බටහිර විද්‍යාවේ දැනුම
බොහෝ දැන උගත් අය බටහිර විද්‍යාව ගැන සිතන්නේ ඉන් ඉදිරිපත් කෙරෙන්නේ
යථාර්ථය පිළිබඳ ව ඊනියා හොයා ගත් දැනුමක් ය යන්නයි. එහෙමත් නැත්නම් යථාර්ථය දැන
ගැනීමට යන ගමනේ තවත් වැදගත් අවස්ථා බවයි. බටහිර විද්‍යාවේ හොයා ගන්නා දේ පර්යේෂණ පත්‍රිකා මගින් ඉදිරිපත් කෙරෙන බවත්
ඔවුන් සමහරකු කියනවා. අනෙක් අය සමහරවිට පොත්වල ඇති බටහිර විද්‍යාත්මක දැනුම එලෙස
හොයා ගත් දැනුම හැටියටත් ප්‍රකාශ කරනවා.
දැන් මේ කොයි ආකාරයට කිව්වත් යථාර්ථය ගැන දැනුම කියලා කියන්න හරි
යථාර්ථයට ළඟා වෙන දැනුමක් කියන්න හරි කලින් යථාර්ථය ගැන දැනුමක් තියෙන්න ඕන. එහෙම
දැනුමක් තියෙනවා නම් තවත් විද්‍යාවක් අවශ්‍ය වෙන්නෙ නැහැ. යථාර්ථය ගැන දන්නෙ නැතත්
අඩු තරමෙන් යථාර්ථයක් තියෙන බව දැන ගන්න ඕන. ඒ බව දැන ගත්තෙ කොහොමද කියලා ඇහුවම
උත්තරයක් නැහැ. ඒත් ඊනියා ෆැන්ටසි මිථ්‍යා ගැන නම් කතා කරනවා. මට නම් මේ ඔක්කොම
අවිද්‍යාව නිසා සංස්කරණය කරන දේ.
බටහිර විද්‍යාවෙ ප්‍රධාන ධාරාව හා විකල්ප ධාරා රාශියක් තියෙනවා. ඒ
වගේ ම ප්‍රධාන පර්යේෂණ සඟරා හා වෙනත් පර්යේෂණ සඟරා තියෙනවා. පර්යේෂණ සඟරා ගැන
දන්නා උදවිය එංගලන්තයේ පළවන නේචර් සඟරාවත් එක්සත් රාජ්‍යවල පළවන සයන්ස් සඟරාවත් අර
ප්‍රධාන සඟරා අතර ප්‍රධානත්වයෙහි ලා සලකනවා. මේ සඟරාවක පත්‍රිකාවක් පළ කිරීම මහා
දෙයක් ලෙසත් සලකනවා.
එහෙත් මේ සඟරාවල පළ කරන්නෙ
වෙනත් තීරකයන් විසින් අනුමත කෙරෙන පත්‍රිකා පමණයි. ඒ තීරකයන් අනුමත කරන්නේ ප්‍රධාන
ධාරාවෙ විද්‍යාව අනුමත කරන පත්‍රිකා පමණයි. ප්‍රධාන ධාරාවෙ වාටියෙ තියෙන දෙයක් ගැන
ලියන පත්‍රිකාවක් ප්‍රධාන ධාරාව තුළම ලිව්වොත් පළ කරන්න අවස්ථාවක් තියෙනවා. එහෙත්
වෙනත් අදහසක් ඉදිරිපත් කළොත් පළ කරන්නෙ නැහැ. ප්‍රධාන ධාරාවෙ පළ කරන පත්‍රිකා තමයි
ප්‍රධාන විශ්වවිද්‍යාලවල, ප්‍රධාන පර්යේෂණ ආයතනවල පත්වීම් දීමේ
දී සැලකිල්ලට ගන්නෙ. වෙනත් ආකාරයකින් කියනවා නම් බටහිර විද්‍යාවෙ ප්‍රධාන ධාරාව
ආරක්‍ෂා කර ගැනීමට වැඩ පිළිවෙළක් තියෙනවා.
එය ජාත්‍යන්තර සුපිරිව්‍යුහ අධිස්ථාපනයෙන් සිදු වන්නක්. මේ
අධිස්ථාපනයෙ ඉහළින් ලංඩනයේ රාජකීය සංගමය වැජඹෙනවා. වෙනත් රටවලත් ඒ ඒ රටවල ජාතික
බටහිර විද්‍යා ශාස්ත්‍රිය ආයතන හෙවත් ඇකඩමි තියෙනවා. මේ ආයතනවල ඉන්නෙ ඒ ඒ රටවල ඉහළ
ම විද්‍යාඥයන්. ඒ අය බොහෝවිට ආයතනයේ අධිසාමාජිකයන් ලෙස හැඳින්වෙනවා. මෙයට අමතර ව
ඒවාටත් උඩින් නොබෙල් තෑග්ග හා වෙනත් තෑගි තියෙනවා. ලංකාවෙත් නැෂනල් ඇකඩමි ඔෆ්
සයන්ස් කියලා ආයතනයක් තියෙනවා. ඒකෙ තමයි ලංකාවෙ සුපිිරි විද්‍යාඥයන් අධිසාමාජිකයන්
වෙන්නෙ. මා සුපිරි තියා නිකම් ම විද්‍යාඥයෙක්වත් නො වෙයි. මා විද්‍යාඥයෙකු වෙන්න
ගිහින් බැරිව ආපහු ආපු තැනැත්තෙක්.
මේ අධිස්ථාපනය බිඳින එක පහසු දෙයක් නො වෙයි. ඒත් අද අර ප්‍රධාන
ධාරාවෙ සඟරා ඇරෙන්න විකල්ප සඟරාත් තියෙනවා. ඒ සඟරාවල ප්‍රධාන ධාරාවෙ පළ කරන්න බැරි
පර්යේෂණ පත්‍රිකා පළ වෙනවා. මා හිතන්නෙ අද විකල්ප සඟරා සංඛ්‍යාව ප්‍රධාන ධාරාවෙ
සඟරා සංඛ්‍යාවට වැඩියි. ඒත් ඒ විකල්ප සඟරාවලටවත් එහි පළවන පත්‍රිකාවලටවත් ප්‍රධාන
ධාරාවෙ පිළිගැනීමක් නැහැ.
බොහෝ උගත් අය බටහිර විද්‍යාව පිළිබඳ හිතන තරම්
පිරිසිදු බවක් එහි නැහැ. අද එය තවත් බටහිර පන්නයේ ආගමක් බවට පත්වෙලා. එහි පාප්
වහන්සේලා කාදිනල්ලා ආච් බිෂොප්ලා බිෂොප්ලා රාබිලා ඉන්නවා. කොහොමත් බටහිර විද්‍යාව
බිහිවෙලා තියෙන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ, යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්‍ෂ ව.
එයින් කෙරෙන්නෙ දෙවියන් වහන්සේ ලෝකය (විශ්වය) මවල තියෙනවයි කියන ආකාරය තේරුම්
ගැනීම.
ඔය ඊනියා යථාර්ථය කියන්නෙ වෙන එකක් නොවෙයි දෙවියන් වහන්සේ මැවූ ලෝකය
(විශ්වය). බටහිර විද්‍යාව කරනවයි කියන්නෙ මේ යථාර්ථය හොයා ගැනීම. පඬියකු කියන්න
පුළුවන් බටහිර විද්‍යාවෙ දෙවියන් වහන්සෙ නැහැ කියලා. ඒත් හොඳට කියවලා බැලුවෙත්
බටහිර විද්‍යාවෙ ප්‍රධාන ධාරාවෙ තියෙන්නෙ බයිබලයෙ තියෙන කතාව ඊනියා විද්‍යාත්මක
වචනවලින්. ඊනියා මහා පිපුරුම තමයි මැවීම. ඒ මැවීමෙන් පස්සෙ වෙච්ච දේ භෞතික විද්‍යාවෙන්
රසායන විද්‍යාවෙන් ජීව විද්‍යාවෙන් හා අවසානයේ සමාජයීය විද්‍යාවන්ගෙන් කියනවා.
මාක්ස්වාදයේ ඓතිහාසික භෞතිකවාදයත් වැටෙන්නෙ ඒ ගොඩටමයි. මේ විස්තර මා කලින් කියා
ඇති.
බටහිර විද්‍යාවෙ නැත්තෙ දෙවියන් වහන්සේ කියන චරිතය පමණයි. අනෙක්
සියල්ල තියෙනවා. ආරම්භය, රේඛීය විකාශය, සත්ව පරිණාමය පමණක් නොව සමාජවාදය හෝ ලිබරල්වාදය
හෝ යන දෙකත් තියෙනවා. කැමති අයට කැමති එකක් තෝරා ගන්න පුළුවන්. මේ දෙක අන්කිසිවක්
නොව බයිබලයේ පොරොන්දු දේශයයි. අප එතැනට රැගෙන යෑමට මෝසෙස්ලාත් ඉන්නවා. මහා
පිපිරුමේ සිට ලිබරල්වාදය (මොන ඉනිම වුවත්) හෝ සමාජවාදය (අවසන කොමියුනිස්ට් වාදය)
දක්වා ඇත්තේ රේඛීය චින්තනයේ දැනුම.