Main Logo

Friday 1 June 2018

මෛත්‍රිපාලගෙ සැර කතාව


මෛත්‍රිපාලගෙ සැර කතාව



මෛත්‍රිපාල සැර කතාවක් කරලා සෝභිත හාමුදුරුවන්ගෙ සැමරුම් රැස්වීමක දි. ඒ රැස්වීමට මෛත්‍රිපාලට ආරාධනය කරලා නැහැ. එහෙත් අනාරාධිතව ම ගිහිල්ලා. ඒ කතාව සෝභිත හාමුදුරුවන්ට දීපු උත්තරයක්. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙ සභාපති කම බාරගත්ත වෙලාවෙ සෝභිත හාමුදුරුවො කියලා තියෙනව දැන් ඉතින් රොටිය ඇට්ටකුණා වුණා කියලා. උන්වහන්සෙ ඒකෙන් අදහස් කෙළෙ කුමක් ද කියන එක පැහැදිලියි. ඊනියා යහපාලනය, දින සියය මේ ඔක්කොම ඉවරයි කියන එක.




සෝභිත හාමුදුරුවන් මුල් කරගෙන මෙරට සිංහල බෞද්ධ විරෝධීන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇති කළා. ඒකෙ වැඩි හරියක් හිටියෙ රාජ්‍ය නොවන බැළයන්, දෙමළ ජාතිවාදීන්, එ ජා ප හිතවතුන්, ප්‍රසිද්ධිය සඳහා දේශපාලනයට ආ ඇහින්දන්. සංවිධානය හැදුවෙ රාජ්‍ය නොවන බැළයො. සෝභිත හාමුදුරුවන් ව ඒකෙ සභාපතිකමට පත් කර ගත්තා. සෝභිත හාමුදුරුවෙ සිංහල බෞද්ධ විරෝධියෙක් නො වෙයි. එහෙත් ප්‍රසිද්ධියට කැමැත්තක් දැක් වූ හිමි නමක්. එමෙන් ම ඒ අවධිය වන විට උන්වහන්සේ එ ජා ප හිතවත් භික්‍ෂූන් වහන්සේ පිරිසකගෙ ඇසුරට වැටිලා හිටියෙ.



මා සෝභිත හාමුදුරුවන් හමුවෙන්න මුලින් ම ගිය සියල්ලන්ගෙ නම් කියන්නෙ නැහැ. ජාතිකවාදීන් අතර අසමගියක් ඇති කරන්න මට අවශ්‍ය නැහැ. එහෙත් මේ සාධාරණ සමාජය නමින් මේ අය හැඳින්නුවෙ මහින්ද ජනාධිපතිකමෙන් නෙරපූ සමාජයක්. එහි නායකයා රනිල් නැත්නම් නූතන ඩොයිලි. මහින්ද පරාජය කරන්න බටහිරයන් හා ඉන්දියාව ඊනියා පොදු අපේක්‍ෂකයකු සෙව්වා. අර මහින්ද හොරා කතාව කියන්න පටන් ගත්තා. මේ වන  විට මෛත්‍රිපාල රාජපක්‍ෂලා සමග විශේෂයෙන් බැසිල් සමග විරසකයක් ඇති කරගෙන හිටියෙ. ආරංචි හැටියට මෛත්‍රිපාල අගමැති කරන්න ගෝඨාභය කැමති වෙලා හිටියත් බැසිල් කැමති වෙලා නැහැ. කිසිවකු මට විද්‍ය්‍රත් ලිපි එවන්න ඕන නැහැ දන්නැති දේ කතා කරන්න එපා කියලා.



මෛත්‍රිපාල මේ විරසකය නිසා පොදු අපේක්‍ෂක වෙන්න කැමති වුණා. විජාතිකයන්ටත් අවශ්‍ය වෙලා තිබුණෙ යම් ජාතිකත්වයක් ඇති අපේක්‍ෂකයෙක්. මෛත්‍රිපාල මෙහි දී මහා පාවාදීමක් කෙළේ. ඔහු නූතන ඩොයිලි ළඟට ගියා. 1815 නැවතත් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මෛත්‍රිපාල දිනුවා. වැඩි ගණනකින් නොවෙයි ලක්‍ෂ හතරකින්. නාගරික සිංහල බෞද්ධ ඡන්ද එයට හේතු වුණා. සාධාරණ සමාජ කාරයන්ට අවශ්‍ය වෙලා තිබුණෙ රනිල්ගෙ යටතෙ ඊනියා ජාතික ආණ්ඩුවක්. මෛත්‍රිපාල සේවකයකු ලෙසයි ඔවුන් සැලකුවෙ. ඒ දවස්වල කතාව තිබුණෙ මෛත්‍රිපාල රනිල්ට සර් කියන්න ද කියලා ඇහැවුවා කියලා. ඒ කතාව ඇත්ත වුණත් නැතත් ඉන් කියැවුණෙ රනිල්ගෙ ආධිපත්‍යය.



සෝභිත හාමුදුරුවන්ට හොඳ දේශපාලන ඉවක් තිබුණා. මා ඒ බව දන්නවා. උන්වහන්සෙ තමයි චින්තන පර්ෂදයෙ පළමු සභාපති. මා ලේකම්. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප සභාපති වුණා ම හාමුදුරුවො දැනගන්න ඇති යහපාලන කතා ඉවරයි කියලා. එ ජා ප හා ශ්‍රී ල නි ප කියන්නෙ විජාතික හා ජාතික කඳවුරෙ ප්‍රධාන පක්‍ෂ. ඒ පක්‍ෂ දෙකට එකට ඉන්න පුළුවන් එකක් අනෙකට යටත් වුණොත් විතරයි. සංස්කෘතින් දෙකක දෙන්නකු විවාහ වුණා වගේ. මෛත්‍රිපාල රනිල්ට යටවෙලා ඉන්නකන් දින සියය යහපාලනය ක්‍රියාත්මක වෙන්න තිබුණා. අද මෛත්‍රිපාල මොනව කිව්වත් එදා දින සියයට පක්‍ෂ වුණා. ඒ රනිල් යටතෙ හිටපු නිසා වෙන්න පුළුවන්.



එහෙත් මෛත්‍රිපාල ශ්‍රි ල නි ප සභාපති හැටියට එ ජා ප සමග විරසකයක් හදාගන්න වෙන බව සෝභිත හාමුදුරවො දැනගෙන ඉන්න ඇති. රොටිය ඇට්ටකුණා වෙන බව සමහර විට සියල්ලන්ට ම කලින් උන්වහන්සේට අවබෝධ වෙන්න ඇති. උන්වහන්සෙ දැනගන්න ඇති මෛත්‍රිපාල කොයි වෙලාවක හරි රනිල්ට අභියෝග කරන බව. උන්වහන්සේට ඕන වුණෙ රනිල් යටතෙ මෛත්‍රිපාල තියා ගන්න. ජාතික විජාතික බලවේගවලට එකට ඉන්න බැහැ. අද ඒ බව ඔප්පු වෙලා. යා දෙක නොරත රත සමග පෑහීමක් නැත.        



මෛත්‍රිපාල උත්තර දුන්නෙ සෝභිත හාමුදුරුවන්ට තමාට තේරෙන විධියට. මෛත්‍රිපාලට ඕන වුණෙ තමාගෙ ජාතිකත්වය ගැන කියන්න පමණක් නොවෙයි තමන් ආණ්ඩුව ඇට්ටකුණා කළෙ නැති බව කීමට. ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීමට තමන් කොතරම් කැප කිරීමක් කළා ද කියන එකයි ජාතික දේ ආරක්‍ෂා කිරීමට තමන් කෙළේ කුමක් ද කියන එකයි දෙකම මෛත්‍රිපාල කිව්වා. ඔහු ප්‍රසිද්ධියේ කිව්වා තමා ජනාධිපතිවෙලා සැණෙකින් රනිල් අගමැති කළ බව. ඒ කියන්නෙ දි මු අගමැති හැටියට ඉන්දැද්දි ම රනිල් අගමැති කළ බව. එය නෛතික වැරැද්දක් නොවෙයි. අද මෛත්‍රිපාලට කරන්න තියෙන්නෙ එය නැවත කරන්න. රනිල් අගමැති හැටියට ඉන්දැද්දි ම මහින්ද අගමැති කරන්න. මහින්දලා රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවෙත් නැහැ. මෛත්‍රිපාල ඒකත් වහෙන් ඔරෝ බාසාවෙන් කිව්වා.



මෛත්‍රිපාල කතාව අස්සෙත් මහින්දට ගැහැව්වා. හෙලිකොප්ටර් කතා කිව්වා. එදා ඔහු කිව්වෙ තමා මහින්දට හෙලිකොප්ටර් දුන්න කියලා අද කියනවා රනිල් තමයි දුන්නෙ කියලා. අපට තේරෙනවා. එදා රනිල්ට යටත් අද යටත් නැහැ. මේවා තේරුමක් නැති වැඩ. වෛරය දික් ගැස්සීමෙන් වාසි රනිල්ට. දහනවයට මෛත්‍රීපාල උදවු කරපු හැටි කිව්ව. ඒකට මහින්දත් උදව් කෙරුවා. මෙතන තමයි ප්‍රශ්නය. මෛත්‍රිපාලයි මහින්දයි දෙන්න ම පනස්හයේ දරුවො. ඒ දෙන්න විරසක වෙලා දෙන්න ම රනිල්ට උදවු කරනවා. රනිල් තවමත් අගමැති. මෛත්‍රිපාල විතරක් නොවෙයි මහින්දත් රනිල්ගෙ ආණ්ඩුව ගෙන යන්න උදවු කරලා. මෛත්‍රිපාල කියන්නෙ රනිල් ඒවට මහින්දට සලකනවා කියා.



මේක හරියට ඇහළෙපොළයි මොල්ලිගොඩයි දෙන්න ම ඩොයිලි ගාවට ගියා වගේ. පස්සෙ ඇහැළෙපොළ බාගෙට වගේ ආපහු ආවා. දෙන්න ම ආපහු ආවා නම් අපි 2015 දි වත් 2018 දි වත් ඩොයිලිටයි සුද්දන්ටයි යටත් වෙන්නෙ නැහැ. අද මෛත්‍රිපාලයි මහින්දයි දෙන්න ම නූතන ඩොයිලිගෙන් කැඩුණෙ නැත්නම් අපට කාලෙකට ගොඩ එන්න බැහැ. 2019 ගැන හිත හිතා ඉන්නෙ නැතිව 2018 කරන්න පුළුවන් දේ ගැන හිතන්න.