Main Logo

Saturday 30 June 2018

දහසය පනස්හතර හා මෛත්‍රිපාල


දහසය පනස්හතර  හා මෛත්‍රිපාල



දහසයේ කණ්ඩායමක් දැන් නැහැ කියනවා. දහසය පනස්හතරට එකතුවෙලා හැත්තෑවක් වෙලා. ඒ අතර බැසිල් කියනවා ගෝඨාභය ජනාධිපති වුණොත් රට පාලනය කරන්නේ තමන් කියලා. ඒ කියන්නෙ බැසිල්ට ජනාධිපතිවරණයකින් දිනන්න බැරි නිසා ගෝඨාභය නමට ඉදිරිපත් කරනවා කියන එක ද? මේ කතන්දර අස්සෙ රනිල්ගෙ ආණ්ඩුව තවමත් තියෙනවා. එය තව අවුරුදු එකහමාරක් ම පවතින්න බෙහෙවින් ඉඩකඩ තියෙනවා.




දැන් දහසයේ කණ්ඩායමක් නැහැයි කියන හින්ද අපි ඔවුන්ගෙ මතයට ගරු කරලා පැරණි දහසයේ කණ්ඩායම කියමු. පැරණි දහසයේ කණ්ඩායම ගැන දැන් පනස්හතරට සැකයක් නැද්ද? පැරණි දහසයේ තිබුණය කියපු රඟපැම ඉවර ද? දැන් ඔවුන්ට ආසන සංවිධායකකම් දෙනවා ද? ඔවුන් පොදුජන පෙරමුණේ සාමාජිකයන් වෙනවා ද? ඒකාබද්ධ විපක්‍ෂයෙ (පනස් හතරේ) කී දෙනකු පොදුජන පෙරමුණේ සාමාජිකයන් ද? ඒකාබද්ධ විපක්‍ෂයට ව්‍යවස්ථාවක් තියෙනවා ද? එහි පක්‍ෂ නායක රැස්වීම්වලට සහභාගි වන්නෙ කවුද කියලා ව්‍යවස්ථාවක් තියෙනව නම් එහි සඳහන් වෙනවා ද? මා මේ ප්‍රශ්න අසන්නේ හැකිතාක් නිරවුල් වීමට මිස ඒකාබද්ධ විපක්‍ෂයට අකුල් හෙලන්න නො වෙයි. මා නිරවුල් ව කල්පනා කරන්න හිතන්න කැමතියි.



පැරණි දහසයේ කණ්ඩායමට මෛත්‍රිපාලගෙ බිය සැක දුරලා මහින්ද අගමැති කරවන්න බැරි වුණේ ඇයි? ඔවුන්ට මෛත්‍රිපාලගෙන් මහින්ද අගමැති කිරීම පිළිබඳ ස්ථිර වචනයක් ගන්න බැරි වුණා ද? පැරණි දහසයේ කණ්ඩායමේ හතර පස් දෙනකුට වඩා මා හඳුනන්නේ නැහැ. ඔවුන්ගෙන් කතා කරල යමක් දැනගන්නත් බැහැ. ඒක නිසා මේ කරුණු ප්‍රසිද්ධියේ අහනවා.



පැරණි දහසය මෛත්‍රිපාලගෙන් වෙන් වීම ගැන මට තියෙන්නෙ කණාගාටුවක්. රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් නැති වුණා. දැන් බැසිලිකාවෙ පූජකයන් කියාවි ඔය කියන්නෙ මා මෛත්‍රිපාලට හිතවත් බවය කියා. මා කිසිම දේශපාලනඥයකුට හිතවත් නැහැ. මා හිතවත් රටට පමණයි කියන්නවත් මා කැමති නැහැ. එහෙම කිව්වට බහුතරයක් එයට එකඟ වන්නේ නැහැ. මෙරට බහුතරයක් මා ගේම් කාරයකු ඩීල් කාරයකු දේශප්‍රේමී නොවන්නකු, මිථ්‍යා මත ධාරියකු, දෙවියන් පසුපස යන්නකු, විද්‍යා විරෝධියකු, විද්‍යාව ගැන කිසිම දැනුමක් නැත්තකු (විද්‍යාඥයකු වීමට නොහැකි වීම නිසා) ආදී වශයෙන් සිතන බව මා දන්නවා. හොඳයි අපි කියමු මා ලියන්නේ කියන්නේ මගේ අභිවෘද්ධිය සඳහා පමණක් ය කියා. ඒත් මා කල්පනා කරන්නෙ ලිවීමෙන් මට අත් වුණු අභිවෘද්ධිය නොව  වෘද්ධිය කුමක් ද කියා. කොහොමටත් කාටත් ලැබෙන වයෝවෘද්ධිය නම් ලැබිල තියෙනවා. 



අර මහා දාර්ශනිකයාත් කියාවි (මා ළඟදී ම ඔහු හමුවීමට බලාපොරොත්තු වෙනචා) මා සිරිජාතිකවාදියකු බව ඔප්පු වෙනවා කියා.  ඇතැම් මහාචාර්යවරුන් (විශේෂයෙන් වෛද්‍ය පීඨ මහාචාර්යවරුන්) මගේ තක්සේරුවේ සාවද්‍ය බව ගැන උද්දාමයෙන් කතා කරාවි. පැරණි දහසයේ කණ්ඩායම මහින්ද අගමැති කිරීමට අසමත්වීමෙන් තම නොහැකියාව පෙන්නුම් කර තිබෙනවා. මා දන්නා තරමින් අගමැතිකම භාර ගැනීමට මහින්ද කැමැත්තෙන් හිටියා.



අද බැසිල් කියන්නේ ගෝඨාභය ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ තමන් බව. ඒ කියමන නිසා ගෝඨාභයට ඡන්ද කීයක් අඩුවේ ද කියා මා දන්නේ නැහැ. ඔහු එසේ කියන්නේ ගොාඨාභයට ඡන්ද අඩුකිරීම සඳහා ද කියා කාහට හරි අහන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මෛත්‍රිපාල හිතනවා වෙන්න ඕන මහින්ද අගමැති වුණොත් රට පාලනය කරන්නෙ තමන් නොව මහින්ද කියා. පැරණි දහසයේ කණ්ඩායමට මෛත්‍රිපාලගෙ මේ සැකය හා බය දුරලන්න අසමත් වීම තමයි හැත්තෑවේ කණ්ඩායමේ සම්ප්‍රාප්තියෙන් පෙන්නුම් කරන්නෙ.



පැරණි දහසයේ කණ්ඩායම මෛත්‍රිපාලගෙ ආණ්ඩුවෙන් කැඩුණු දවසෙ සිට මා හිතන විධියට උත්සාහ කෙළෙ මහින්ද අගමැති කරවීමට. එහෙත් එයට මහින්ද සමග සිටින ඇතැමුන් අකුල් හෙළුවා. කොන්දේසි දැම්මා. කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන කටයුතු කරන බව කිව්වා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට නියෝජ්‍ය කතානායක වීමට තිබූ අවස්ථාව ඡන්දය දීමෙන් වැළකීමෙන් මග ඇරියා. ජෝන් සෙනෙවිරත්න වැනි අයට ඒ පීඩනය උහුලා ගැනීමට බැරි වුණා. මෛත්‍රිපාලත් නිශ්චිත පිළිතුරක් දුන්නේ නැහැ. අවසානයේ දී පීඩනය දරා ගැනීමට බැරිව මතු එන ඡන්දයත් සලකා පැරිණි දහසයේ කණ්ඩායම පනස්හතරට එකතු වුණා.



පැරණි දහසයේ කණ්ඩායම විතරක් නොවෙයි අද බොහෝ මන්ත්‍රීවරුන් බලන්නේ 2019/2020 ඡන්ද සටන් කෝණයෙන්. පණස් හතරේ සමහරුන් කැමතියි මේ අවස්ථාවේ මහින්ද අගමැති කරනවාට වඩා මීළඟ මැතිවරණයෙන් ජයගැනීමට. ඔවුන් හිතන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුවේ තනතුරු භාරගැනීමෙන් ආණ්ඩුවේ පව්වලට කරගහන්න සිද්ධ වේවි කියා. එහෙත් මේ අයට තේරුමක් නැහැ රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කර භාරකාර සම ආණ්ඩුවක් පිහිටෙවුව ම අර පව්වලට කරගැහීමක් වෙන්නෙ නැහැ කියලා.



මෛත්‍රිපාල දුර්වලයකු බව සැබෑව. එහෙත් ඔහු ඊනියා පොදු අපේක්‍ෂකයා බවට පත් වුණා. ඒ සඳහා වචනයක් දුන්නා. ඒ වචනය ඉටු කළා. ඒ වචනය දීම පිටුපස ඉන්දියාව හිටි බවට සැකයක් නැහැ. බටහිරයන් ක්‍රියා කළේ ඉන්දියාව පසුපසට වී. මෛත්‍රිපාල වචනයක් දෙන්න බැරි අයකු නො වෙයි. පැරණි දහසයේ කණ්ඩායමට මෛත්‍රිපාලගෙන් වචනයක් ගැනීමට නොහැකි වූයේ කණ්ඩායම මත එල්ල කළ පීඩනයත් තවමත් ඉන්දියාව ඇතැම් පුද්ගලයන් මගින් මෛත්‍රිපාලට බලපෑම් කරන නිසාත් ද?