Main Logo

Saturday 23 June 2018

ඥානසාර හාමුදුරුවන් නිසා මතු වූ ප්‍රශ්නය






ඥානසාර හාමුදුරුවන් නිසා මතු වූ ප්‍රශ්නය



මේ ලිපියෙන් නම් කිසිම වැඩක් වෙන එකක් නැහැ. ඒ කියන්නෙ අනෙක් ලිපිවලින් වැඩක් වෙනව කියන එක නොවෙයි. ජාතික ව්‍යාපාරයෙ ඉන්න  පූජ්‍ය පක්‍ෂය මෙන් ම දැවැන්ත ගිහි නායකයන් ද මේ ලිපි කියවන්නේ නැහැ. ඔවුන්ගේ වෙබ් අඩවිවල මේ ලිපියක් පළවෙන්නෙ නැහැ. එහෙත් ඔවුන්ට ඉඳහිට මතක් වෙනවා මා ජීවත්ව ඉන්න බව. එතකොට ඔවුන් යුතුකමට වගේ ලිපියක් මට විද්‍යුත් තැපෑලෙන් එවනවා. මගේ මනුස්සකමක් නැතැයි කියමින් ලිපියක් එවන්නෙ අහවල් දේකට ද කියලා හිතෙනවා.




ඥානසාර හාමුදුරුවන්ට ඇප ලැබිලා. එය නාටකයක් වෙන්නත් ඇති. එහෙත් නාටකවලින් ඡන්ද ගැනීම හරි කැඩීම හරි පහසු කාර්යයක් නො වෙයි. ජාතික හෙළ උරුමය ඒ බව ඔප්පු කරලා තියෙනවා. කොහොමටත් මා ඥානසාර හාමුදුරුවන්ගෙ දේශපාලනයට විරුද්ධයි. ඒ කතා කරන වචන නිසා නම් නො වෙයි. උන්වහන්සේගේ දේශපාලනයෙන් ජාතික ව්‍යාපාරයට යහපතට වඩා අයහපතක් වෙලා තියෙන්නෙ.



ඒ වුණත් උන්වහන්සේ බන්ධනාගාරගත කළ අවස්ථාවෙ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ චීවරය ද ජම්පරය ද යන්න. එයට කලිනුත් භික්‍ෂූන් වහන්සේ බන්ධනාගාරගත වී ඇති නමුත් ඒ ප්‍රශ්නය ජනතාව ඉදිරියට ආවෙ නැහැ. ඥානසාර හාමුදුරුවන්ට ඇප ලැබීම නිසා අර ප්‍රශ්නය නැති වන්නේ නැහැ. කලින් බන්ධනාගාරගත වූ භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ප්‍රශ්නය මතු නූනත් දැන් ප්‍රශ්නය මතුවන්නේ දැනට හා අනාගතයේ බන්ධනාගාර ගත වී/ වීමට ඇති භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන්.



ප්‍රශ්නය බන්ධනාගාරගත වූ භික්‍ෂූන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කර ජම්පරය ඇන්ද විය හැකි ද යන්න. තලතා නෝනා නම් කිව්වෙ නීතිය හැමෝට ම එක ලෙස සලකන බවත් බන්ධනාගාර ආඥාපනත අනුව සිරකරුවන් තරාතිරම නොතකා ජම්පරය ඇඳිය යුතු බවත්. නීතිය ඉදිරියේ සියල්ලන් ම සමානය යන්න මිථ්‍යාවක්. අර ඇස් බැඳගෙන තරාදියක් උස්සා ගෙන ඉන්න කාන්තාවට තරාතිරම ආදිය පෙනෙන්නෙ නැතිලු.



ඔය නීතිය ඇති කෙළේ බටහිර ක්‍රිස්තියානීන්. ඇස් බැන්දට වේදක (සෙන්සර්) තියෙනවා. අපට කියනවා ඇස් බැඳලා කියලා. එහෙත් වේදක මගින් සියල්ල බලාගන්න පුළුවන්. ඔය නීතිය ක්‍රියාත්මක වන්නෙ බටහිර සුපිරිව්‍යුහ සංස්ථාපනයට පක්‍ෂපතීව. දැනුමේ සාපේක්‍ෂ බව නොපිළිගන්නා පඬියන් මේ කතාව පිළිගන්නේ  නැහැ. සංස්ථාපනයෙන් බිහිකෙරුණු ඔවුන් ඒ බව කෙසේ පිළිගන්න ද?



ඊයේ මුතුකුඩ නාට්‍යය අවසන් වුණා. අපේ නිදහස වෙනුවෙන් සටන් කළ සියලු දෙනා ම වරදකරුවන් වුණා. අන්තිම ටිකත් මුරුසියට පිටත් කළා. ඒක වෙන්නෙ කොහොම ද? මෙරට නිදහස වෙනුවෙන් සටන් කළ අය කර ඇත්තේ වැරැද්දක් ද? ඔවුන් වරදකරුවන් වුණේ කාගේ නීතියකින් ද? අපරාදෙ කියන්න බැහැ සුදු මහත්තුරු හරි මානුෂිකයි. ඔවුන් අවසානයේ දී විත්තිකරුවන්ගෙන් අහනවා තමන්ට කියන්න මොකුත් තියෙනවා ද කියලා!



දැන් පඬියකු අහන්න පුළුවන් දෙමළ ත්‍රස්තවාදීන් වෑරදිකරුවන් වුණෙ කොහොම ද කියලා. ත්‍රස්තවාදීන් සටන් කෙළෙ සිංහල අධිරාජ්‍යවාදයට විරුද්ධ තම නිදහස වෙනුවෙන් කියලා. ඔතන තමයි මෑත ඉතිහාසයෙ ලොකුම පරස්පරය තියෙන්නෙ. මෙරට දෙමළ ජාතිවාදය ඇති කෙළෙ බටහිරයන්. ඉනුත් ඉංගිරිසින් ප්‍රධානයි. ඒ බව අප අනන්තවත් ලියලා ඇති. අනන්තවත් කියන්නෙ අනන්ත වාරයක් නොවන බව පඬියන් නොදන්නවාට සිංහල ව්‍යවහාරය දන්නා ගැමියන් දන්නවා. ඒ අතර සමහර පඬි පෝතකයන් කියන්නෙ අප බටහිරයන් ගැන අවශ්‍ය ප්‍රමාණයට කියන්නෙ නැහැ කියලා.



ඉංගිරිසින් ඇති කර ඉන්දියාව ද පෝෂණය කළ දෙමළ ත්‍රස්තවාදීන් ඉංගිරිසි (රෝම ලන්දේසි) නීතිය යටතේ ම වැරදිකරුවන් වෙලා. ඔවුන් හමුදා මෙහෙයුම් මගින් (යුද්ධයෙන් නොවෙයි) පරාජය කෙරුණා. මේක ඉංගිරිසින්ට විඳ දරාගන්න බැහැ. රෝම ලන්දේසි නීතිය හරියට ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක තමයි එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් කියන්නෙ. ඒ නිසා තමයි ඔවුන් දැන් තම නීතිය නවලා ජෙනීවා හරහා ත්‍රස්තවාදීන් නිදහස් කිරීමටත් රණවිරුවන්ට දඬුවම් දීමටත් කටයුතු කරන්නෙ. ඊනියා දෙබිඩි අධිකරණ හදන්න ලැහැස්ති වෙන්නෙ. ඒ නීතිය අවසානයේ දී සංස්ථාපනයෙන් පණවන නිසා. ඒ අතර ස්වාමිනාදන් හදනවා ත්‍රස්තවාදීන්ට වන්දි ලබාදෙන්න.          



ඒ කොහොම වුණත් මෙරට නීතිය ක්‍රියාත්මක වන්නෙ වඩාත් ම බෞද්ධයනට එරෙහි ව. භික්‍ෂූන් වහන්සේගේ චීවරය දැරීම පිලිබඳ බෞද්ධ විනයක් සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය හා තලතා නෝනගෙ නීතිය ගැටෙනවා. බන්ධනාගාර ආඥාපනත සුද්දන්ගෙ වැඩක්. ඒක වෙනස් කරන්න රනිල්ගෙ ආණ්ඩුවට බැරි නම් කරන්න තියෙන්නෙ වහාම තලතා නෝනත් එක්ක ම රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කරන එක. මෙරට බෞද්ධ සම්ප්‍රදාය, බුදුහාමුදුරුවන්ගෙ විනය සහ යුදෙව් ක්‍රිස්තියානි නීතිය ගැටෙන විට පිළිගත යුත්තේ කුමක් ද? වෙනස් කළ යුත්තේ කුමක්ද? පඬියන් බුදුහාමුදුරුවන්ගෙ විනය වෙනස් කරන්න ඕන කියලා කියන්න බැරි නැහැ. රාජ්‍ය නොවන ගැත්තන් බටහිර මතවාද වෙනුවෙන් සංස්ථාපනය වෙනුවෙන් පෙනී සිටින්න ඕන. නීතියේ සාපේක්‍ෂ බව නොපිළිගන්නා ඔවුන් දැනුමේ සාපෙක්‍ෂතාව කවදා පිළිගනීවි ද?