Main Logo

Saturday 9 June 2018

බටහිර දැනුම කටගා කටමැත දෙඩීම

බටහිර දැනුම කටගා කටමැත දෙඩීම

සිංහල විරෝධී ඊනියා උගතුන් සිංහල දැනුම, සිංහල ඉතිහාසය, බුදුදහම ආදී දේ ගැන විවේචනය කරද්දී යොදා ගන්නා දැනුම කුමක් ද? ඔවුන්ගේ විධි ක්‍රමය කුමක් ද? මේ විධි ක්‍රමය දැන් ඊනියා පර්යේෂණවලත් භාවිතා කරනවා. ඒ පර්යේෂණ ප්‍රශ්නය හඳුනා ගැනීම, මුලාශ්‍ර, ක්‍රමවේදය, සාධක(සාක්‍ෂි), ප්‍රතිඵල, නිගමන ආදී මාතෘකා රැසක් ඔසසේ කෙරෙන්න ඕන. මෙයත් බටහිරයන් කියා දුන් දෙයක්. බටහිරයන්ගෙන් පිට මේ ඊනියා උගතුන්ට කිසිවක් නැහැ.


සිංහල විරෝධී ඊනියා උගතුන් (ඔබේසේකර වැනි) කියාවි ඔවුන් සිංහල විරෝධීන් නොවන බව. ඔවුන් කියාවි ඔවුන් වාස්තවික ව ප්‍රශ්න අධ්‍යයනය හදාරන බව. ඇතැමකු කියන්න පුළුවන් තමන් සිංහල ගුරුවරුන්ගෙ වෙද මහතුන්ගෙ දරුවන් මුණුබුරු මුණුබිරියන් බවත් ඔවුන්ට සිංහල විරෝධී වීමට කිසිම අවශ්‍යතාවක් නැති බවත්. ඒ අවසාන කතාවෙ තිබෙන වාස්තවිකත්වය මොකක් ද කියලා කාට හරි තේරෙනවා ද? ගුරුවරුන්ගෙ වෙදමහත්වරුන්ගෙ දරුවන්ට සිංහල විරෝධී වෙන්න බැරි ද?

කොහොමටත් වාස්තවික කියන එකෙන් මොකක් ද කියන්නෙ කියලා කාට හරි කියන්න පුළුවන් ද? ඒක ඉංගිරිසියෙන් objective කියන එකේ පරිවර්තනය. වාස්තවික වෙන්න පුළුවන් වස්තුවලට විතරයි. ඒ කියන්නෙ හිත් පිත් නැති දේවලට. මේ ඊනියා උගතුන්ට හිත් පිත් නැත් ද දන්නෙ නැහැ. හිත් පිත් ඇති ඕනෑම අයකු යමක් කරන්නෙ මනසත් එක්ක. මනස මොළයේ ක්‍රියාකාරීත්වය සමග සම්බන්ධ කරන්න බටහිර විද්‍යාඥයන් නොයෙකුත් කතන්දර හදනවා. ඒ කතන්දර හදන්නෙ ම මනස ද්‍රව්‍යයට ඌනනය කරන්න පුළුවන් කියන උපකල්පනය යටතේ.

කොහොම හරි මනසක් තියෙන අයකුට මනසෙන් නිදහස් වෙන්න පුළුවන් ද? දැන් මනස සකස් කරන්නෙ හරි සකස් වෙන්නෙ හරි කොහොම ද? බෞද්ධයනට නම් මෙතනදි පුනබ්භවයත් වැදගත් වෙනවා. අපෙ කල්පිත මනස්වලට සෑහෙන වයසයි. කල්ප ලක්‍ෂ ගණනින් තමයි කියන්න වෙන්නෙ. මා මෙයින් කියන්නෙ මනසක් තියෙනවා කියන එක නො වෙයි. අප මනසෙන් මනසක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒක දෙවියන් වහන්සේ ම දෙවියන් වහන්සෙ නිර්මාණය කර ගන්නවා වගේ දෙයක් නොවෙයි. ඒ දෙක සිදුවන්නෙ චින්තන දෙකක. චින්තනය කියන එක බටහිර දර්ශනයෙහි නැත්නම් මට කරන්න දෙයක් නැහැ.

පුනබ්භවය පැත්තක තියන්න. මනස සකස් කෙරෙන්නෙ කොහොම ද? අපේ දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, නිවේදක නිවේදිකාවන්, මිතුරන් ආදී වශයෙන් මේ කාර්යයේ දී හවුල් වෙනවා. අධ්‍යාපනයෙන් කෙරෙන්නෙත් මනස සකස් කිරීමක්. අද අප රටේ පාසල් විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ආදියෙන් ලබා දෙන අධ්‍යාපනය කුමක් ද? ඊනියා විචාරයත් අප ඉගෙන ගන්නෙ කාගෙන් ද? අප ඉගෙන ගන්නෙ කාගෙ විචාරයක් ද?

සිංහල විරෝධී උගතුන් යොදා ගන්නා දැනුම කුමක් ද? ඔවුන් අපේ දැනුම යොදා ගන්නේ වැරදි සෙවීමට හැරෙන්න වෙන මොකකට ද? ඒ වැරදි වැරදි බව නිගමනය කිරීමට යොදා ගන්නා මිනුම් දණ්ඩ (දැනුම) කුමක් ද? අපේ දැනුම වැරදි බව කීමට ඒවා මිථ්‍යා බව පැවසීමට යොදා ගන්නේ බටහිර දැනුම හැරෙන්න වෙනත් දැනුමක් නො වෙයි. බටහිර දැනුමට එවැනි විනිශ්චයාසනයක් භාර දුන්නේ කවු ද? කවුද ඉතින් බටහිරයන් ම මිසක්.

බටහිරයන්ට සමස්ත ලෝකයට ම ගැලපෙන දැනුමක් නිර්මාණය කර ගන්න පුළුවන් ද? නිර්මාණය කියන වචනයට අකමැති නම් හොයා ගන්න පුළුවන් ද? හොයා ගන්න එහෙම දැනුමක් තියෙනවා ද? මෙරට සමාජය විකාශය වී තිබෙන්නේත් එංගලන්තයේ සමාජය විකාශය වී තිබෙන්නේත් එකම ආකාරයකට ද? ඒ එසේ නම් ඒ බව දැනගත්තේ කෙසේ ද? බටහිරයන් පුරාවිද්‍යාවේ ශිලා යුගය ආදී වශයෙන් කරන යුග බෙදීම් හැම තැන ම වලංගු ද?

සිංහල විරෝධී උගතුන් බටහිර දැනුම කටකාගෙන තිබෙනවා. එහෙත් ඔවුන් කෙතරම් උත්සාහ කළත් ඔවුන්ට බටහිර චින්තනය ලබා ගන්න බැහැ. ඔවුන්ට බටහිරයන්ට මෙන් වියුක්ත ව හිතන්න බැහැ. බටහිර දැනුමට අලුතෙන් සංකල්පයක් ප්‍රවාදයක් එකතු කරන්න බැහැ. එහෙම එකතු කරලා තියෙන ප්‍රවාදයක් සංකලපයක් කියන්න බලන්න.

ඔවුන් දන්නේ බටහිර දැනුම ටිකක් කටගාගෙන අපේ දැනුම විවේචනය කිරීමට පමණයි. එහෙත් බොහෝ වෙලාවට ඔවුන් අපේ දැනුම ලෙස ගන්නේ බටහිරයන්ට පෙනෙන ආකාරයට අපේ දැනුම. ඒ දැනුම සාපේක්‍ෂ නිසා. බටහිරයන්ට පෙනෙන ආකාරයට අපේ දැනුම ගෙන (අපේ දැනුම ඔවුන්ගේ දැනුම අනුව සංස්කරණය කර) බටහිර දැනුම මත පදනම් වී විවේචනය කිරීම මොන උගත්කමක් ද? බටහිර චින්තනය ලබා ගන්න බැරි කමේ ප්‍රශ්නයක් තමන්ට තිබෙන බවක් සමහර විට මේ සිංහල විරෝධී උගතුන්  දන්නේ නැතිව ඇති.

මේ බටහිර දැනුම කටගාගෙන කටමැත කියවන සිංහල විරෝධී උගතුන් සමාජයේ වැදගත් තැනක් දරනවා. ඒ මේ සමාජයේ දැනුම් ආධිපත්‍යය ඇත්තේ බටහිර දැනුමට නිසා. අප ගමේ පාසලෙන් ඉගෙන ගත්තේත් බටහිර දැනුම. එකල අපට සෞඛ්‍යය කියා පාඩමක් තිබුණා. මට මතක හැටියට (අවුරුදු හැත්තෑවකට ආසන්න මතකයක් නිසා මා සහතික වන්නේ නැහැ) අපට සිංහල වෙදකමේ දැනුමක් ගැන කියා දුන්නේ නැහැ. බටහිරයන් තම දැනුම ප්‍රචලිත කිරීමට සිංහල ගුරුවරුන් ද යොදා ගත්තා. කසිකබල් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කටගාගත් බටහිර දැනුම බෙදා හැරීම හැර කරන්න වෙන දෙයක් ඇත්තේ නැහැ.