සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස
මෙරට දේශපාලනය අද අන්තිම තැනකට ඇද වැටිලා. ඒ ඒ දේශපාලනඥයන් පමණක්
නොවෙයි ඔවුන් වටා සිටින්නන් ද කියන කරන දේ බොහෝ දෙනකුට විශ්වාස නැහැ. හැමතිස්සෙ ම
වගේ බලන්නෙ යමකු මේ කරන්නෙ මොකක් ද කියන එක වෙනත් විධියකට තේරුම් ගන්න පුළුවන් ද
කියන එක. එක්තරා විධියකින් ඒ සංයුක්ත හිතළු තැනීමක්. සමහර විට ඒ හිතළු හරියන්නත්
පුළුවන්.
ඥානසාර හාමුදුරුවන්ගෙ ක්‍රියා ගැනත් එක එක කතා කියනවා. මට ඕන කෙළෙ ඒ
කතා ගැන කතා කරනවාට වඩා මෙරට භික්‍ෂූන් වහන්සේට හිමි තැන ගැන කතාවක් පටන් ගන්න. මා
නමෝ විත්තියෙන් ම කිව්ව ඥානසාර හාමුදුරුවන්ගෙ දේශපාලනය සමග මා එකඟ නොවන බව.
ඥානසාර හාමුදුුරුවන්ට ජම්පරය ඇන්දවීම තදබල වරදක්. සමහරුන් අහලා
තිබුණා දැනටත් බන්ධනාගාරගත ව සිටින භික්‍ෂූන් වහන්සේට ජම්පරය ඇන්දවීම ගැන කතා කෙළේ
නැත්තෙ ඇයි කියලා. එයට හේතුව ඒ සිද්ධි සමාජයේ අවධානයට ලක් නොවීම. සමාජයේ අවධානයට
ලක් නොවුණු ප්‍රශ්න මහා විශාල තොගයක් ඇති. ඒ වගේ ම අවධානයට ලක්වෙලා ඒත් සාකච්ඡාවට
බඳුන් නොවන ප්‍රශ්නත් ඇති. ඥානසාර හාමුදුරුවන්ගෙ ප්‍රශ්නය සමාජයේ කතා කරන්න පටන්
ගත්ත.
ඇතැම් මතයකට අනුව භික්‍ෂුන් වහන්සේ නමක් දින හතක් චීචරයෙන් ඈත්ව
සිටියහොත් ගිහියකු බවට පත් වෙනවා. ඇතැම් මතයකට අනුව එහෙම වෙන්නෙ නැහැ. ඒ කුමක්
වුවත් ප්‍රශ්නය භික්‍ෂූන් වහන්සේ කෙනකු බන්ධනාගාරගත කළ විට ජම්පරය ඇන්දවිය යුතු ද යන්න. මා තර්ක
කරන්නේ ගිහියකුට, බන්ධනාගාර කොමසාරිස් ද ගිහියෙක් (සියළු
කොමසාරිස්වරු ද ගිහියෝ ය), එය කළ නොහැකි ය යන්නයි. අද වන තුරු එය
වෙලා තියෙනවා නම් එය දැන්වත් නතර කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීති සකසා ගැනීමට
පාර්ලිමේන්තුවට පුළුවන්. ඥානසාර
හාමුදුරුවන් නිසා ප්‍රශ්නය මතු වුව ද එය
සියළු භික්‍ෂූන් වහන්සේගේ ප්‍රශ්නයක්.
මෙරට සියල්ලන් ම රාජ්‍ය නීතියට යටත් වෙන්න ඕන. විවිධ නීති විවිධ අයට
තියෙන්න බැහැ. තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය ආදී වශයෙන් නීති
තියෙන්න බැහැ. ඒ ඒ අයගෙ ආගම්වල විනයට ඒ ඒ අය වෙන ම යටත් වෙන්න ඕන. ඒක පෞද්ගලික ප්‍රශ්නයක්.
ඕන නම් ආගමක් නැතිව වුණත් ඉන්න පුළුවන්. ඒත් කිසිවකුටවත් කියන්න බැහැ මට රාජ්‍ය
නීතිය වලංගු නැහැ කියලා. නීතිය සියල්ලන්ට ම එක හා සමාන ව ක්‍රියාත්මක වන්නේ නැහැ.
ඒ වර්තමාන නීතිය වූ රෝම ලන්දේසි නීතිය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ නිසා.
ඥානසාර හාමුදුරුවන් නීතියට අනුව වරදක් කර තිබෙනවා. එයට දඬුවමක් ද තී තිබෙනවා. ප්‍රශ්නය
දඬුවම විඳින්නෙ කොහොමද කියන එක. එය බුද්ධ චීවරය පිළිබඳ ප්‍රශ්නයක්.
ඥානසාර හාමුදුරුවන්ගෙ ප්‍රශ්නය ගැන ඇතැමුන් සැක පහළ කරන්න හේතු
තියෙනවා. ඒ හාමුදුරුවො උසාවියේ ඒ අන්දමට හැසුරුණෙ මොක ද? දී ඇති දඬුවම ඒ වරදට දිය හැකි උපරිම දඬුවම ද? එයට වඩා අඩු දඬුවමක් දීමට තිබුණා ද? ඔය තරම් ඉක්මනට නඩුව විභාග කර තීන්දුවක් දුන්නේ
කෙසේ ද? වෙනත් නඩු කල් යන්නෙ මොක ද? ඥානසාර හාමුදුරුවන්ට ඇප ඉල්ලීමට සිටි දවසේ
නීතිපති දෙපාර්තමේන්තුව උසාවියට නොපැමිණියේ ඇයි? ඒ ප්‍රශ්න අසන්නේ ප්‍රධාන වශයෙන් ම මා කලින් සඳහන් කළ සැකය නිසා.
ඒ අතර තවත් සෘජු දේශපාලන ප්‍රශ්නත් තියේවි. ඥානසාර හාමුදුරුවන්
වීරයකු කරන්න යනවා ද? යම්කිසි ඇමතිවරයකු උන්වහන්සේ මගින්
සිංහල බෞද්ධ ඡන්ද කැඩීමට යනවා ද? විදේශීය
බලවේග උන්වහන්සේ පිටුපස සිටිනවා ද? ආණ්ඩුව
වෙනත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරුව ජනතාවගේ අවධානය මේ ප්‍රශ්නයට යොමු කරනවා ද?
ඥානසාර හාමුදුරුවන් ජම්පරය ඇඳ සිටින ඡායාරූප
ගත්තෙ කවුද? බන්ධනාගාරය තුළ ම ඒ ඡායාරූප ගත හැක්කේ
කාට ද? එය සමාජ මාධ්‍ය ජාලවලට නිකුත් කෙළේ කවු
ද? ඒ ව්‍යාජ පින්තුර ද? මේ ප්‍රශ්න සියල්ලට ම හා තවත් ප්‍රශ්නවලට
පිළිතුරු රාශියක් තියේවි. ඒ ගැනත් කතා කළාට කමක් නැහැ.
එහෙත් අද ප්‍රශ්නය විය යුත්තේ භික්‍ෂූන් වහන්සේ බන්ධනාගාරගත කළ විට
ජම්පරයක් ඇන්ද වීමයි. බන්ධනාගාරයේ දී විවිධ අයට විවිධ සැලකිලි ලැබෙනවා. ඒ බව
නොදන්නවා සේ සමහරුන් ඉන්නවා. ඒ සඳහා නීති ද තිබෙනවා. එහෙමත් නැත්නම් නීතියෙන්
රිංගන්න පුළුවන්කමත් තියෙනවා. අසනීපයෙන් පසුවන අයට සලකන විධියක් තියෙනවා.
භික්‍ෂූන් වහන්සේ අසනීපයෙන් පසුවන්නේ නැහැ. එහෙත් උන්වහන්සේලාට නිසි
ඇඳුමක් (චීවරයක්) තියෙනවා. එය සකස් කරන ආකාරයත් බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා.
අද එය ඒ ආකාරයෙන් ම සකස් නොවනවා වෙන්න පුළුවන්. එහෙත් තවමත් සිවුරු මහණ ක්‍රමයක්
තියෙනවා. චීවරය අවුරුදු දෙදහස් පන්සියකට වඩා පරණයි. එපමණ පැරණි ඇඳුම් තව කීයක්
ලෝකයේ තිබුණත් නැතත් අප කතා කරන්නේ පරණකම ගැන නොව බුද්ධ චීචරය ගැනයි.
අද එය ඉවත් කෙරෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ අබෞද්ධයන් සකස්
කළ නීතියකට (සිරිතකට) අනුව. අපට ඒ නීතිය (බන්ධනාගාර ආඥාපනතේ තියෙනවා නම්) මේ සිංහල
බෞද්ධ රටේ වෙනස් කරන්න බැරි නම් අපට ලැබී ඇතැයි කියන කෙහෙල්මල් නිදහස කුමක් ද?
අප දිගින් දිගට ම ක්‍රිස්තියානි නීතියකට හරි
සිරිතකට හරි යටත් විය යුතු ද? පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධ මන්ත්‍රී
සංඛ්‍යාව 118ට
හරි 113ට හරි අඩු ද?