Main Logo

Monday 18 June 2018

දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු


දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු



අද රනිල් ඉවත් කර ගතහොත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන්. එය 2019 ට හෝ 2020 ට හෝ කල් දැමීමෙන් සිදුවන්නේ රනිල්ට තව තවත් සිංහල බෞද්ධ විරෝධී රටට අහිතකර පනත් සම්මත කර ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමට අවස්ථාව ලබා දීම පමණයි.




අප අවුරුදු කිහිපයක් තිස්සේ ම කිව්වේ මහින්ද අගමැති පදවියට පත් කර ගත යුතු ය කියා. එය 2019 ට හෝ 2020 ට හෝ කල් දැමිය යුතු යැයි අප කිසි විටෙක කියා නැහැ. රනිල් හා මෛත්‍රිපාල අතර විරසකයක් ඇති වීමෙන් පසු අප කියා සිටියේ මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට ශක්තිය ලබා දිය යුතු ය යන්නයි. එයට බොහෝ දෙනා විරුද්ධ වුවත් දහසයේ කණ්ඩායම විපක්‍ෂයට එකතු වීමත් සමග එය කළ හැකි දෙයක් බවට යම් පිරිසකට ඒත්තු ගියා.



දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින්න අවශ්‍ය නැහැ. ඔවුන් කියන දෙයට ඒකාබද්ධ විපක්‍ෂයේ හා පොදු ජන පෙරමුණේ ඇතැමුන් සවන් දෙන්නේ නැහැ. එපමණක් නොවෙයි. ඔවුන්ට ඇතැමුන් කොන්දේසි පනවනවා. එයින් සිදු වන්නේ ඔවුන් තමන්ගෙන් ඈත් කර ගැනීමයි.



අප කිහිප වරක් ම කිව්වේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය කතානායක ධුරයට යෝජනා කළ අවස්ථාවේ ඇයට ඡන්දය දීමට සභා ගැබේ නොසිටීමෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් නොකළ යුත්තක් කළ බවයි. දැන් ලැබෙන ආරංචි අනුව ඇගේ නම යෝජනා කර ඇත්තේ මහින්දයි. මා කියන්නේ පාර්ලිමෙන්තුවේ නම යෝජනා කිරීමට පෙර නම ඉදිරිපත් වී ඇති ආකාරයයි. ඝාතනය කෙරුණු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහින්දගේ ඉතාම කුළුපග මීතුරෙකුව සිටියා.



කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මනත්‍රීවරුන් මහින්දගේ යෝජනාවට පක්‍ෂ වී නැති බව පේනවා. නාමල් රාජපක්‍ෂ හා චමල් රාජපක්‍ෂත් එසේ  කෙළේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. අපි එය විශ්ලේෂණය නොකර ඉදිරියේ දී කළ යුතු කාර්යයන් ගැන කතා කරමු.



මහින්ද අගමැති පදවිය භාර ගැනීමට සූදානම් බව පේන්න තියෙනවා. අද දහසයේ කණ්ඩායමේ ප්‍රධාන කාර්යභාරය වන්නේ මෛත්‍රිපාල ලවා මහින්ද අගමැති ලෙස පත් කරවීමයි. මෛත්‍රිපාලට මහින්ද ගැන තවමත් යම් සැකයක් තිබෙන බවක් පේනවා. එය වහාම දුරු කිරීම දහසයේ කණ්ඩායමේ පමණක් නොව රනිල් අද ම ඉවත් කළ යුතු යැයි සිතන සියල්ලන්ගේ වගකීම හා යුතුකමයි.



එසේ කිරීමේ දී ආසන සංවිධායකකම් දිස්ත්‍රික්ක නායකකම් මන්ත්‍රීධුරාපේක්‍ෂාවන් රට ජාතිය නාමයෙන් අමතක කරන්න වෙනවා. ඒ කැප කිරීම අද නොකළහොත් 2020 මැතිවරණයක දී ජයග්‍රහණය නැති වන්නත් පුළුවන්. 2020 ජය ගන්නත් අද රනිල් ඉවත් කිරීම අනිවාර්ය වෙනවා.



අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් හා දහසයේ කණ්ඩායමේ අතැමුන් එකිනෙකා විවේචනය කිරීම් ඇනුම්පද කීම් අසන්න දකින්න ලැබෙනවා. ජනමාධ්‍යට නම් එවා හොඳයි. අද මෙරට ජනමාධ්‍ය පවත්වාගෙන යන්නේ කුකුළන් කෙටවීමෙන්. ඔය විවිධ  දේශපාලනඥයන් ගෙන්වා පවත්වන වාද යනු කුකුළන් කෙටවීමක් මිස අනෙකක් නො වෙයි. ඒ වැඩ සටහන්වලින් ජනමාධ්‍ය ලාභයක් උපයා ගන්නවා. ඉන් රටට වන්නේ අලාභයක්.



අප අමතක නොකළ යුතු කරුණක් නම් 2015 අගෝස්තු මැතිවරණයේ දී දහසයේ කණ්ඩායම පමණක් නොව දැනට මෛත්‍රිපාලගේ ආණ්ඩුවේ සිටින අයගෙන් බහුතරයක් තරග වැදුණේ මහින්ද අගමැති කරන ලෙස ඉල්ලා බව. 2015 දී මහින්ද අගමැති කරන්න සටන් වැදුණේ  අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් පමණක් නො වෙයි. ඒ බව අමතක කර දහසයේ කණ්ඩායමට  දොස් පැවරීම ඇනුම්පද කීම රනිල්ගේ පැවැත්ම සඳහා පමණක් හේතු වෙනවා.



2015 ජනවාරි අටවැනි දා මහින්දගේ පරාජයෙන් පසු ඇතැමුන් පිටරට ගියා. ඇතැමුන් මාස දෙක තුනක් පමණ යන තුරු හොයා ගන්න බැරි වුණා. 2015 අගෝස්තු මැතිවරණයට සංධානයෙන් ඉදිරිපත් නොවී වෙනත් පක්‍ෂයකින් සංවිධානයකින ඉදිරිපත් වීමට ඇතැමුන් කැමති වූයේ නැහැ. අපි එ සියල්ල අමතක කරමු. දහසයේ කණ්ඩායම 2015 අගෝස්තුවෙන් පසු මෛත්‍රිපාලට එකතු වීමෙන් වරදක් කළ බවත් අමතක කරමු. රනිල් ඉවත් කිරීම සඳහා දැනට මෛත්‍රිපාල ආණ්ඩුවේ ඉතිරි වී සිටින අයගෙනුත් බහුතරයක් එකතු කර ගනිමු.



ඔවුන්ට ආණ්ඩුවෙන් කැඩී ඒමට බලකරන්න අවශ්‍යතාවක් නැහැ. ඔවුන් කළ යුත්තේ මහින්ද අගමැති කිරීමට පක්‍ෂ වීමයි. අනෙක් කරුණු සියල්ල ද්විතීියිකයි.