Main Logo

Wednesday 4 July 2018

විජයකලාගේ විකලාව


විජයකලාගේ විකලාව



විජයකලා මහේෂ්වරන්ගේ කොටි කතාව ගැන කියන කතාවකට අනුව ඇයට වුවමනා කර ඇත්තේ ශක්තිමත් පාලනයක්. ඇතැමුන් එය වේඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවන්ගේ කතාව සමග සංසන්දනය කරන්න යනවා. උන්වහන්සේට අවශ්‍ය වුණේත් ශක්තිමත් පාලනයක් මිස හිට්ලර් කෙනකු නොවේ යැයි කියන අතර විජයකලාට අවශ්‍ය වුණේ කොටි සංවිධානය නැවත ඇති කරන්න නොව ශක්තිමත් පාලනයක් යැයි කියන අය ඉන්නවා. ඒ විජයකලා වැරදි ප්‍රකාශයක් කර නැතැයි පෙන්වීමට.




එහෙත් මෙය සම්පූර්ණයෙන් ම විකෘතියක්. උපාලි හාමුදුරුවන් හිට්ලර් කෙනකුට කතා කෙළේ නැහැ. උන්වහන්සේ ගෝඨාභයගෙන් ඉල්ලා සිටියේ හිට්ලර කෙනකු මෙන් පාලනය කරන්න කියා. එය මෙරට ඊනියා උගතුන්ට නොතේරුණාට සාමාන්‍ය මිනිසුන්ට තේරුණා. ඇතැමුන් කිව්වා ඒ ප්‍රකාශය නිසා ගෝඨාභයට ජනාධිපතිවරණයක දී ඡන්ද අඩුවේය කියා. ඒ ඔවුන් ඇසුරු කරන සමාජයේ වෙන්න පුළුවන්. මීළඟ ජනාධිපතිවරණය ගැන කතා කිරීමට වඩා වෙනත් දේ කරන්න තිබුණත් මේ ජනාධිපති කතාව නිසා කියන්න වෙන්නෙ සාමාන්‍ය ජනතාව අතර ඒ නිසා ඡන්ද වැඩි වුණා කියා.



මේ රටේ ඊනියා උගත් සමාජය හා සාමාන්‍ය සමාජය හිතන්නෙ දෙවිධියකට. මා ඒ බව හොඳින් ම දන්නේ වරක් දොරමඬලාවේ දී වැඩ සටහන ඉවර වෙන මොහොතේ කාලෝ ෆොන්සේකා සදාචාර විරෝධීව කුහක ව මට පිළිතුරක් දීමට නොහැකි වන ලෙස මා අලුත් දෙයක් නොකියන බවත් නිවැරදි දෙයක් කිව්වොත් එය අලුත් දෙයක් නොවන බවත් කී විට මා එයට වහාම කැමරා ශිල්පියාගේ අවධානය මා වෙතට යොමු කර ගනිමින් ඔහුට පිළිතුර දුන් විලාශය පිළිබඳ ඒ සමාජ දෙක දැක් වූ ප්‍රතිචාර අනුව. කාලෝගේ ප්‍රකාශය බටහිරයකුගෙන් ගත් එකක්. ඊනියා උගත් සමාජය දැක්කේ මගේ ඊනියා විනයක් නැති කම. සාමාන්‍ය ජනයා දැක්කේ මා කාලෝට කෙසේ නමුත් පිළිතුරු දීම. අදටත් ඊනියා උගත් සමාජය හිතන්නේ එලෙසයි. ඔවුන් කිසි දිනෙක බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අනුකාරකයකු වූ කාලෝ කිසිම සදාචාරයකට එකඟ නොවී අවසාන මොහොතේ වැඩ සටහනේ කණෙන් රිංගා මා නිර්මාණශීලිත්වයක් නැති පුද්ගලයකු බව කියා මට අවමන් කිරීමට උත්සාහ කළ බව පිළිගන්න එකක් නැහැ.



විජයකලා අනුනායක හාමුදුරුවන් මෙන් ශක්තිමත් පාලනයක් ඉල්ලා සිටියා නො වෙයි. ඇය ඉල්ලා සිටියේ කොටි සංවිධානයයි. කොටි සංවිධානය නැවත ක්‍රියාත්මක වනු දැකීම ඇගේ අභිප්‍රායයි. මේ දිනවල යාපනයේත් නීතියක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ස්ත්‍රී දුෂණ මිනී මැරුම් මංකොල්ල කෑම් එමටයි. එහෙත් කොටි සංවිධානය මිනී මැරුම් නොකළා නො වෙයි. විජයකලාගේ ස්වාමිපුරුෂයා මරා දමනු ලැබුයේ කොටි ත්‍රස්තවාදීන් බවට ඇයට අමතක වී ද? යාපනයේ සාමාන්‍ය ජනයා කොටි ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වූ කාලයේ බියකින් සැකයකින් තොර ව ජීවත් වුණා ද? මා දැන ගෙන සිටි එක් කථිකාචාර්යවරයකු යාපනයට නොගොස් බොහෝ විට හැකිතාක් යාපනයේ නොව කොළඹ සිටියා. අවසානයේ දී ඔහු වැල්ලවත්තේ දී මරා දමනු ලැබුවා. එකල මා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති. අප විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් මුදල් ආධාර ලබාගෙන මහුගේ මෘතදේහය යාපනයට ගෙන ගොස් අවමංගල කටයුතු කිරීමට උපකාර කළා. තවත් කථිකාචාර්යවරයකු යාපනයට ගියේ ම නැහැ. ඔහු කොළඹ සිට වවුනියා මණ්ඩපයේ දේශනවලට සහභාගි වුණා. එකල මා කැලණියේ. අප ඔහුට කැලණියේ දේශන පැවැත්වීමට අවස්ථාව සලසා දුන්නා.



අනෙක් අතට විජයකලා අර වින්ධ්‍යා දැරියගේ ඝාතකයකුට පළා යෑමට උපකාර කළ බව කියැවුණා. විජයකලාට අවශ්‍ය යාපනයේ අපරාධ නැවැත්වීම නොවන බව පැහැදිලියි. යාපනයේ අපරාධ නවත්වන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක වන දක්‍ෂ එඩිතර පොලිස්පතිවරයකුට. විජයකලා විවෘතව ම කොටි ත්‍රස්තවාදයට ආවඩනවා. ඇය වක්‍ර ව හරි බෙදුම්වාදයට පක්‍ෂව කතා කරනවා.



දැන් ප්‍රශ්නය විජයකලා සම්බන්ධයෙන් ගන්නා පියවර ගැනයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 අ(1) ව්‍යවස්ථාව අනුව රට බෙදීමට සෘජු ව හෝ වක්‍ර ව හෝ ආධාර කිරීමට, අනුබල දීමට, උපදෙස් දීමට හා තවත් කරුණුවලට කිසිවකුට කටයුතු කරන්න බැහැ. එහෙත් ඒ තැනැත්තා 157 අ (1) අනුව වරදක් කරා ද නැත් ද යන්න 157 අ (3) අනුව තීරණය කෙරෙන්නේ අභියාචනාධිකරණයෙන්. අභියාචනාධිකරණය විජයකලා වැරදිකාරිය යැයි තීරණය කළහොත් 157 අ (4) අනුව ඇගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. දැන් අභියාචනාධිකරණය ඉදිරියේ නඩුව පැවරීමේ වගකීම ඇත්තේ නීතිපතිට. නීතිපති මේ සම්බන්ධයෙන් කුමක් කරාවි ද?



රනිල් මේ ගැන කියන කිසිවක් විශ්වාස කරන්න බැහැ. ඔහු විජයකලා තාවකාලික ව රාජ්‍ය ඇමති ධුරයෙන් අයින් කර තබන්න කියාවි. ඒ ගැලරියට. එහෙත් නඩු පැවරීම ගැන අවසාන තීරණය නීතිපතිගේ. මේ නීතිපති මෙතෙක් කටයුතු කර තිබෙන ආකාරය අනුව කුමක් කරාවි ද යන්න දැනට අපැහැදිලියි. කතානායක නීතිපතිගෙන් කරුණු විමසා තියෙනවා. ඒ තමයි නීතිය. එහෙත් නීතිය ක්‍රියාත්මක වන්නේ සිංහලයන්ට විරුද්ධව. විජයකලා එ ජා ප මන්ත්‍රීවරියක්. ඇය එ ජා ප සාමාජිකාවක් කියා හිතනවා. රනිල් එ ජා ප විනය මණ්ඩලයක් හරි යම් කමිටුවක් හරි මේ සම්බන්ධයෙන් කැඳවනවා ද?



මේ අතර උපාලි හාමුදුරුවන්ගේ ප්‍රකාශය ගැන උරණ වූ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් සිවල් සාමාජිකයන් හා වෙනත් එවැන්නන් විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිහඬයි. මළ ගිය පක්‍ෂයක් වූ ජ වි පෙ ගැන කතා කර වැඩක් නැහැ. ලබන මැතිවරණයේ දී එය භූමදාන කිරීමට නියමිතයි.   

හෙට සිට දෙසතියක් යන තෙක් මේ ලිපි දිනපතා පළ වෙන එකක් නැහැ. බොහෝ විට අතරින් පතර පළ වේවි.