Main Logo

Sunday 17 June 2018

බන්ධනාගාර කොමසාරිස් බුදු හාමුදුරුවන්ට ඉහළ ද


බන්ධනාගාර කොමසාරිස් බුදු හාමුදුරුවන්ට ඉහළ ද





චීවරය ද ජම්පරය ද යන මැයෙන් ලියූ ලිපිය ගැන විවිධ අය විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වලා. ඇතැමුනට මගේ සිංහල බෞද්ධකමත් ප්‍රශ්නයක් වෙලා. ඥානසිරි හිමියන් බන්ධනාගත කිරීම වැරදි කියා මා කියා නැති බැවින් මගේ දේශ හිතෛෂී භාවය ඇතැමුනට ප්‍රශ්නයක් වෙලා. මා නීතිය හා සාමය ගැන කතා කරන තවත් මහාචාර්යවරයකු පමණය කියා එක් අයකු කියා තිබුණා. මා මහාචාර්යවරයකු නොවන බව ඔහු දන්නේ නැතිව ඇති.




පවත්නා රෝම ලන්දේසි නීතියට භික්‍ෂූන් වහන්සේත් යටයි. අප ජීවත් වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයක නොවන බවට එය ම උදාහරණයක්. එහෙත් බොහෝ දෙනාට එය තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ කතාව අනුව ඥානසාර හිමියන්ට දඬුවම් දීම වැරදියි, එහෙත් කලින් භික්‍ෂූන් වහන්සේට දී ඇති දඬුවම් වරදක් නැහැ වගේ. ඥානසාර හිමියන්ට විරුද්ධ චෝදනාව වුණෙ සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදීම නොවෙයි. නඩුවක සාක්‍ෂිකාරියකට (ඇය සන්ධ්‍යා එක්නැලිගොඩ වුවත් නැතත්) බලපෑම් කිරීම. සන්ධ්‍යා එක්නැලිගොඩ නොවෙයි නම් ඥානසාර හිමියන් ඒ ආකාරයෙන් කතා නොකරන එක වෙන ම වැඩක්.



අද රෝම ලන්දේසි නීතිය බටහිර මතවාද කරපින්නා ගත් අයට පක්‍ෂපාතීව, සිංහල බෞද්ධයනට එරෙහිව ක්‍රියා කරනවා. නීතිය ඉදිරියේ සියල්ලන් සමාන ය කියන එක බොරු කතාවක්. නීතියක් අහම්බෙන් පාත් වෙන එකක් නො වෙයි. නීතිය සකස් කරන්නෙත් මිනිස්සු. මිනිසුන් නීතිය සකස් කරන්නෙ යම් චින්තනයක් පදනම් කර ගෙන යම් සංස්කෘතියකට සාපේක්‍ෂව. රෝම ලන්දේසි නීතිය සකස් කරලා තියෙන්නෙ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ යම් ප්‍රභේදයකට සාපේක්‍ෂ ව. ඒ චින්තනයෙ ඒ සංස්කෘතියෙ අයට නීතිය ඉදිරියේ සැලකිල්ලක් ලැබෙනවා. රෝම ලන්දේසි නීතිය ඉදිරියේ සිංහල බෞද්ධයන් ද්විතීයික නොවෙයි ඊටත් පහළ පුරවැසියන්.



මේ සිද්ධියෙන් අඩුම තරමෙන් යම් පිරිසකට ඒ බව වැටහෙනවා නම් එය හොඳ දෙයක්. එහෙත් බටහිර දැනුම සිංහල බෞද්ධයනට  එරෙහි ව ක්‍රියාත්මක වන බව කී විට බොහෝ දෙනාට තේරෙන්නෙ නැහැ. බටහිර දැනුම පොදුවේ ගත් කල   යුදෙව් ක්‍රිස්තියානි නොවන සංස්කෘතීන්ට එරෙහි ව ක්‍රියාත්මක වෙනවා. නාථ දෙවියන් පිළිබඳ කතාවේ දී එය හොඳින් ම දැක ගැනීමට ලැබුණා. අද ඥානිස්සර හාමුදුරුවන්ගෙ ප්‍රශ්නයේ දී රෝම ලන්දේසි නීතියෙ අපක්‍ෂපාත නොවන බව වැටහෙන අයත් එදා කතා කෙළෙ බටහිර විද්‍යාව පැත්තෙ ඉඳගෙන. ඔවුනට මා මිථ්‍යාධාරියකු වුණා. අද මා දේශ හිතෛෂී භාවයෙන් ඉවත් කරලා! සමහර විට ඔවුන්ට තවමත් දැනුමේ වාස්තවික හෝ අපක්‍ෂපාත හෝ නොවන බව තේරුම් ගන්න බැරුව ඇති. රෝම ලන්දේසි නීතියත් බටහිර දැනුමේ එක් කොටසක් පමණයි.



පවත්නා රෝම ලන්දේසි නීතිය වෙනස් කළ යුතු බවට මතයක් ගොඩ නැගෙනවා නම් හොඳයි. එහෙත් එය බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදීම දක්වා ගෙන යා යුතුයි. ඒ කියන්නෙ අවසාන වශයෙන්  ගත්කල සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවතත් පිහිටුවිය යුතු ය යන්නයි. අද පවතින්නේ 1815 දී ඉංගිරිසින් ඇති කළ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්.



මගේ තර්කය වුණෙ අප කවුරුත් බෞද්ධයන් හැටියට රටේ පවත්නා නීතියටත් සිංහල බෞද්ධ විනයටත් යටත් කියා. රෝම ලන්දේසි නීතිය ඉවත් කිරීමට පියවර ගැනීමේ දී අපට ඒ නීති පද්ධතියෙන් සහනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඥානසාර හාමුදුරුවන් මෙරට භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස අද රෝම ලන්දේසි නීතියට යටත්. ඒ වගේ ම උන්වහන්සේ සිංහල බෞද්ධ විනයටත් යටත්. ඒ විනය බුදුන් වහන්සේ දෙසූ විනය ම ය නොවෙයි. බුදු හාමුදුරවො කුඩා විනය ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමට අවසර දී තිබෙනවා.



මා මතු කළ ප්‍රශ්නය වූයේ ඥානසාර හාමුදුරුවන්ට ජම්පරයක් ඇන්දවීමට බන්ධනාගාර කොමාසාරිස්ට ඇති බලය කුමක් ද යන්නයි. බන්ධනාගාර කොමසාරිස්ට උන්වහන්සේගේ චීවරය ගැලවීමට ඇති බලය කුමක් ද?  උන්වහන්සේගේ චීවරය ගැලවීමට හැක්කේ උන්වහන්සේ අයත් නිකායට පමණයි. බන්ධනාගාර කොමසාරිස් නිකායේ බලතල අතට ගන්නේ කවදා ද? කෙසේ ද? අපට අද විසඳිය යුතුව ඇති ප්‍රශ්නය එයයි.



මට තේරෙන විධියට ඥානසාර හාමුදුරුවන්ට බන්ධනාගාරයේ දී ජම්පරය අඳින්න ඕන කියලා රටේ නීතියක් නැහැ. සිරකරුවන්ට ජම්පරය ඇන්දවීම නීතියකින් කෙරෙන දෙයක් ද? එසේ නැත්නම් බන්ධනාගාර සම්ප්‍රදායක් පමණක් ද? ඥානසාර හාමුදුරුවන්ට ඇප ලැබී දින හතකින් බන්ධනාගාරයෙන් පිටවීමට ලැබුණොත් විශාල ප්‍රශ්නයක් මතුවන එකක් නැහැ. එහෙත් දින හත පහුවුණොත් උන්වහන්සේගේ භික්‍ෂූත්වය බෞද්ධ විනය අනුව අහෝසි වෙනවා.



මෙතන දී තමයි යුදෙව් ක්‍රිස්තියානි සම්ප්‍රදාය හා සිංහල බෞද්ධ සම්ප්‍රදාය ගැටුමකට යන්නෙ. ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව ක්‍රිස්තියානි පූජකවරුන්ගේ ලෝගුව ගැලවීම ප්‍රශ්නයක් නොවන්න පුළුවන්. එහෙත් බෞද්ධ විනය අනුව චීවරය දින හතකට වඩා නොදැරීමෙන් භික්‍ෂූත්වය අහෝසි වෙනවා. බන්ධනාගාර කොමසාරිස්ට ඥානසාර හිමියන්ගේ භික්‍ෂූත්වය අහෝසි කිරීමට ඇති බලය වහාම අහෝසි කළ යුතුයි.



ජනාධිපති හෝ අදාළ ඇමති හෝ මැදිහත් ව බන්ධනාගාර කොමසාරිස්ට භික්‍ෂූන් වහන්සේට ජම්පර ඇන්දවීමට ඇති බලය වහාම ක්‍රියාත්මක වන පරිදි නැති කළ යුතුයි. දින හතෙන් මෙය විසඳේවි කියා මෛත්‍රිපාල කිසිවක් නොදන්නා සේ ඉන්නවා නම් ඔහු පොළොන්නරුවේ ගල් විහාරය අසළින් නිතර ගමන් කිරීමෙන් ලබා ඇති ආභාසයක් නැහැ. අද සිංහල බෞද්ධයන් උද්ඝෝෂණය කළ යුත්තේ බන්ධනාගාර කොමසාරිස්ට භික්‍ෂූන් වහන්සේට ජම්පර ඇන්දවීමට ඇති බලය අහෝසි කිරීම සඳහා යි. හිස් හිස් වූ වාචාල පුස්සන් එයට විරුද්ධ වේවි. ඔවුන් හැමෝට ම සිවුරු දාගන්න වැනි වාචාල කතා කියාවි. එහෙත් සිවුරක් දාගත් පමණින් භික්‍ෂූන් වහනසේ නමක් වීමට නොහැකි බව ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ට කියා නොදීම ගැන ඔබට ඕනෑම අයකුට හිතින් දොස් පවරන්න පුළුවන්. එය රෝම ලන්දේසි නීතියට අහුවෙන්නේ නැහැ.