Main Logo

Wednesday 13 June 2018

ට්‍රම්ප් හා කිම්


ට්‍රම්ප් හා කිම්





ජනාධිපති ට්‍රම්ප් හා සභාපති කිම් සිංගප්පූරුවේ දී හමුවෙලා. සාකච්ඡා කරලා. ඒකාබද්ධ ව ප්‍රකාශයක් නිකුත් කරලා. ප්‍රකාශයේ එතරම් වැදගත් දෙයක් නැහැ. ට්‍රම්ප් පොරොන්දුවෙලා දකුණු කොරියාවත් සමග පවත්වන යුද අභ්‍යාස නවත්වන්න. කිම් කිසිම පොරොන්දුවක් දී නැති පාටයි. ඒත් යුද්ධ කතා ටිකක් සමනය වේවි.




ට්‍රම්ප් ජනාධිපති වෙන කාලෙ මා කිව්ව ඔහු  ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහ සංස්ථාපනයට හිස නොනමන කෙනෙක් කියාත් ඔහු ජාතිකත්වයක් ඇති අයෙක් කියාත්. ඔහු වැඩ කරන ආකාරය බොහෝ දෙනකුට ගැලපෙන්නෙ නැතිව ඇති. ඔහු පිළිවෙළකට වැඩක් නොකරන හිතු මතයට වැඩ කරන අනෙක් අය කියන දෙයක් නොඅසන හිතුවක්කාර ධන කුවේර ආදී වශයෙන් හැඳින්වෙනවා. ඔහු (බටහිර) විද්‍යාව එතරම් ගණන් ගන්නේ නැහැ. ඔහු උගතුන්ට එතරම් ප්‍රිය කරන්නේ නැහැ. ඔහු තම නිලධාරීන් හිටි ගමන් අස් කරනවා.



ට්‍රම්ප් සිංගප්පුරු ගියේ කැනඩාවෙ පැවැත්වුණු ජී 7 කණ්ඩායමේ රැස්විමක් අතරෙ. ඔහු ඒ රැස්වීමට එතරම් අවධානයක් යෙදෙව්වෙ නැහැ. ජී 7 කණ්ඩායම කියන්නෙ අර සුපිරිව්‍යුහ සංස්ථාපනයෙ බලවත් ම මණ්ඩලයක්. එහෙම සංස්ථාපනයක් භෞතීයව කොහේවත් නැහැ. එය වියුක්ත ආයතනයක්. අද ලෝකය පාලනය වෙන්නේ ඒ ව්‍යුක්ත ආයතනයෙන්. බලගතු රටවලටත් ඒ ආයතනයෙන් විධාන එනවා. ඒ අනුව තමයි ඔවුන් වැඩ කරන්නෙ.



ජී 7 කණ්ඩායම ට්‍රම්ප්ට එතරම් කැමැත්තක් නැහැ. කැනඩාවේ ටෘඩෝ ට්‍රම්ප් ගැන විවේචනයක් කළා. ට්‍රම්ප් ඒ රටවල් සමග ඇති වෙළෙඳ සම්බන්ධකම් ගැන තැකීමක් නැහැ. ඔහු තීරු බදු වෙනස් කරනවා. කොහොමත් ට්‍රම්ප් කියා තිබුණේ ජී 7 රැස්වීමට ගොස් කාලය නාස්ති කරනවාට වඩා කිම් සමග සාකච්ඡාවට සූදානම් වීම වැදගත් කියා.



ට්‍රම්ප් කරන සමහර දේ වැරදි වන්න පුළුවන්. ඔහු සාංක්‍රමණිකයන් කෙරෙහි දක්වන දරදඬු ප්‍රතිපත්තිය නිසා සමහර අවස්ථාවල පවුල්වල සාමාජිකයන්ට වෙන් වීමට සිදු වෙනවා. එහෙත් ඔහු අර සුපිරිව්‍යුහ සංස්ථාපනයට ඇමරිකා එක්සත් රාජ්‍ය යටපත් කිරීමටවත් එහි දැනුම් පද්ධතිය හිස නමා පිළිගැනීමටවත් කැමති නැහැ.



ට්‍රම්ප් ලබන වර පරදින්නත් පුළුවන්. එහෙත් ඔහු කරන්නේ ලෝක ආධිපත්‍ය සංස්ථාපනයට අභියෝගයක්. ඊනියා ගෝලියකරණයට අභියෝගයක්. එය එක් එක් අය එක් එක් විධියට දකින්න පුළුවන්. මෙහි එය කියා යෙදුවත් එක් එක් අය දකින්නේ එක් එක් දේ. ඒ තමයි නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙන් කියැවෙන්නේ. ඒ කියැවෙන්න නිරපේක්‍ෂ කියලා මා කියන්නේ නැහැ. එහෙම කිව්වොත් එය නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට විරුද්ධ වෙනවා.



ට්‍රම්ප් ගැන බොහෝ දෙනා දකිනවා ඇත්තේ සුපිරිව්‍යුහ සංස්ථාපනයේ නිර්මාණය කර ඇති දැනුම් උපයෝගී කරගෙන. මෙරට පඬියන්ට නම් වෙනත් දැනුම් ඇත්තේ නැහැ. එබැවින් ඔවුන් මෙහි කියා ඇති දේට විරුද්ධ වේවි. ට්‍රම්ප්ගේ අභියෝගය නව ලොවක් සඳහා. එහි දී ඔහු උතුරු කොරියාවේ කිම් වඩා වැදගත් ලෙස සලකනවා. ඔහු හා පුටින් අතරත් ඇත්තේ අසාමාන්‍ය සම්බන්ධයක්.



කිම් මානව හිමිකම් ඉතා දරුණු ලෙස කැඩූ අයකු ලෙසයි කියැවෙන්නේ. ඊනියා මානව හිමිකම් අයිතිකරුවන් ඒ ගැන පොත් ලියාවි. කිම් යහපත් පුරුෂයකු කියා මා කියන්නේ නැහැ. එහෙත් ට්‍රම්ප් ඔහු සමග සාකච්ඡා කළා. මෙරට රණවිරුවන් මානව අයිතිවාසිකම් කැඩූ අය ලෙස සලකා ඔවුන්ට දඬුවම් කිරීමට උත්සාහ කරන්නන් එසේ කරන්නේ නිවට පාලකයන් සිටින නිසා පමණයි.



සුපිරිව්‍යුහ සංස්ථාපනයට කිම් වැරදි කරුවෙක්. පිටස්තරයෙක්. උතුරු කොරියාවේ කලක සිට න්‍යෂ්ටික අවි තියෙනවා. ක්ලින්ටන් ඔබාමා ජනාධිපතිවරුන් ද උතුරු කොරියාව නිර්න්‍යෂ්ටික රටක් බවට පත් කරන්න උත්සාහ කර තියෙනවා. ට්‍රම්ප් සාකච්ඡාවට කලින් උතුරු කොරියාව නිර්න්‍යෂ්ටික කිරීමට කටයුතු කරන බව කීවත් ඒකාබද්ධ ප්‍රකාශයේ ඒ ගඋන සඳහනක් නැහැ. සමහරවිට ට්‍රම්ප් ඒ ගැන කතා කිරීම පසුවට කල් දාන්න ඇති.



ඒ කුමක් වුවත්  සුපිරිව්‍යුහ සංස්ථාපනයේ අප්‍රසාදය දිනා සිටින ට්‍රම්ප් හා කිම් හමුවීම වැදගත්. පවත්නා ලෝක සුපිරිව්‍යුහ සංස්ථාපනය කඩා වැටෙන බව පැහැදිලියි. කඩාවැටීම තවත් ඉදිරියට යනු මිස පස්සට යන එකක් නැහැ. පහළොස්වැනි සියවසේ ඉතාලියේ ඇති වූ කලා පුනරුදය වත්මන් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ඇරඹීමට මූලික වුණා. එය දිරඝ කාලයක් තිස්සේ විකාශය වුණා.



වත්මන් ලෝකය කඩා වැටීම ඇරඹුණේ ක්වොන්ටම් යාන්ත්‍රිකයත් සමග. එය තවත් අවුරුදු සියයකට වැඩි කාලයක් විකාශය වී නව ලෝකයක් ගොඩ නැගෙන්න පුළුවන්. ඒ ලෝකය ගොඩ නැගීමට ඊනියා කම්කරු පංතියක් නායකත්වය දෙන්නේ නැහැ. එක් එක් අයගේ ක්‍රියා සිතිවිලි ඒ සඳහා දායක වේවි.