අලුත් දේශපාලනයක්
බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම මෙරට දේශපාලන ඝාතනවල ආරම්භය නොවෙයි.
එහෙත් එය නූතන දේශපාලනයේ ආරම්භය යැයි කියන්න පුළුවන්. ඒ මහතාගේ ඝාතනයෙන් පසු ගමනක
අවසානය යනුවෙන් වාර්තා චිිත්‍රපටියක් නිෂ්පාදනය වුණා. එයින් බණ්ඩාරනායක මහතාගේ
ගමනක අවසානය වගේ ම එක් දේශපාලන ගමනක අවසානයත් තවත් දේශපාලන ගමනක ආරම්භයත් සනිටුහන්
වුණා.
කාට හරි අහන්න පුළුවන් පනස්තුනේ හර්තාලයෙන් මියගිය නවදෙනා සමග නව
දේශපාලනයක් ඇරඹුණේ නැද්ද කියා. එය මෙරට පැරණි වාම දේශපාලනයේ එක් සිදුවීමක් පමණයි.
එයට පෙර මූල්ඔය වතුයායේ ගෝවින්දන් ද ඝාතනය කෙරී තිබුණා. එහෙත් ඒ කිසිවකින් මෙරට
දේශපාලන ගමන් මග වෙනස් වූණේ නැහැ. බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි පක්‍ෂය ආරම්භ කෙළේ
තවත් ලිබරල් පක්‍ෂයක් ලෙසයි. එහෙත් වැඩි කල් යෑමට පෙර එය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය
බවට පත්වුණා. ඉන් පසු පැරණි වම ක්‍රමයෙන් දියවෙන්න පටන් ගත්තා. පැරණි වම
ජාතිකත්වයට පැරදුණා. ජ වි පෙ පැරණි වමට විරුද්ධ දේශපාලනයක් ඇරඹුවා. අද එහි කොටස්
දෙකක්, අනුර හා චම්පක විජාතිකත්වයට සේවය
කරනවා. තවත් කොටසක්, විමල් ජාතිකත්වය යටතේ සංවිධානය
වෙලා.
නුතන දේශපාලනය තම පෞද්ගලික මෙන් ම දේශපාලන වුවමනාවන් සඳහා කරන
පෞද්ගලික ඝාතනත් මුදල් ගණුදෙනුත් සමග බැඳී තිබෙනවා. ශ්‍රී ල නි පක්‍ෂයක් අද නැහැ.
එයත් ඝාතනය කෙරිලා ඒ පෞද්ගලික ඝාතනයක් නොවෙයි. එහෙත් ඒ බණ්ඩාරනායක මහතා මෙන් ම
මැතිණියත් නැවතත් ඝාතනය කෙරීමක්. කලින් මේ පක්‍ෂය ඝාතනය කිරීමට චන්ද්‍රිකා ඇගේ
සැමියා සමග උත්සාහයක් ගත් නමුත් එය සාර්ථක වූයේ නැහැ.
ශ්‍රී ල නි පක්‍ෂයේ තාවකාලික මහලේකම් ධුරයට මා මිත්‍ර රෝහණ ලක්‍ෂමන්
පියදාස පත් වී තිබෙනවා. මා ඔහු දන්නේ ඔහු විමසුම සඟරාව සංස්කරණය කළ කාලයේ සිට. මා
හිතන්නේ මාත් විමසුමට ලිපියක් දෙකක් ලිව්වා කියා. රෝහණ තාවකාලික ලේකම් ධුරය භාර
ගන්නේ මියගිය පක්‍ෂයක. අද අවාසනාවකට ජාතිකත්වයේ පක්‍ෂයක් නැහැ. ශ්‍රී ල නි පක්‍ෂය
මරාගෙන බිහිවුණු පොදුජන පෙරමුණේත් ජාතිකත්වයක් නැහැ. එය ඡන්ද මෙවළමක් පමණයි.
මහින්ද එයට ඡන්දය අදින්නා බවට පත්වෙලා.
රෝහණ සහ පක්‍ෂය කියන්නේ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වන බවයි. මට මෙය
තේරෙන්නේ නැහැ. මෛත්‍රිපාලත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා ද? ඒ කියන්නේ ජනාධිපති ධුරයෙන් ඉවත් වෙනවා ද? එහෙම වුණොත් රනිල් ජනාධිපති වෙනවා. මා කලින් කියා ඇති දැන් ආණ්ඩු
දෙකක් තියෙනවා කියලා. එකක් මෛත්‍රිපාලගෙ ආණ්ඩුව, අනෙක රනිල්ගෙ ආණ්ඩුව. ශ්‍රී ල නි පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම යනු මෛත්‍රිපාලගෙ
ආණ්ඩුව ඉවත් වී රනිල්ගෙ ආණ්ඩුවට තනි බලය දීමක්. කළ යුත්තේ රනිල්ගේ ආණ්ඩුව රනිල්
සමගින් ඉවත් කිරීම.
1952 දි පමණ ඇරඹුණු ජාතිකත්ව පක්‍ෂ දේශපාලනයේ ගමනක අවසානය අප අත් දකිනවා.
දැන් තියෙන්නෙ නව ජාතිකත්ව දේශපාලනයක් ආරම්භ කරන්න. අද රටේ ජාතිකත්ව මතවාද ජයග්‍රහණය
කරලා තියෙන්නෙ. එහෙත් ඒ ජාතිකත්ව මතවාදය පක්‍ෂයකින් නියෝජනය වෙන්නෙ නැහැ. අද වෙනත්
ම මගක් ගන්න සිදුවෙලා.
එහි දී මූලිකත්වය ගත යුත්තේ කවුද යන ප්‍රශ්නය මතුවෙනවා. භික්‍ෂූන්
වහන්සේ මූලිකත්වය ගත යුතු ය යන්න අද ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. ඒ
භික්‍ෂූන් වහන්සේ අද ගිහි දේශපාලනඥයන් පිටුපස සංවිධානය වී තිබීම නිසා. ජාතිකත්වයේ
අරමුණ විය යුත්තේ විජාතිකත්වය පරාජය කර රටට ගැලපෙන දේශපාලන ව්‍යුහයක් සකස් කර
ගැනීමයි. එය එක් පුද්ගලයකුගේ පමණක් කාර්යයක් වන්නේ නැහැ.
බණ්ඩාරනායක ඝාතනයෙන් පටන්ගත් නූතන දේශපාලනය සමග රට ම අධාර්මික වෙලා.
ජේ ආර් ජයවර්ධන එයට තවත් රුකුල් දුන්නා. රටේ ජාතිකත්වය මතවාදී ව ජයග්‍රහණය කර
තිබුණත් ජාතිකත්වය ප්‍රතිපත්තිමය වශයෙන් නැහැ. අපේ පෞද්ගලිකත්වය වැඩි වෙලා. අප
බටහිර නූතනත්වයට යටවෙලා. සාමූහිකත්වය අතීතයට සීමා වෙලා.
අප පන්සල් යන එක ඇත්ත. භාවනා කරන්නන් ද වැඩි වෙලා. අභිධර්මය හදාරණ අය
දැන් වැඩියි. දහම් පාසල් සිසු සිසුවියන් සුදෝ සුදු ඇඳුම් ඇඳගෙන පාසල් යනවා අපට
ඉරිදා දවස්වල දකින්න පුළුවන්. අද ධර්මය හදාරණ අය මිසක් රකින අය අඩුයි. අපරාධ
වැඩියි. මේ අපරාධවලට දේශපාලනඥයන් ද හවුල් වන බව කවුරුත් දන්නවා. පාතාලය පවතින්නේ
දේශපාලනඥයන් නිසා. අද රට පාලනය කරන්නේ පාතාල මැරයන් හා දේශපාලනඥයන් යැයි කීම
අතිශයෝක්තියක් නො වෙයි.
දේශපාලනය ඉතා හොඳ රැකියාවක් බවට පත්වෙලා. ඒ තමයි නූතන දේශපාලනය.
බැඳුම්කරයෙන් මුදල් ලැබුණු 118 ගැන කවුරුත් කතා කරනවා. ඒත් එයට පෙරත්
දේශපාලනඥයන්ට පමණක් නොව ඊනියා විද්වතුන්ටත් මුදල් ලැබුණා. සමහර විට ඒ ලැබුණේ
පිටරටින්. එදා ජ වි පෙ ජාතිකත්වයට හැරෙයි කියන බයට එයට විරුද්ධව ඊනියා
විද්වතුන්ටත් නෝර්වේ වැනි රටවලින් මුදල් ආධාර ලැබුණා. මා නම් ලැයිස්තු ඉදිරිපත්
කරන්නේ නැහැ. අද ජ වි පෙරමුණ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වන්නේ නැහැ. ඔවුන්
සෘජුව ම විජාතිකත්වය සමග. අද ජනතා සන්තක දේත් විකුණනවා.
මේ දේශපාලනයෙන් ඉවත්ව ජාතිකත්ව දේශපාලනයකට යෑමට කාලයයි. අඩු තරමෙන්
බෞද්ධයන් පන්සිල් රකින්න පුරුදු වෙන්න ඕන. සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවීම
ජාතිකත්ව දේශපාලනයේ අරමුණ වෙන්න ඕන. ජනවාර්ගිකයන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත්වෙන්න
පුළුවන් සිංහල බෞද්ධ රාජ්‍යයක. බටහිර ක්‍රිස්තියානි රටවල්වල ඇති අයිතීන් ගැන
කතාකරන්න එතරම් දෙයක්
නැහැ.