළ කතා කරන ජනයා වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාවට ඊනියා නිල නොලත්
මන්ත්‍රීවරුන් පත් කළ එකයි කෙළෙ.
පසුව විසිවැනි සියවස මුල මුස්ලිමුන් වෙනුවෙනුත් නියෝජිතයකු පත් කළා.
අප මතක තබා ගත යුතු කරුණක් නම් ආණ්ඩුකාරයා දෙමළ කතා කරන ජනයා වෙනුවෙන් නියෝජිතයකු
පත් කළා ය කිව්වත් ඔහු පත් කෙළෙ දෙමළ වෙල්ලාලයකු බව. පසුවත් ඔහු පත් කළ නියෝජිතයන්
වෙලාලාලයන් වුණා. මඩකලපු දෙමළ කතාකරන ජනයා වෙනුවෙන් ආණ්ඩුකාරයා පත් කෙළේ කවුද?
අදත් කරුණල පමණක් නොවෙයි අරුන් තම්බිමුත්තුලත්
වෙල්ලාලයන් එක්ක නැහැ. කරුණල හිටියෙ තාවකාලික ව ප්‍රභාකරන් එක්ක. ඒත් වැඩි කාලෙකට
නො වෙයි. කරුණා ප්‍රභාකරන්ගෙ කැඩුණෙ නන්දිකඩාල් පරාජයට පෙර.
වෙල්ලාලයන් දහනවවැනි සියවසේ පමණක් නොව විසිවැනි සියවසේ මුලත් කෙළේ
එක් පැත්තකින් කොළඹ දී ඉංගිරිසින්ගෙ අනුග්‍රහයෙන්, අනුබලයෙන් හා ආධාරයෙන් සිංහල ප්‍රභූන් පරදවා රටේ ම දේශපාලන හා
සංස්කෘතික නායකයන් බවට පත්වීමට කටයුතු කිරීමත් අනෙක් පැත්තෙන් යාපනයෙදි වෙල්ලාල
නොවන්නන් මර්දනය කිරීමත්. මඩකලපු හා කඳුරට දෙමළ කතාකරන ජනයා ගැනත් එහෙමයි.
වෙල්ලාලයන්ට මේ මර්දනයේ දී ආරුමුගම් නවලාර් ආගම පැත්තෙන් ආධාර කළා. හින්දු ආගමේ
කුල භේදය යුක්ති යුක්ත කරමින් ඔහු වෙල්ලාල ආධිපත්‍යය වෙනුවෙන් කටයුතු කළා.
ඔහු ධර්මපාලතුමා සමග සංසන්දනය කිරීමට කව් ඇන්ඩ් ගේට් පඬියන් උත්සාහ
කරනවා. නමුත් ආරුමුගම් නවලාර් ඉංගිරිසින්ට විරුද්ධ ව කිසිවක් කෙළෙ නැහැ. ධර්මපාලතුමාට
කුල භේදයක් තිබුණෙ නැහැ. වෙල්ලාලයන් මෙන් ම ආරුමුගම් නවලාර් ද කෙළෙ ඉංගිරිසින්ට
සේවය කිරීමයි. එදා නම් කත් ඇදීමයි. අද නම් කඩේ යෑමයි. මෙරට ඉතිහාසය ඉංගිරිසින්ට හා
ඔවුන්ගේ දාසයන් වූ වෙල්ලාලයන්ට අවශ්‍ය අන්දමට ලියන පඬියන් ද දාසයන් පමණයි. ඔවුන්
පුහු පොරවල්.
විසිවැනි සියවසේ මුල රටේ දේශපාලන නායකත්වයට පත් වූ වෙල්ලාලයන්
බස්නාහිර පළාතට වෙන ම මන්ත්‍රී ධුරයක් දීම ගැන උරණ වුණා. සිංහල ප්‍රභූන් සමග පැවති
සටනේ එක් සන්ධිස්ථානයක් වුණෙ රාමනාදන්ගෙ සොහොයූරු හා විග්නේස්වරන්ගෙ මුත්තකු වූ අරුණාශලම්
1922 පමණ හින්දු මහා සභාව පිහිටුවීමයි. එය
හුදෙක් සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව
පිහිටුවන ලද ආගම්වාදී (ජාතිවාදී) සංවිධානයක්. එය තමයි මෙරට පිහිටු වූ පළමු
ජාතිවාදී සංවිධානය. එය තවත් පැත්තකින් දෙමළ වෙල්ලාලයන් ඉක්මවා යාපනයේ දෙමළ ජනයාට
කතා කළා. දෙමළ වෙල්ලාල නායකයන්ට තේරුම් යන්න ඇති සිංහල ප්‍රභූන්ට විරුද්ධව තමන්
තනියම සටන් කළාට සිංහල බෞද්ධයන්ට විරුද්ධව සටන් කරන්න සාමාන්‍ය දෙමළ කතා කරන
ජනයාත් එකතු කර ගත යුතු බව. බණ්ඩාරනායක මහතා සිංහල මහා සභාව පිහිටු වූයේ හින්ද මහා
සභාව පිහිටුවා අවුරුදු දහයකට පමණ පසුව වීම
විශේෂත්වයක්. සිංහලයන් දෙමළ කතාකරන ජනයාට විරුද්ධව කිසිවක් පටන් ගෙන නැහැ.
සිංහලයන් කර ඇත්තේ දෙමළ ජාතිවාදයට ප්‍රතිචාර දැක්වීම පමණයි.