Main Logo

Tuesday 19 June 2018

අහෝ තලතා නොදිටි මොක්පුර


අහෝ තලතා නොදිටි මොක්පුර



තලතා අතුකෝරාළ කියන්නෙ තවත් තලතා දේවියක් නොවන බව කවුරුත් දන්නවා. මේ ලිපියට පදනම් වන්නේ තලතා අතුකෝරාළ කීවා යැයි කියන කරුණක්. වාර්තාවලට අනුව ඇය කියා තියෙනවා බෞද්ධ ධර්මයේ ඇති දේ නීතියට එකතු කළ නොහැකි බවත් බන්ධනාගාර නීතියට (ආඥාපනතට)  අනුව සිරකරුවන් ජම්පරය ඇඳිය යුතු බවත්.




මේ ලිපිය තලතා අතුකෝරාළට තබා මෙරට විශ්වවිද්‍යාලවල ඉන්නවා කියන උගතුන්ටවත් තේරෙන එකක් නොවෙයි. මුහුණු පොතේ පඬියන්ට නම් කොහොමටවත් තේරෙන්නෙ නැහැ. මෙරට තරම් මෝඩ උගතුන් ලෝකෙ කොහේවත් නැතිව ඇති. මෙය තලතා අතුකෝරාළගෙ කියමනක් ලෙස වාර්තා වී ඇති කරුණක් පදනම් කරගෙන කල්පනා කිරීමට හැකි අයට ලියන ලිපියක් පමණයි. නොතේරෙන අයට සුපුරුදු විධියට මුහුණු පොතේ ප්‍රතිචාර දක්වන්න පුළුවන්.



ඥානසිරි හිමියන්ගේ දේශපාලනයෙහි ඇති වෙනස්කම් නොසලකා ජාතිකත්වයක් ගැන කතා කරන පිරිසෙන් බහුතරයක් උන්වහන්සේ වටා එකතු වීම වැදගත්. එයින් පෙනෙන්නේ අද රටේ ජාතිකත්වය යම් ප්‍රමාණයකට පැතිරී ගොස් ඇති බවයි. ඒ ගැන අපට සතුටු වන්න පුළුවන්.



බෞද්ධ ධර්මයේ ඇති දේ කිසිම රාජ්‍ය නීතියකට ඇතුළත් කරන්න බැහැ. තලතා අතුකෝරාළ ඒ අතින් හරි. එහෙත් බුදුදහම මත පදනම් වූ නීතියක් රටට තියෙන්න පුළුවන්. අද තියෙන්නෙ ක්‍රිස්තියානිය මත පදනම් වූ නීතියක්. තලතා අතුකෝරාළට ඒක නම් තේරෙන එකක් නැහැ. අද තියෙන නීතිය විතරක් නොවෙයි සමස්ත දැනුම ම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි සංස්කරණය කරන ලද්දක්. නීතිය ඇතුළු දැනුම රික්තයක ඇති වන්නක් නොවන්නයි. ඒ සියල්ල යම් චින්තනයක් පදනම් කරගෙන යම් සංස්කෘතියක සංස්කරණය වන දේ.



මේ සතියේ (ජූනි 16) නිව් සයන්ටිස්ට් සඟරාවේ ලිපියකින් කියන්නේ ජීවයේ තොටිල්ල තිබුණු ප්‍රදේශය ගැන. ඒ කියන්නේ ජීවය ඇති වුණේ පෘථිවියේ කොතැන ද කියලා. ඒ වගේ ම තමයි ඩාවින්ගෙ පරිණාමවාදය අනුව මිනිසුන් ඇති වෙලා තියෙන්නෙත් එක තැනක. ඒ අප්‍රිකාවෙ කියලා හිතනවා. මෙහි පටන් ගැන්මක් තියෙනවා. රේඛාවක මෙන් සිදුවන විකාශයක්, පරිණාමයක් ගැන කියනවා. අනන්‍ය ආරම්භයක් රේඛීය චින්තනයේ පරිණාමයක්  ගැන කියනවා. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේත් ආරම්භයක් රේඛීය විකාශයක් තියෙනවා.



බටහිර විද්‍යාවෙ මහා පිපිරුම කියලා එකක් ඉගැන්වෙනවා. විශ්වය මෙයට අවුරුදු බිලියන 13.7කට ඉහත ඉබේ ම කිසිම දෙයක් නැතිව කිසිම හේතුවක් නැතිව එක ලක්‍ෂ්‍යයක ප්‍රාදුර්භූත වුණා කියලා කියනවා. එතැන ඊනියා දාර්ශනික හේතුවාදයක්වත් ආනුභාවිකත්වයක්වත් නැහැ. දෙවියන් වහන්සේ ලෝකය මැවී යයි කියන කතාව හා මහා පිිපිරුම කතාව අතර ඇති එකම වෙනස දෙවියන් වහන්සේ නැති එක විතරයි. මැවුවත් නැතත් මැවීමක් තියෙනවා. රේඛීය කතාවක් තියෙනවා. දෙවියන් වහන්සේ අවසානයේ මිනිසා මවනවා. බටහිර විද්‍යාව මහා පිපිරුමෙන් පටන්ගෙන අප්‍රිකාවේ මිනිසාගේ පහළවීම දක්වා කතාවක් කියනවා. එතැනින් එහාටත් බයිබලයේත් බටහිර විද්‍යාවේත් කතාව සමාන්තර ව යනවා. මෝසෙස්ට සමාන්තර ව ඊනියා කම්කරු පංතිය ඉන්නවා.



දෙවියන් වහන්සේ කියා යම් දෙවි කෙනකු යුදෙව් අනාගත වක්තෘන්ට කියපු කතාවක්, ග්‍රීක ස්වසිද්ධාත්මක ක්‍රමය, ක්‍රිස්තියානි ජුසේ පූදකවරුන්ගේ කැප කිරීම ආදිය තමයි ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ පදනම. සමහර විට දෙවියන් වහන්සේ නිර්මාණරතියෙ දෙවි කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ කතාව ඊනියා විද්‍යාඥයන් මාක්ස්වාදීන් ඇතුළු ද්‍රව්‍යවාදීන් පිළිගන්නෙ නැති බව මා දන්නවා. එහෙත් දැනට යම් ප්‍රමාණයක් මේ කතාව පිළිගන්නවා.



තලතා අතුකෝරාළ කිසි දිනෙක දැන ගත්තෙ නැතත් අද මේ රට ක්‍රිස්තියානි රාජ්‍යයක්. එහි ඇත්තේ ක්‍රිස්තියානි රෝම ලන්දේසි නීතිය ඒ නීතිය බුදුදහම මත පදනම් නූනත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් යම් දෙයක් නීතියට එකතු කරන්න පුළුවන්. බුදදහමේ තියෙන දේ රෝම ලන්දේසි නීතියට එකතු කරන්න නම් බැහැ. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය හා රෝම ලන්දේසි නීතිය ගැටෙන තැනක නීතිය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා.



බන්ධනාගාරගත වූ භික්‍ෂූන් වහන්සේ නමකට ජම්පරය ඇන්දවීම එක් අවස්ථාවක්. තලතා දේවිය නොවන තලතා නෝනා (නෝනාලාට නෝනා කියන එකේ වැදගත්කම මට දැනුයි තේරුණේ. නෝනා කියන්නෙ මා හිතන්නෙ ලන්දේසීන්ගෙන් අපට ලැබුණු වචනයක්. නෝනාලා මහගෙලාට හාමිනෙලාට උපාසක අම්මලාට වෙනස්. ඒ සංස්කෘතික ප්‍රශ්නයක්) බන්ධනාගාර ආඥාපනත ගැන මතක් කරලා. ඔය ආඥා පනත රෝම ලන්දේසි නීතියෙ හදපු එකක්. ඒකෙ භික්‍ෂූන් වහන්සේ බන්ධනාගාර ගත කළොත් පිළිපැදිය යුතු කරුණු නැහැ.



මා දන්නේ නැහැ බන්ධනාගාර ආඥා පනතෙ හිරකරුවන්ගෙ ඇඳුම ගැන කියල තියෙන්නෙ මොකක් ද කියලා. ඒක හැම හිරකාරයාට ම පොදුය කියලා තියෙනවා ද දන්නේ නැහැ. එහෙම තිබුණත් භික්‍ෂූන් වහන්සේ කෙනකු චීවරයෙන් පිටත දින හතක් හිටියයොත් භික්‍ෂූත්වය අහෝසි වෙනවා නම් මේ සමා කර ගත හැකි ඇවැතකට භික්‍ෂූත්වය නැති කිරීමට ලන්දේසීන්ට (බන්ධනාගාර කොමසාරිස්ට) පුළුවන් ද? තලතා නෝනාට කරන්න තියෙන්නෙ බන්ධනාගාර ආඥා පනත අනුව හැම හිරකාරයාට ම ජම්පරය ඇන්දවිය යුතු නම් (එහෙම ද කියලා දැන ගන්න මට එකී ආඥාපනත කියවන්න ලැබුණෙ නැහැ) ඒ වගන්තිය භික්‍ෂූත්වය අහෝසි වුණත් නැතත් භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් වෙනස් කරන එක. මේ සිංහල බෞද්ධ රටේ ඒක කරන්න බැරි නම් මෙය සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවුණත් ඇති වැඩේ මොකක් ද? තලතා නෝනාට හරි අනුර කුමාරට හරි වෙනත් කෙනකුට හරි පෞද්ගලික මන්ත්‍රී පනතක් ඒ සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් ද? 



එයට කල් යන බව දන්නවා. ඒ නිසා මෛත්‍රිපාල වහාම ඒ ගැන මොකුත් කරනවා ද?