තේරවිල්ලක්
මා මේ ලිපි ලියන්නේ මට ම බව දැන් වැටහෙනවා. ඒ මට නිරවුල් වීම සඳහායි.
පඬියකු කියන්න පුළුවන් දැන්වත් නිරවුල් වෙන එක හොඳයි කියලා. සමාජයට මේ ලිපිවලින්
සතපහක වැඩක් නැතිවා පමණක් නොව ඒ ගැන කල්පනා කිරීමටවත් අවශ්‍ය නැති බව පේනවා.
ඇතැමුන් ඒ ලිපිවලට විවිධ අර්ථකථන දෙනවා. ඒ විවිධ අරමුණු ඇතිව වෙන්න පුළුවන්. ජාතික
ව්‍යාපාරයට හා ජනමාධ්‍යයට නම් මේ ලිපි නයාට අඳුකොළ වගේ බව මා දන්නවා. ජාතික ව්‍යාපාරයේ
කිසිවකු, අඩු තරමින් ගුණදාස අමරසේකරවත් මේ ලිපි
ගැන හොඳක් කියා නැහැ, මගේ කිසිම පොතක් ගැන විවේචනයක් කර
නැහැ. මගේ පොතක් විවේචනය කෙරුණේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි එකල පළ වූ ස්වාධීන සංගමයේ
පුවත්පතක. මගේ ලෝකය ගැන ඒ විවේචනය ලිව්වේ ප්‍රගීත් එක්නැලිගොඩ කියා ඔවුන් කියනවා.
එය විහිළුවට ලිව් එකක් ද කියා කියන්නේ නැහැ. එක්නැලිගොඩට මගේ ලෝකය තේරිලා නැති බව
අමුතුවෙන් කියන්න ඕන නැහැ. ජනමාධ්‍යයෙහි
මේ ලිපි පළවන්නේ නැහැ. ජාතික ව්‍යාපාරයෙහි කිසිවකු කිසිම සාකච්ඡාකට මට ආරාධනය
කරන්නේ නැහැ. රැස්වීම්වල කතා අහන්න නම් ඉඳහිට එන්න කියනවා. ඒ මනුස්සකමට වෙන්න ඇති.
මා ලියා ඇති ලිපි ගණන මාවත් දන්නේ නැහැ. එහෙත් පිං (පව්) පොතේ ලියැවී ඇත්තේ එසේයි.
මට හිතුණා නැවතත් බටහිර විද්‍යාව ඇතුළු දැනුම ගැන යමක් ලියන්න. දැනුම
යනු මිනිසුන් තම පංචෙන්ද්‍රියට, මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂ ව
නිර්මාණය කරන්නක්. එය ඇති දෙයක් ඒ ඒ නිරීක්‍ෂකයාට පෙනෙන ආකාරය නොවෙයි. අවිද්‍යාව
නිසා මිනිසුන් නැති දේ තම තමන්ට සාපේක්‍ෂ ව නිර්මාණය කරන ආකාරයයි. එහෙත් මෙයින්
කියන්නේ අප එකිනෙකා තනි තනියම දැනුම නිර්මාණය කරන බව නො වෙයි. අපට දෙමව්පියන්
වැඩිහිටියන් ගුරුවරුන් මිතුරන් ජනමාධ්‍ය නිවේදකයන් පඬියන් නොයෙකුත් දේ කියනවා. අප
ඒ දේ අපට හැකි අයුරෙන් අපේ කර ගන්නවා. අපේ දැනුම ඔවුන් කියා දෙන දේ නොවෙයි. අප අපේ
ම වූ දැනුමක් නිර්මාණය කර ගන්නවා. ඔවුන්
කියා දෙන්නේත් නැති දෙයක්. ඉතින් අපත් නැති “දෙයකින්” අපට ගැලපෙන නිර්මාණයක් කර ගන්නවා.
දැනුම නිර්මාණය කෙරෙන්නේ යම් සංස්කෘතියකට සාපේක්‍ෂව. එයින්
කියැවෙන්නේ යම් චින්තනයක් පදනම් කරගෙන සංස්කෘතියකට සාපොක්‍ෂ ව නිර්මාණය කෙරෙන
බවයි. එහෙත් මෙයින් කියැවෙන්නේ නැහැ ඊනියා වාස්තවික චින්තනයක් හරි ඊනියා වාස්තවික
සංස්කෘතියක් හරි තියෙනවා කියා. චින්තනයත් සංස්කෘතියත් අප නිර්මාණය කර ගත් සංකල්ප.
පඬියන් සමහර වෙලාවට කියනවා ඒ ඒ පළාතේ සංස්කෘතීන් වෙනස්, ඒ නිසා සංස්කෘතියකට සාපේක්‍ෂව කියන එක තේරුමක් නැහැ කියා. අප පඬියන්ට
කියනවා සංස්කෘතිය ඒ ඒ පළාත්වල විතරක් නොවෙයි ඒ පුද්ගලයා අනුවත් වෙනස් කියලා.
අපට සමාජයෙන් සංස්කෘතිය ගැන යම් යම් දේ කියැවෙනවා. එහෙත් අප උකහා
ගන්නේ, ඒ කියන්නේ නිර්මාණය කරන්නේ එකම
සංස්කෘතියක් නො වෙයි. එහෙත් මෙය අවුලක් වන්නේ නැහැ. සිංහල සංස්කෘතිය කියා අපට
කියන්න පුළුවන් ලක්‍ෂණ තියෙනවා. ඒ ලක්‍ෂණත් අපේ නිර්මාණ බව අමුතුවෙන් කියන්න ඕන
නැහැ. අපට නිරීක්‍ෂණ තියෙනවා. එ නිරීක්‍ෂණ සංකල්පවලින් ස්වායත්ත ඒවා නො වෙයි. සෑම
නිරීක්‍ෂණයක් ම සංකල්පයක් සමග බැඳිලා. මෙහි නිරීක්‍ෂණ කියන්නෙ පංචෙන්ද්‍රිය ගෝචර
නිරීක්‍ෂණ. මෙයට අමතර ව මනසට පමණක් ගෝචර වන සංකල්පත් තියෙනවා. ඒ සංකල්ප පංචෙන්ද්‍රිය
ගෝචර නිරීක්‍ෂණ සමග බැඳී නැහැ. මේ මනසට පමණක් ගෝචර සංකල්ප දෙවර්ගයක්. එක් වර්ගයක්
මනසින් මවා ගන්න පුළුවන්. තවත් වර්ගයක් මනසින් මවා ගන්නවත් බැහැ. ඒ මනසින් මවා
ගන්නවත් බැරි එහෙත් මනසට ගෝචර සංකල්පවලට අප වියුක්ත සංකල්ප කියා කියනවා.
මේ පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණත් සංකල්ප සමග බැඳිලා මනසට හා
සංස්කෘතියටත් සාපේක්‍ෂයි. ඒවාත් අපේ නිර්මාණ බව අමතක නොකළ යුතුයි, දැන් අපට අවශ්‍ය වෙනවා මේ නිරීක්‍ෂණ තේරුම්
ගන්න. ඇයි ඉර පායන්නෙ, ඇයි මිනිසුන් මට කැමති නැත්තෙ, ඇයි මා අසනීප වුණේ ආදී වශයෙන්. අපි හේතු
හොයනවා. මේකට අපි ලෝකෙ තේරුම් ගන්න හදනවා කියනවා. හැබැයි අප එකිනෙකාට තියෙන්නෙ අපේ
ලෝක. බුදුහාමුදුරුවො හේතු හෙව්වෙ නැති බව කියන්න ඕන. පටිච්ච සමුප්පාදය කියන්නෙ
හේතු චක්‍රයක් නො වෙයි. ඒක අපි පස්සෙ දවසක කතා කරමු. හේතුව කියන්නෙ මොකක් ද කියලා
දන්න අයෙක් ඉන්නවා ද? කොහොම හරි මේ හේතු සමහර වෙලාවට ප්‍රවාද
වෙනවා. වැඩේ තියෙන්නෙ මේ ප්‍රවාදත් අපේ නිර්මාණ වීමයි. ගුරුත්වාකර්ෂණයත් අපේ
(නිව්ටන්ගෙ) නිර්මාණයක්.
සමහර වෙලාවට සීමිත පරාසයක මේ හේතු හරියනවා. එහෙමත් නැත්නම් වැඩ
කරනවා. ඒ කියන්නෙ හේතුව හරි හේතු හරි හරිය කියන එක නොවෙයි. එවා හරියනවා වැඩ කරනවා
කියන එක. එහෙත් පරාසයෙන් පිට වුණු ගමන් අර හේතු වැඩ කරනනෙ නැහැ. පරාසයේ
වුණත් යම් සන්නිකර්ෂණ (ආසන්නව) තමයි වැඩ කරන්නෙ. ඒත් බොහෝ දෙනා හිතන්නෙ මේ ප්‍රවාද
මගින් ලෝකය තේරුම් ගන්නවා කියලයි. තේරුම් ගන්න ඊනියා ලෝකයක් නැතිව මොනව තේරුම්
ගන්න ද? මේ ලෝකය තේරුම් ගැනිල්ලත් එක
දෘෂ්ඨියක්.
මේ තේරුම් ගැනීමේ දෘෂ්ඨිය පහළොස්වැනි සියවසේ සිට බටහිර තියෙන එකක්. තියෙනවයි කිව්වට ඒක
වාස්තවිකව පවතින දෙයක් නො වෙයි. ඒත් ක්වොන්ටම් යාන්ත්‍රිකය ෆයින්මාන්ට තේරෙන්නෙ
නැහැ. ඔහුට නොබෙල් තෑග්ගත් ලැබුණා. මා හිතන් හිටියෙ ක්වෙන්ටම් භෞතිකය සිංහල
බෞද්ධයන්ට තේරනවා කියලයි. දැන් බලන කොට එහෙමත් නැහැ. සිංහල බෞද්ධයන්ට චතුස්කෝටික
න්‍යාය යොදා ගන්න පුළුවන් ෆයින්මාන්ට බැරි වුණාට. ඒත් ඉතින් චතුස්කෝටිකයත්
නිර්මාණයක් නේ.
මේ ඔක්කොම නිර්මාණ සංස්කරණය කෙරෙන්නෙ පටිච්ච සමුප්පදාය අනුව. ඒක මා
කිව්වෙ හේතු චක්‍රයක් නොවෙයි කියලා. ඔය පටිච්ච සමුප්පදායෙහි නාම රූප පච්චයා විඥාන,
විඥාන පච්චයා නාම රූප කියලා සුළියක් තියෙනවා.
මේ විඥානය ගැන මොනවද කියන්නෙ. එය ප්‍රඥා කියන තැන ඥා වගේ ද නැත් ද? මට නම් හිතෙන්නෙ විඥානය තමයි අප නොමග යවන ඥා
කියලා. වි යන්න ඥානය ඉදිරියෙන් තියෙන කොට කියැවෙන් ප්‍ර , ඥාට කලින් තියෙන විට
කියැවෙන්න නොවෙයි. විඥානය තමයි මමට මුල. නැති මම ඇති කරන්නෙ විඥානයයි. මෙහි මා
(නැති මා, මා නොවන මා) නොමග යවනව කියල කිව්වෙ
නිවන් මගින් ඈත් කිරීමට. විඥානයට කොන්ෂස්නස් කියල බටහිර විද්‍යාඥයො කියනවා. ඒ තමා
ගැන හරි බාහිර දෙයක් හරි ගැන ඇති වෙන දැනුම හරි දැනීම හරි. කොන්ෂස්නස් මොකක් ද
කියලා දැන ගන්න ඔවුන් හයියෙන් ම වැඩ. විලියම් ජේම්ස් කොන් අයින් කරලා ෂස්නස් කියලා
වචනයක් හැදුව බාහිර දේ ගැන දැනීමට එවිට කොන්ෂස්නස් කියන්නෙ තමන් ගැන දැනුම.
කොන්ෂස්නස් කියන්නෙ කොන් කියල බටහිර විද්‍යාඥයන්ට තේරෙයි ද මන් ද?