Main Logo

Tuesday 24 July 2018

විග්නේස්වරන්ලාට කොටි අවශ්‍ය ඇයි?


විග්නේස්වරන්ලාට කොටි අවශ්‍ය ඇයි?



උතුරු පළාතේ මහා ඇමති සී වී විග්නේස්වරන් පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් දැන් වෙබ් අඩවිවලත් ප්‍රචාරය වෙනවා. එයට පිළිතුරක් සැපයීම අවශ්‍ය වන්නේ ඔහු අද දෙමළ ජාතිවාදයේ ප්‍රධාන ප්‍රකාශකයන් දෙදෙනාගෙන් එක් අයකු නිසා. අනෙක් තැනැත්තා සුමන්තිරන්. විග්නේස්වරන් ප්‍රධාන කරුණු දෙකක් කියනවා. එක් කියමනකින් ඔහු විජයකලා කී දේ අනුමත කරනවා. අනෙකෙන් මෙරට බොරු දෙමළ ඉතිහාසය නැවතත් ප්‍රචාරය කරනවා. මෙය විජයකලා ප්‍රකාශය ගැනයි. බොරු ඉතිහාසය ගැන දෙවැනි ලිපියකින්.




විජයකලා කී දේ රනිල් ද අනුමත කරන බව පේනවා. ඇය රනිල් සමග උත්සවවලට සහභාගි වන්නේ නැවතත් කොටි ඉල්ලා සිටීමෙන් පසුව. විග්නේස්වරන් දක්‍ෂ නීතිඥයකු සේ ඇය වෙනුවෙන් කතා කරනවා. ඔහු දෙමළ ජාතිවාදය වෙනුවෙනුත් කතා කරනවා. ඔහු අදාළ සාකච්ඡාවේ දී කියා තිබෙනවා නීතිඥයකු තම සේවාදායක වෙනුවෙන් පෙනී සිටින විට සේවාදායකගෙන් බොහෝ කරුණු දැන ගන්නවා කියා. ඇතැම් නීතිඥයන් සේවාදායකගෙන් තොරතුරු ලබාගෙන සේවාදායකයා බේරා ගැනීම සඳහා ඒ තොරතුරු විකෘත කරන ආකාරයත් කියා දෙන බව අප දන්නවා. විග්නේස්වරන් කරන්නේ එයයි. ඔහු දක්‍ෂ නීතිඥයකු වන්න ඕන. ඔහු හිටපු විනිසුරුවරයෙක්.



විජයකලා උතුරේ ප්‍රභාකරන් බලවත් වූ කාලයේ තිබූ යහපත් තත්වය අද නැති බව කියා නැවත කොටි ඉල්ලුවා. විග්නේස්වරන් ඒ කතාව කපා කොටා කියනවා. අර රත්තරන් පැළඳ ගිය කාන්තාවගේ කතාව අපූරු එකක් නොවෙයි. සිංහල අප ද එවැනි කතාවක් දන්නවා. දෙමළ කතාකරන ජනයාට සිංහල ජාතිය සමග එක්වීම ඉතා පහසුයි. මේ සංස්කෘතීන් අතර සමිප බවක් තිබෙනවා. එක්වීමට ඉඩ නොදෙන්නේ තමන් ඉංගිරිසින්ගෙන් ලත් වරප්‍රසාද අහිමි වූ විජයකලා විග්නේස්වරන් වැනි කොළඹ, බොහෝවිට කොළඹ හතේ පදිංචි කරුවන්. විජයකලා කොටි තම ස්වාමිපුරුෂයා මරා දැමීමෙන් පසුවත් කොටි ඉල්ලන්නේ හැකි නම් වෙන ම රාජ්‍යයක් පිහිටුවා තම වරප්‍රසාද නැවත ලබා ගැනීමටයි. ඒ වරප්‍රසාද කොළඹ හතේ පදිංචි වීම, රාජකීය කාන්තා විදුහල්වලට දරුවන් යැවීම, විනිසුරුවන් වීම, ඇමතිවරුන් වීම පමණක් නොවන බව පැහැදිලියි. ඔවුන් ඉල්ලන්නේ ඊළමේ ජනාධිපතිකම. නැත්නම් අගමැතිකම. ඔවුන් ඒ සඳහා ප්‍රභාකරන් වැන්නකු යොදා ගැනීමට කැමතියි. එහෙත් ඔවුන් දන්නවා ඉංගිරිසින්ගේ(බටහිරයන්ගේ) හා ඉන්දියාවේ උපකාරයෙන් ඒ ප්‍රභාකරන් පහ කිරීමට. මේ වෙල්ලාලයන් ප්‍රභාකරන් වැන්නකු යටතේ ජීවත් වීමට කැමති වේ යැයි සිතනවා ද? 



මේ වෙල්ලාලයන් ප්‍රභාකරන් රැක්කේ බියකට නොව අනාගත බලාපොරොත්තු සඳහා. ප්‍රභාකරන් ම වැනි අයකු වූ විජේවීර රැකීමට සිංහල සමාජයේ නායකයන් ඉදිරිපත් වූයේ නැහැ. ගණඳුරු මැදියම අරුණළු දුටු අය පවා මිනීමැරුම් හමුවේ විජේවීරට විරුද්ධ වුණා. එහෙත් දෙමළ වෙල්ලාලයන් එසේ නොකළා පමණක් නොව අදත් කොටි හොඳ යැයි කියමින් සමහරු කොටි ඉල්ලනවා.



කොටි විජයකලාගේ සැමියා ඝාතනය කළත් විග්නේස්වරන්ගේ දරුවන් භාර්යාව හා විජයකලා කොටි ත්‍රස්තවාදයට අරන් ගියේ නැහැ. විග්නේස්වරන්ගේ ළමුන් ඊනියා කාන්තා බලකායකට හෝ ළමා බලකායකට හෝ බඳවා ගත්තේ නැහැ. කොටි බලහත්කාරයෙන් ළමුන් කාන්තාවන් රැගෙන ගිය බව විජයකලා හා විග්නේස්වරන් නොදන්නේ ද? ඔවුන් තමලිනීගේ පොත කියවා නැද්ද? විග්නේස්වරන්ගේ සේවාදායකයන් තමලිනීගේ නෑයන් වන බවක් පේන්නට නැහැ. විග්නේස්වරන්ගේ සේවාදායකයන් වෙන කවුරුන්වත් නොව කොළඹ ජීවත්වන විජයකලාලා.



ප්‍රභාකරන් ළමුන් හා කාන්තාවන් බලහත්කාරයෙන් හා ඇතැම් විට සුරංගනා ලෝක මැවීමෙන් ත්‍රස්තවාදයට බඳවා ගත්තා. තමලිනී කියන්නේ එයයි. අර රත්රන් රැගත් කාන්තාව ප්‍රභාකරන් කාලයේ යාපන අර්ධද්වීපයේ වීදි සංචාරය කළේ නම් නවතින්නේ කොටි ගුහාවක. සමහරවිට ඇයට එහි දී ඇන්ටන් බාලසිංහම්ගේ ඕස්ත්‍රේලියාවේ උපන් නර්ස් නෝනා දැක ගන්න තිබුණා. එහෙත් විජයකලාට හා විග්නේස්වරන්ගේ දරුවන්ට ඒ දේ සිද්ධවුනේ නැහැ. ඔවුන් චාරිකා කෙළේ කොළඹ විදීවල. බොහෝ විට සිංහල රියැදුරන් පැද වූ වාහනවල වෙන්න පුළුවන්.



සිංහලයන් සමග ජීවත් වීම සිංහලයන් සමග විවාහ වීම එකක්. සිංහල සමාජයට ද්වේෂ කිරීම තවත් එකක්. එකක් පෙන්නා අනෙක නැහැ කියන එක වංචාවක්. දෙමළ වෙල්ලාලයන් කොළඹට පැමිණ සුද්දන්ට කත් ඇද (අද භාෂාවෙන් නම් කඩේ ගොස්) සිංහලයන් අභිබවා සමාජයේ ඉදිරියට ගොස් රටේ නායකයන් වුණා. වරප්‍රසාද ලබාගත්තා. පළමුව සීමිත ඡන්දය සමගත් පසුව සර්වජන ඡන්දය සමගත් ඒ සමාජ බලය ඔවුන්ට නැතිවන්න පටන් ගත්තා. ලංකාවේ ඒ පළමු තත්වය නැවත ලබාගත නොහැකි බව තේරුම් ගත් වෙල්ලාලයන් විවිධ ක්‍රිස්තියානි පල්ලිවල ද ඉංගිරිසින්ගේ ද අනුග්‍රහයෙන් හා අනුබලයෙන් වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට 1949 සිට නිල වශයෙන් ක්‍රියාත්මක වුණා. ඊනියා සාකච්ඡා මාර්ගයෙන් හා උද්ඝෝෂණවලින් ඒ කරගත නොහැකි වූ වෙල්ලාලයන්, පල්ලිය හා බටහිරයන් ඊළමක් දිනාගැනීම සඳහා ප්‍රභාකරන් යොදා ගත්තා. මේ ඉතිහාසය විග්නේස්වරන් දන්නේ නැති නම් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවන්න පුළුවන්. ඒ කෘතිය An analysis of Tamil Racism in Sri Lanka  නමින් ඉංගිරිසියට පරිවර්තනය වී තිබෙනවා.



දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නැහැ. දෙමළ වෙල්ලාල නායකයන් ඊළමක් ගැන කතා කරන්න පටන් ගත්තේ 1949න් පසුව. ඒ වන විට ඔවුන් මහා අසාධාරණ ලෙස හුවා දක්වන සිංහල රාජ්‍ය භාෂා පනත, ප්‍රමිතිකරණය ආදී කිසිවක් ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.



විජයකලාට හා විග්නේස්වරන්ට කොටි හොඳ වන්නේ ඊනියා සාමයක් නිසා නො වෙයි. ඔවුන්ට සාමය තිබුණේ කොළඹ. ඊනියා කළු ජූලිය වුණත් කුරුඳුවත්තට හා අවටට ආවේ නැහැ.  ප්‍රභාකරන් මානව හිතවාදියකු යැයි කී බෞද්ධාලෝක මාවතේ පදිංචි ව සිටි කෙනත් ප්‍රනාන්දු බිෂොප්ටවත් ආවේ නැහැ. මේ වෙල්ලාලයන්ට හා පූජකයන්ට ප්‍රභාකරන් කෙනකු අවශ්‍ය ප්‍රභාකරන්ට ඊළම භාර දීමට නොවෙයි. ඔවුන්ට රත්රන් අරගෙන බය නැතිව යාපන අර්ධද්වීපයේ ඇවිදින්න. ඒ ප්‍රභාකරන් කෙනකු ලවා ඊළම දිනාගෙන ඔහු පරළොව ඇරීමෙන් පසු. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය ගැන වෙල්ලාලයන් හෙළන්නේ කිඹුල් කඳුළු. වේළුපිල්ලේ ප්‍රභාකරන් බැරි වෙලාවත් ඊළම දිනාගත්තා නම් මිය යන්නේ වෙල්ලාලයන් (හා බටහිරයන් හා ඉන්දියාව) අතින්. 



        
කාලය වෙබ් අඩවියේ පළ වී ඇති ඕනෑම ලිපියක් උපුටා දැක්වීමට අවසරයක් අවශ්‍ය නැහැ.