Main Logo

Sunday 22 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 11


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 11



ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ඇති වූයේ වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහිමි කිරීම නිසා ය කියන එක බොරුවක්. කලින් ලිපියේ පෙන්වා දුන් පරිදි ඡන්ද බලය අහිමි කෙළේ නැහැ. ලංකාව ඩොමීනියන් නිදහස ලැබීමෙන් පසු රටවැසියා යනු කවු ද කියා රටවැසි පනතකින් නිර්වචනය කළා. වතු කම්කරුවන් රටවැසියන් වූයේ නැහැ. ඔවුන් ඉංගිරිසින් විසින් ආනයනය කරනු ලැබූ එංගලන්ත යටත්විජිතවැසියන්. මා සඳහන් කර ඇති පරිදි හැත්තෑවේ දශකයේ එංගලන්තයේ හා ඕස්ත්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩල රටවල වැසියන්ට ඡන්ද බලය හිමි වුණා. ඒ පොදුරාජ්‍ය මණ්ඩල රටවල වැසියන් ඒ රටවල දී එංගලන්ත යටත්විජිතවාසීන් ලෙස සැලකුණු නිසා. ඉංගිරිසියෙන් ඔවුන්ට කීවේ බ්‍රිටිෂ් සබ්ජෙක්ට්ස් කියා.





ඉලංකෙයි තමිල් අරසු කච්චි පිහිටුවීමට හේතු වූයේ ලංකා දෙමළ කොංග්‍රසය ඩී එස් සේනානායක ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගැනීම. ජී ජී පොන්නම්බලම්ලා චෙල්වනායගම්ලා නාගනාදන්ලා එකට ලංකා දෙමළ කොංග්‍රසයේ සාමාජිකයන් ව හිටියා. එහෙත් පොන්නම්බලම් ඩී එස් ගේ ආණ්ඩුවට එකතු වුණා. පොන්නම්බලම් පනහට පනහ ඉල්ලා එය සාර්ථක නොවන බව අත්දැකීමෙන් දැන සිටි අයෙක්. රාමානාදන්ලාගේ සිට ජී ජී පොන්නම්බලම් දක්වා දෙමළ වෙල්ලාලයන් උත්සාහ කෙළේ මුළු රටේ ම නායකයන් වන්නට. පොන්නම්බලම් එය සාක්‍ෂාත් කර ගැනීමට නොහැකි බව දැන ගත්තා. එබැවින් ඔහු ඊළඟට කළ හැකි දෙය කළා. එනම් සිංහල අගමැති කෙනකුගේ ආණ්ඩුවේ ඇමතිවරයකු වීම.



එහෙත් චෙල්වනායගම්ලා එය පිළිගත්තේ නැහැ. ඒ අවස්ථාවේ දී ඔවුන්  සිංහල අගමැතිවරයකු යටතේ ඇමතිකම් කිරීමට සූදානම් වූයේ  නැහැ. ඔවුන් දෙමළ ජාතිවාදී දේශපාලනයේ වෙනසක් කළා. එකම රටක සිංහල අගමැති කෙනකු යටතේ ඇමති ධුර දැරීමට වඩා වෙන ම රාජ්‍යයක නායකයන් වීමට ඔවුන් තීරණය කළා. ඒ සඳහා ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තා. එහි නමින් ම පැහැදිලියි ඔවුන්ට වෙන ම රාජ්‍යයක් අවශ්‍ය වූ බව.



චෙල්වනායගම් ක්‍රිස්තියානි ආගමේ. රාමනාදන්ලාගේ ද ක්‍රිස්තියානි සම්භවයක් තිබුණත් ඔවුන් ජනතාව ආකර්ෂණය කර ගැනීමට හින්දු වෙලා තිබුණා. එහෙත් චෙල්වනායගම් තම ආගම අත් හැරියේ නැහැ. ඔහුගේ පල්ලිය දකුණු ඉන්දීය පල්ලියක්. ඔහු ලංකාවේ උපන්නත් මුල් කාලයේ හැදී වැඩී ඇත්තේ අද මලයාසියාව කියන රටේ. ඔහු පසුව අධ්‍යාපනය සඳහා ලංකාවට ඇවිත් තියෙනවා.



ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය හැදුණේ උඩින්. එය ඊනියා පහත මාළයේ නැත්නම් පහළ ජනයාගේ අවශ්‍යතාවකට හැදුණු පක්‍ෂයක් නො වෙයි. ජාතිය රාජ්‍යය  හා පහළ ජනයා අතර ඇතැයි කියන සම්බන්ධය කෙහේවත් නැහැ. කිසිම රටක පහළ ජනයා රාජ්‍ය හෝ ජාති හෝ හදා නැහැ. ඒ අර බටහිර දේශපාලන විද්‍යාඥයන්ගේ පට්ටපල් බොරුවක් පමණයි. ජනතාව වූ අපි (වී ද පීපල්) කතා හොඳයි දේශපාලන විද්‍යා ආචාර්යවරුන්ට කසිකබල් පත්‍රිකා ලියන්න.



චෙල්වනායගම්ගේ ජීවන චරිතය ලියූ ඔහුගේ බෑණනුවන් වූ ද දේශපාලන විද්‍යා මහාචාර්යවරයකු වූ ද ඒ ජේ විල්සන්ට අනුව චෙල්වනායගම්ගේ ප්‍රතිපත්තිය  වූයේ අද ටිකක් හෙට හුඟක් යන්නයි. චෙල්වනායගම්ගෙන් පසු ප්‍රභාකරන් තෙක් මෙය දෙමළ ජාතිවාදයේ ප්‍රකාශය බවට පත්වුණා. ඔවුන් අද ටිකක් ලබා ගෙන පසුදා හුඟක් ලබාගැනීමේ ප්‍රතිපත්තියකුයි ගෙන ගියේ. අදත් ප්‍රභාකරන් නොවන දෙමළ ජාතිවාදී දේශපාලනය ක්‍රියාත්මක වන්නේ මේ ප්‍රතිපත්තිය උඩ.



 ඒ වන තෙක් දෙමළ දේශපාලන නායකයන් දෙමළ ජනයාට වූ අසාධාරණයක් ගැන කතා කර තිබුණේ් නැහැ.  එයට හේතුව දැනගන්න අංජනම් එළි බලන්න ඕන නැහැ. ඒ වන විට දෙමළ සිසුන් හා සිසුවියන් හිතන් හිටියේ නැහැ ඔවුන්ට අසාධාරණයක් වී ඇත කියා. දෙමළ වෙල්ලාලයන්ගෙන් ඇතැම් පිරිසකට සිංහල රාජ්‍යයෙහි  නොව දෙමළ රාජ්‍යයක නායකයන් වීමට අවශ්‍ය වුණා.



මෙය සම්පූර්ණයෙන් ම වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක්. දෙමළ වෙල්ලාල  නායකයන්ට ඉංගිරිසන් යටතේ ලබාගත් තම වරප්‍රසාද එකසේසත් සිංහල රාජ්‍යයෙහි ආරක්‍ෂා කර ගැනීමට නොහැ බව වැටහුණා.එබැවිනුයි ඔවුන්  වෙන ම රාජ්‍යයක් සඳහා සටන් කරන්න තීරණය කර තිබුණෙ.



ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ඉංගිරිසියෙන් හඳුන්වනු ලැබුයේ ෆෙඩරල් හෙවත් සන්ධීය කියා. දෙමළෙන් ලංකා රාජ්‍ය පක්‍ෂය කියා ඉංගිරිසියෙන් සන්ධීය කියා කිව්වේ ඇයි? ඉතා පාහැදිලිව ඉලංකෙයි තමිල් අරසු කච්චි සිංහලයන් රැවටීමට කටයුතු කර තිබෙන බව පේනවා.



කෙසේ වෙතත් 1952 මැතිවරණයට ඒ පක්‍ෂය ඉදිිරිපත් වුණා. එහෙත් ඔවුන්ට ලැබුණේ ආසන දෙකක් පමණයි. මෙයින් ද පැහැදිලි වන්නේ සාමාන්‍ය දෙමළ ජනයාට වෙන ම රාජ්‍යයක අවශ්‍ය නොවූ බවයි. මෙය පහළින් උඩට පැමිණි ප්‍රවාහයක් නම් දෙමළ කතා කරන සාමාන්‍ය   ජනයා 1952 දී ම ඒ පක්‍ෂය වටා ගොනු විය යුතුයි.