Main Logo

Thursday 14 June 2018

බටහිර යටත්විජිතකරණය


බටහිර යටත්විජිතකරණය



බටහිර යටත්විජිතකරණය එතෙක් පැවති යටත්විජිතකරණවලින් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන් ම ආර්ථික හා සංස්කෘතික වශයෙන්. කලින් පැවති යටත්විජිතකරණ මුළුමනින් ම වගේ දේශපාලන යටත්විජිතකරණ වුණා. යටත්විජිත පාලකයාට අවශ්‍ය වුණෙ තමන් යටත් කරගත් විජිතය දේශපාලනික වශයෙන් පාලනය කිරීමත් එහි ධනය සම්පත් තම රටට ගෙන යෑමත්.




එහෙත් බටහිරයන් එයට වෙනස් වුණා. ඔවුන් දේශපාලන යටත්විජිතකරණයට අමතර ව සංස්කෘතික හා ආර්ථික යටත්විජිතකරණ ද බලයෙන් හඳුන්වා දුන්නා.  ඒ බලයෙන් කළ දෙයක්. ඒ බලය යෙදුවේ දේශපාලන යටත්විජිතවාදයෙන්. ආර්ථික යටත්විජිතකරණය යනු යටත් විජිතයේ සම්පත් තම රටට ගෙන යෑම නො වෙයි. ඒ මංකොල්ලය තවදුරටත් කෙරුණා. එයට අමතරව ඔවුන් තම ආර්ථික ව්‍යුහය, රටාව යටත්විජිතයටත් පැටවූවා. අපේ රටට පැමිණි ලන්දේසීන් ද ඉංගිරිසින් ද මේ කාර්යය කෙරුවා. පෘතුගීසීන් තම ආර්ථික ව්‍යුහය අපට පැටවීමට එතරම් උනන්දුවක් දැක් වූ බවක් පෙනෙන්නේ නැහැ. ඔවුන් මංකොල්ලකරුවන් පමණක්.

.

එහෙත් ඒ ආර්ථික යටත්විජිතකරණයෙහි. ඔවුන් සංස්කෘතික යටත්විජිතකරණයෙහි නම් යෙදුණා. බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ කතෝලික ආගම, තම සිරිත් විරිත්, සංස්කෘතිය අප මත පැටවූවා. මා හිතන්නේ ලන්දේසීන්ට වඩා පෘතුගීසීන් තම සංස්කෘතික යටත්විජිතකරණය ගෙන ගියා කියා. පසුගිය සියවසේ මුල් චතුර්ථකයෙහි (කාර්තුවෙහි) මෙරට ඇතැම් ප්‍රභූ පවුල්වල භාෂාව වුණේ පෘතුගීසි. ඒ කියන්නෙ අවුරුදු සියයකට විතර පෙර සමහර ප්‍රභූ පවුල්, විශේෂයෙන් ම කතෝලික පවුල්වල භාෂාව සිරිත් විරිත් ආදිය පෘතුගීසින්ගෙන් ලබා ගත් දේ. අදටත් අපේ නම්වල පෘතුගීසි බව ඉතිරි වෙලා.



ලන්දේසීන් ද තම සංස්කෘතිය අප මත පැටෙව්වා. ඔවුන් බෞද්ධයනට පමණක් නොව කතෝලිකයන්ට ද හිරිහැර කළා. ඔවුන් තම රෙපරමාදු ආගම විවිධ ආකාරයෙන් ප්‍රචාරය කළා. පාසල් මගින් ළමයින් පාසලට බඳවා ගැනීමේ දී රෙපරමාදු ආගම වැළඳ ගැනීමට සැලැස්වමෙන් ආදී විවිධ ක්‍රම මගින් ලන්දේසීන් සිංහලයන් තම ආගමට හරවා ගත්තා. ළමයින් පාසලට බඳවා ගැනීමේ දී ක්‍රිස්තියානි නමක් දුන්නා. මේ සිරිත නිසා  සිසුන්ට ගෙදරට නමක් හා පාසලට (ඉස්කෝලෙට) නමක් යනුවෙන් නම් දෙකක් තිබුණා. ඇතැම් සිංහල බෞද්ධයන් ලන්දේසීන් ඉදිරියේ රෙපරමාදු ආගමත් ගමට ගිය පසු බුද්ධාගමත් පිළිපැද්දා.  



ලන්දේසීන් ආර්ථික යටත්විජිතකරණයෙහිත් යෙදුණා. ඔවුන් තම ආර්ථික ව්‍යුහ අප මත බලයෙන් පැටවූවා. යාපනයේ දුම්කොළ හා වෙනත් පළාත්වල කුරුඳු වගාවන් වෙළෙඳ භෝග වගාවන් ලෙස හඳුන්වා දෙනු ලැබුවා. එපමණක් නො වෙයි. ලන්දේසීන් මේ වගා සඳහා වත්මන් ඉන්දියාවෙන් කම්කරුවන් ගෙනාවා. අද පවතින දෙමළ ජාතිවාදයේ ආරම්භය කෝරමණ්ඩල වෙරළින් ගෙන ආ දෙමළ වෙල්ලලාලයන්  සමග බැඳී තිබෙනවා. දෙමළ වෙල්ලාලයන් ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් යාපනයේ ප්‍රධානත්වයට පත් වුණා. දෙමළ වෙල්ලාලයන් පසුව ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් මුළු රටේ ම ප්‍රධානත්වයට පත් වුණා. 1912 පමණ වන විට රටේ තත්වය එයයි. දෙමළ ජාතිවාදය මුල දී උත්සාහ කෙළේ ඒ ප්‍රධානත්වය රැක ගැනීමටයි. එය රැක ගැනීමට බැරි ව දැන් එය රට බෙදීමක් කරා තල්ලු වෙලා.



එක් යටත් විජිතයක සිටි වැසියන් තවත් යටත්විජිතයකට ගෙන යෑම බටහිර යටත්විජිතවාදීන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. එහෙත් ඒ නිසා අද වන විට ලෝකයේ විවිධ ප්‍රශ්න ඇති වී තිබෙනවා. බොහෝ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නවල මුල ඇත්තේ මේ යටත්විජිත ජනතා සාංක්‍රමණික ව්‍යාපෘතියයි. අද එක් ආකාරයකට එහි අනෙක් පැත්ත ක්‍රියාත්මක වෙනවා. අද බටහිරයන්ගේ පැරණි යටත්විජිතවාසීන් යටත්විජිතවාදීන්ගේ රටවලට රැකියා සඳහා සංක්‍රමණය වෙනවා. ඉනුත් ප්‍රශ්න ඇති වෙනවා.



ඉංගිරිසින් ලෝකය පුරා ම බටහිර යටත්විජිතකරණය ඉතා නිර්දය ලෙස ක්‍රියාත්මක කළා. අද ලෝකය පුරා ම බලපවත්වන්නේ බටහිරයන්ගේ ආර්ථික ව්‍යුහයයි. එහෙත් මේ ආර්ථිකය අප වැනි රටවලට ගැලපෙන්නේ නැහැ. එමෙන් ම ඒ ආර්ථික ව්‍යුහය මගින් අප ආර්ථික එක මට්ටමක පවත්වාගෙන යන්නටත් බටහිරයන්ට හැකියි. අද ලෝකය පුරා බටහිර ශ්‍රම විභේදනයක් ද ක්‍රියාත්මක වෙනවා.



මේ සියල්ලට ම වඩා සංස්කෘතික ආක්‍රමණයකින් අප පාලනය වෙනවා. අද ලෝක ආධිපත්‍යය දරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියයි. ඒ පසුබිමේ ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයයි. අප ආගමින් ක්‍රිස්තියානි නොවූවත් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි කෙරෙනවා. එහි දී වඩාත් ම බලපාන්නේ දැනුම. අද බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුමේ සංකල්පවලින් මුළු ලෝකය ම විස්තර කරන්න හදනවා. එයට අවශ්‍ය බලකායක් පාසල්වලින් හා විශේෂයෙන් ම විශ්වවිද්‍යාලවලින් පුහුණු කෙරෙනවා. අද මෙරට පඬියන්ගේ මනස් සංස්කෘතික යටත්විජිතකරණයට ලක් වී පුහු වෙලා. මේ අය අපේ ඉතිහාසයත් වර්තමානයත් අනාගතයත් බලන්නේ බටහිර සංකල්ප හා ප්‍රවාදවලින්. එය දැන් පිළිගත් ක්‍රමවේදයක් කරලා.



මේ දැනුමෙහි භයානක ම කාර්යය කෙරෙන්නේ බටහිර විද්‍යාවෙන්. බටහිර විද්‍යාවට වෙනම ම විධික්‍රමයක් තියෙන බව කියනවා. එහෙත් එහි කරන්නේත් හිතළු ඉදිරිපත් කිරීමක් පමණයි. එක හිතළුවක් හරියන්නේ නැත්නම් (වැඩ කරන්නේ නැත්නම්) වෙනත් හිතළුවක් ඉදිරිපත් කරනවා. කුඩා ළමයින් ඉගෙන ගන්නේත් ඒ විධියටමයි. බටහිර විද්‍යාවේ හිතළු කුඩා ළමයින්ගේ හිතළුවලින් වෙනස් වන්නේ බටහිර විද්‍යාවේ හිතළු වියුක්ත වීමෙන්.



අපේ දැනුම බටහිර විද්‍යාවේ මෙන් හිතළු හා වියුක්ත උද්ගමනය මත පදනම් වූවක් නොවෙයි. එය ප්‍රත්‍යෂය මත පදනම් වූවක්. එ ප්‍රත්‍යක්‍ෂ දෙවර්ගයක් තියෙනවා. එකක් පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ අනෙක අර්හත් ප්‍රත්‍යක්‍ෂ. අපේ දැනුම ගැන කියන්නේ අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි කියා. බටහිර විද්‍යාවේ නිශ්චිත දර්ශනයක් නැහැ. නිව්ටන්ගේ දර්ශනය මැක්ස්වෙල්ගේ දර්ශනයෙන් වෙනස්. අයින්ස්ටයින් ඒ දර්ශන අතර දෝලනය වුණා. මෙරට බටහිර විද්‍යාව කටගාගත් අය තමන් හේතුවාදීන් (rationalists) ද ආනුභවිකවාදීන් (empiricists)  ද කියාවත් දන්නේ නැහැ. ඒ දෙකේ වෙනසවත් දන්නේ නැහැ. ඔවුන් තමන් හේතුවාදීන් මෙන් ම ආනුභවිකවාදීන් ද බව කියාවි. අවිශ්වාස නම් කාලෝ ෆොන්සේකාගෙන් අහල බලන්න.