Main Logo

Tuesday 17 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 9

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව

දෙමළ ජාතිවාදයට කප්පන් දෙන නව ව්‍යවස්ථාව ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන්න යන බවට පුවත් පළ වෙනවා. මේ මණ්ඩලයෙන් ඒකාබද්ධ විපක්‍ෂය සම්පූර්ණයෙන් ම ඉවත් වන ලෙස අප කිහිප දෙනකු මහින්ද හමු වී ඉල්ලා සිටි නමුත් ඔවුන් ඉවත් වූයේ අනුකමිටුවලින් පමණයි. ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැති සංවිධානයක් ලෙසයි කතානායක සලකන්නේ. එහෙත් ව්‍යවස්ථා මණ්ඩලයේ එය කටයුතු කරනවා.


ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙුම් කමිටුවෙන් ඉවත් නොවන්නේ එහි තොරතුරු දැන ගැනීමට බවයි පවසන්නේ. එහෙත් මේ තොරතුරු කමිටුවේ නැතුව වුවත් දැන ගැනීමට පුළුවන්. මේ කමිටුවේ ඉන්න එකෙන් සිද්ධ වෙන්නෙ ව්‍යවස්ථා මණ්ඩලයට යම් පිළිගැනීමක් ලැබෙන එක පමණයි. දැන් ඇත්ත විපක්‍ෂයට හැත්තෑවක් ඉන්නවා. ඒත් තවම තුනෙන් දෙක වළක්වන්න බැහැ. ඒ කළ හැක්කේ සිරිසේනගේ මන්ත්‍රීවරුන්/ එ ජා ප මන්ත්‍රීවරුන් යම් පිරිසක් විපක්‍ෂයට ගැනීමෙන්. එසේ නැත්නම් රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමෙන්. වඩා පහසු හැත්තෑව හැත්තෑපහ කර ගැනීමයි. ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවෙන් අස්වීම ඒ සඳහා උත්තේජනයක් සපයාවි. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමටත් එයින් මග පෑදේවි. 

සෝල්බරි කොමිසම ඉදිරියට ගිය දෙමළ ජාතිවාදී නායකයන්ට අවශ්‍ය වූ දේ කරගන්නට බැරි වුණා. ඔවුන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ ආසන සීමා නීර්ණ මගින් සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සියයට පනහකට අඩුවන අන්දමට සකස් කරන්න. එහෙත් සෝල්බරි ඔවුන්ට පෙන්වා දුන්නා එය කළ නොහැකි බව. අවානයේ දී සෝල්බරි සහනයක් ලෙස ඔවුන්ට බහුමන්ත්‍රී ආසන ලබා දුන්නා. මැද කොළඹ, කඩුගන්නාව ආදී ආසන බහු මන්ත්‍රී ලෙස නම් කෙරුණා. එහි අරමුණ වූයේ ඒ ආසනවලින් අඩු තරමෙන් සිංහල නොවන එක් මන්ත්‍රීවරයකු පත්කර ගැනීම.

මෙය ජාතිවාදී දේශපාලනයක් නොවේ නම් වෙන මොකක් ද? දෙමළ වෙල්ලාලයන්ට අවශ්‍ය වූයේ තමන්ට සර්වජන ඡන්දයට පෙර ලැබී තිබුණු දේශපාලන නායකත්වය නැවත ලබා ගැනීමට. එය සිංහලයන්ට මෙරට හිමි තැන නැති කිරීමක්. පඬියන් එය ජාතිවාදී යැයි නොකියන්නේ ඔවුන්ට ද සිංහලයන්ට හිමි තැන නොදීමට අවශ්‍ය නිසා. පඬියන් ද සිංහල විරෝධී ජාතිවාදීන්. අප තේරුම් ගත යුත්තක් නම් දෙමළ ජාතිවාදී නායකයන් මේ ජාතිවාදී දේශපාලනය ගෙන ගියේ ඊනියා පහළ ජනයාගේ අවශ්‍යතාවකට නොවන බව.

පහළ ජනයා හෝ පහළ මාළයේ ජනතාව හෝ මේ කිසිවක් ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. පහළ ජනයාගේ අවශ්‍යතාවට රාජ්‍ය පිහිටුවන්නේ ය යන්න පට්ටපල් බොරුවක්. කිසිම රාජ්‍යයක් ඊනියා පහළ මාළයේ ජනතාවගේ අවශ්‍යතාවට පිහිටුවන්නේ නැහැ. රාජ්‍ය පිහිටුවන අය තම කාර්යය යුක්තියුක්ත කිරීම සඳහා ඊනියා ජනතාව යොදා ගන්නවා. බටහිර බුද්ධිමතුන් අප රැවටීමට ඒ කතාව අපට කියනවා. මෙරට පඬියන් තමන් දන්නා එකම දෙය, එනම් පුනරුච්වාරණය කරනවා.  

කෙසේ වෙතත් 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණය  අගොස්තු විසිතුනේ සිට සැප්තැම්බර් විස්ස දක්වා පැවතුණා. එවකටත් ලංකාව ඩොමීනියන් නිදහසවත් ලබලා නැහැ. එයට ජී ජී පොන්නම්බලම්ගේ (කුමාර් පොන්නම්බලම් ඔහුගේ පුතා) ලංකා දෙමළ කොංග්‍රසය සහභාගි වුණා. ඔවුන් වෙන්වීමක් ගැන කතා කෙළේ නැහැ. සමහරුන් එ ජා ප අපේක්‍ෂකයන් වුණා. එ ජා පක්‍ෂයට ආසන අනූපහෙන් හතළිස්දෙකක් ලැබුණා. ඔවුන් ආසන හතක් ලබා ගත් ලංකා දෙමළ කොංග්‍රසය සමග එකතු වී ආණ්ඩුවක් පිහිටෙව්වා. ජී ජී පොන්නම්බලම් ඒ ආණ්ඩුවේ ඇමතිවරයකු වුණා. මෙහි වැදගත් කරුණක් නම් එන් එම් පෙරේරාගේ ලංකා සමසමාජ පක්‍ෂයට ආසන දහයකුත් කොල්වින් ආර් ද සිල්වාගේ බෝල්ෂෙවික් ලෙනින්ස්ට් පක්‍ෂයට (එකල කොල්වින් වඩාත් විප්ලවවාදියා) ආසන පහකුත් වික්‍රමසිංහගේ කොමියුනිස්ට් පක්‍ෂයට ආසන තුනකුත් ලැබීමයි. මේ මාක්ස්වාදී පක්‍ෂවලට වලංගු ඡන්දයෙන් සියයට විස්සකට වඩා ලැබුණා! ඔවුන්ගේ බහින කලාව ඇරඹුණේ 1951 දී ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමත් සමග.

මේ පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී නාගනාදන් ප්‍රකාශ කෙළේ දැන් සිංහලයන්ට නිදහස ලැබී ඇති බවත් දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස ලබා ගැනීමට සටන් කළ යුතු බවත්. මෙයින් බෙදුම්වාදී දේශපාලනය ඇරඹුණා. වෙන ම රාජ්‍යයක් කියන සංකල්පය ඒ වන විටත් සංකල්පගත වී තිබුණේ නැහැ. එහෙත් නාගනාදන්ලා තමන් යන මග ගැන යම් කටු සටහනක් කර ගෙන තිබුණා.  නාගනාදන්ලා තරග කෙළේ ජී ජී පොන්නම්බලම්ගේ ලංකා දෙමළ කොංග්‍රසයෙන්. එයට අමතර ව ඉන්දීය දෙමළ කොංග්‍රසයකුත් තිබුණා. ඒ වතුවල සේවයට ගෙනා දෙමළ ජනයා වෙනුවෙන්. ඒ පක්‍ෂයේ නමින් ම පැහැදිලි වුණා ඔවුන් හා ඉන්දියාව අතර තිබූ සම්බන්ධය. අදත් ලංකා වතු කම්කරු සංගමයේ ධජය ඉන්දීය ජාතික ධජය.

1949 දී නාගනාදන්ලා ලංකා දෙමළ කොංග්‍රසයෙන් කැඩී චෙල්වනායගම්ගේ නායකත්වයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තා. ඔවුන් ඒ සඳහා රැස්වූයේ රජයේ ලිපිකරු සේවා සංගම් මූලස්ථානයේ (එකල එය තිබුණේ අද පිහිටි ස්ථානයේ නොව මරදානේ). එකල රාජ්‍ය සේවය ලිපිකරුවන්ගේ සිට පරිපාලන සේවයේ (සිවිල් සේවයේ) ඉහළ ම තනතුරු දක්වා දෙමළ කතාකරන්නන්ගෙන් පිරී පැවතුණා. එකල දුම්රිය ස්ථානාධිපතිලා ඉතා වැඩි පිරීසක් දෙමළ වූවා. ඒ ඔවුන්ගේ ජනවාර්ගික අනුපාතයට ඉතා ඉහළින්.

චෙල්වනායගම්ලාට වැටහී  තිබුණා තවදුරටත් කොළඹ දේශපාලන නායකත්වය සඳහා සටන් කිරීම තේරුමක් නැති බව. සර්වජන ඡන්දයත් පාර්ලිමේන්තුවත් කැබිනට් ක්‍රමයත් ඔවුන්ගේ දරදඬු සිංහල විරෝධී දේශපාලනයත් සමග ඔවුන්ට රටේ දේශපාලන නායකත්වයට පත්වීමට නොහැකි බව ඔවුන් දැන සිටියා. එබැවින් ඔවුන් වෙන ම රාජ්‍යයක්, දෙමළ රාජ්‍යයක් සඳහා සටන් කරන්න තීරණය කර තිබුණා. මේ තීරණය ගැනීමේ දී වෙල්ලාල නායකයන් කිසිවකු යාපනයේ ඊනියා අඩු කුල ජනතාවගෙන් තබා පහළ වෙල්ලාලයන්ගෙන්වත් විමසා තිබුණේ නැහැ. දෙමළ රාජ්‍යය සම්පූර්ණයෙන් ම ඉහළ වෙල්ලාලයන් පිරිසකගේ අදහසක්. ඒ කාලයෙවත් ඔවුන් තමන්ට සිදුවන අසාධාරණයක් ගැන කතා කෙළේ නැහැ. ඔවුන්ට තිබූ එකම ප්‍රශ්නය ඔවුන්ගේ වරප්‍රසාද හා රටේ දේශපාලන නායකත්වය අහිමි වීම.