Main Logo

Monday 11 June 2018

රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කර හදන ආණ්ඩුව

රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කර හදන ආණ්ඩුව


රනිල් ඉවත් කර මහින්ද හෝ මහින්ද අනුමත කරන අයකු හෝ අගමැති වශයෙන් පත් කර ඇති කරන ආණ්ඩුව ගැන විස්තර මේ ලිපිවල කලින් සඳහන් කර ඇති. ඒ නැවතත් සඳහන් කළ යුත්තේ විග්නේස්වරන්ගේ නැටිලි නැවැත්වීමට එවැනි ආණ්ඩුවක් අවශ්‍ය නිසයි. අද විග්නේස්වරන් හමුදාවට ඉඩම් ලබා දීමට බලය ඇත්තේ පළාත් සභාවලට යැයි කියනවා. හමුදා ඛණඩ නවයක් පළාත්වල ඇති කළ යුතු ය කියා කියනවා.


මේ දහතුන්වැනි සංශෝධනයේ ඉඩම් හා පොලිස් බලතල පළාත් සභා අතට ගත යුතු යැයී කීමක්. ඔහු දන්නවා මේ බලතල ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ එක් පැත්තකින් ඉඩම් සම්බන්ධ අධිකරණ තීන්දුවක් තිබෙන නිසාත් අනෙක් පැත්තෙන් විධායක බලතල සහිත ජනාධිපතිවරයකු සිටින නිසාත්. ඒ වගේ ම උතුරු පළාතේ පන්සල් තැනීම තහනම් කරන්නත් ඔහු කටයුතු කරනවා. ලංකාවේ කිසිම පෙදෙසක පන්සලක් තැනීමට කාගෙන්වත් (කිසිම ආයතනයකින්) අවසර ගත යුතු නැහැ. එහෙත් අනෙක් ආගමික සිද්ධස්ථාන තැනීමට 1892 දී පනවන ලද ආඥාවක් මගින්  ආණ්ඩුකාරයාගේ අවසරය ගත යුතු බව ඉංගිරිසි ආණ්ඩුකාරයා නියම කර තිබෙනවා.

අද පවතින්නේ සිංහල බෞද්ධයන්ගේ පැත්තෙන් බැලූ කල ඉංගිරිසි ආණ්ඩුවටත් වඩා ද්‍රෝහී ආණ්ඩුවක්. ඒ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව. එය දෙමළ ජාතිවාදීන්ට ඕනෑ එකක් කරන්න ඉඩ දී බලා සිටිනවා. අද කොටි සමරන්නේ ඔවුන්ගේ ඥාතීන් පමණක් නො වෙයි. එය දේශපාලනික කටයුත්තක් බවට පත්වෙලා. ජ වි පෙරමුණත් මිනී මැරූ බව ඇත්ත. ඔවුන් තමයි දේශපාලන බලය මිනී මැරීමෙන් ගන්න ඕන කියන එක ඉංගිරිසින්ගෙන් පස්සෙ රටට කියා දුන්නෙ. කොටි සංවිධානය මුල දී අනුගමනය කෙළෙ ජ වි පෙරමුණයි. එහෙත් ඒ මිනීමරු සංවිධාන දෙකේ වෙනසක් තිබුණා. ජ වි පෙ මිනීමැරුවෙ ඔවුන් දැක්ක විධියට මාක්ස්ගෙ කිසි දිනෙක වලංගු නොවුණු ඓතිහාසික භෞතිකවාදය (ද්‍රව්‍යවාදය) අනුව ධනපති රාජ්‍යය පෙරළන්න.

කොටි සංවිධානය මිනී මැරුවෙ වෙන ම රාජ්‍යයක් පිහිටුවන්න. වෙන ම රාජ්‍යයක් පිහිටුවන්න මිනී මැරූවන් සමරන්න ආණ්ඩුව අවසර දීලා තියෙන්නෙ. අද රනිලුයි අනුර කුමාරයි එකතු වෙලා විසිවැනි සංශෝධනය ගෙනෙන්නෙ දෙමළ ජතිවාදීන්ට ඉඩම් හා පොලිස් බලතලත් තවත් බලතලත් දෙන්න. මෛත්‍රිපාලගෙ ආණ්ඩුවට බැහැ රනිල්ගෙ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන්න. මෛත්‍රිපාලගෙන් විස්ස ගැන ඇහුව ම තවම දැක්කෙ නැහැ කියනවා. මෛත්‍රිපාලට විස්ස කෙටුම්පත ගෙන්න ගෙන කියවන්න තරම්වත් බලතල නැද්ද? කාට හරි පුළුවන් ද මෛත්‍රිපාලට විස්සෙ කෙටුම්පතක් යවන්න. මෛත්‍රිපාල වහාම විස්ස ගැන තම ස්ථාවරය ප්‍රකාශ කරන්න ඕන.

නිවට කරණවෑමියා දුටුව ම එළුවත් කියනවලු රැවුල බාන්න කියලා. විග්නේස්වරන් කියන්නෙ තමන්ගෙ දේශපාලන රැවුල බාන්න කියලා නො වෙයි. රැවුල තවත් දික් කරන්න, වවන්න කියලා. මෛත්‍රිපාලගෙ ආණ්ඩුව නිවටයි ඒ නිසා රනිල්ගෙ ආණ්ඩුව තමන්ට ඕන කරන විධියට වැඩ කරනවා. මෙහෙම ගියොත් විග්නේස්වරන්ගෙ අවසර නැතිව බෞද්ධයන්ට නාගදීපෙ වන්දනා කරන්න බැරි වේවි. රනිල් වහාම ඉවත් කළ යුත්තේ ඔහුගෙ ආණ්ඩුව යටතේ දෙමළ ජාතිවාදීන් තව තවත් බලතල අත් කර ගන්නා නිසයි. එමෙන් ම එට්කා වැනි ගිවිසුම් හොර පාරෙන් සම්මත කර ගන්නා නිසයි. කෙටියෙන් කියතෙත් උතුරු පළාත දෙමළ ජාතිවාදීන්ට නොමිළේ දී රටේ ඉතිරි පළාත් විජාතිකයන්ට විකුණන නිසයි.

රනිල් ඉවත් කරන්න මෛත්‍රිපාලට විධායක බලතල තිබුණත් අවශ්‍ය ශක්තිය නැහැ. අප මුල  ඉඳල ම කිව්වෙ මේ අවශ්‍ය ශක්තිය මෛත්‍රිපාලට දෙන්න කියා. එහෙත් ඊනියා ජාතික චින්තකයන් ද එහි දී මට විරුද්ධ වුණා. ඔවුන් මට සිරිජාතිකවාදියා කිව්ව. මට ටොකු ඇන්න. ඔවුන් කිව්වෙ රනිල් හා මෛත්‍රිපාල රංගනයක යෙදෙන බව. ජනමාධ්‍ය ප්‍රධානීන් මා ගේම් කාරයකු ලෙස හැඳින්නුවා. ඔවුන්ට අනුව මේ ආණ්ඩුවේ පව් කරගහන්න අවශ්‍යතාවක් නැහැ. කළ යුත්තේ 2019/2020 සඳහා සංවිධානය වීමයි.

අප කියා සිටියේ රනිල් හා ඔහුගෙ ආණ්ඩුව ඉවත් කර පිහිටුවන ආණ්ඩුව මේ ආණ්ඩුව නොවන බවයි. අප කිසි විටෙකත් කිව්වෙ නැහැ මේ ආණ්ඩුව දිගට ම ගෙනියන්න කියලා. ඒ විතරක් නොවෙයි පිහිටුවන ආණ්ඩුව ගැනත් අප කිව්වා. එය භාරකාර ආණ්ඩුවක් වැන්නක් විය යුතු බවත් අප එකල ම කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ භාරකාර ආණ්ඩුවක් කියන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරි දවසෙ ඉඳන් මැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පත් කර ගන්නා තෙක් ක්‍රියාත්මක වන ආණ්ඩුවකට. අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් භාරකාර ආණ්ඩුවක් අද පිහිටුවන්න බැහැ. අද කළ හැක්කේ භාරකාර ආණ්ඩුවක් වැනි ආණ්ඩුවක් පිහිටුවීම බව අප ලිපි කිහිපයකින් ම කිව්වා.

භාරකාර ආණ්ඩුව වැනි ආණ්ඩුවකට දෙමළ ජාතිවාදය පරාද කරන්න කටයුතු කරන්න පුළුවන්. විග්නේස්වරන්ගෙ දේශපාලන රැවුල කපන්නත් පුළුවන්. එට්කා වැනි ගිවිසුම් නැති කරන්නත් පුළුවන්. උතුර හැරෙන්න රටේ අනෙක් කොටස් විජාතිකයන්ට විකුණන එක නවත්තන්ත් පුළුවන්. උතුරු පළාත දෙමළ ජාතිවාදයට යට කරන එකට වැට බඳින්නත් පුළුවන්. ජීවන වියදම අඩු කිරීමට පියවර ගන්නත් පුළුවන්.

මට තියෙන ප්‍රශ්නය අද එවැනි භාරකාර සම ආණ්ඩුවක් පිහිටුවන එකට හරස් වන්නෙ කවුද කියන එකයි. ඔවුන් කවුරුන් වුවත් කරන්නෙ සිංහල බෞද්ධ ද්‍රෝහි ක්‍රියාවක්. ඔවුන් අවසාන වශයෙන් ගත් කල රනිල්ගෙ විජාතික ආණ්ඩුව පවත්වාගෙන යන්නන්.