Main Logo

Wednesday 6 June 2018

බටහිර විද්‍යාවේ දේශපාලන ආධිපත්‍යය


බටහිර විද්‍යාවේ දේශපාලන ආධිපත්‍යය



ඊයේ පෙරේදා බටහිර භෞතික විද්‍යාවේ ජයග්‍රහණයක් අත්කර ගෙන. ටොප් ක්වාර්ක් නමින් හැඳින්වෙන මූලික අංශුවලට ස්කන්ධය ලබා දෙමින් හිග්ස් බෝසෝන ක්‍රියා කරන අයුරු භෞතික විද්‍යාඥයන් දැකලා. ඒ ගැන වාර්තා පළ වෙනවා. බටහිර භෞතික විද්‍යාඥයන් උද්දාමයට පත් වෙලා. මා හිතන්නේ ඒ ගැන කියවූ පඬියනුත් උද්දාමයට පත් වෙලා.




හිග්ස් බෝසෝනය ගැන කියැවුණෙ හැට ගණන්වල. එයට විිද්‍යාඥයන් කිිහිප දෙනකුම සහභාගි වුණත් වඩාත් ප්‍රසිද්ධ වූයේ පීටර් හිග්ස්. හිග්ස් බෝසෝනය 2012 දී පළමු වරට දැක ගත්තා. හිග්ස්ට 2013 නොබෙල් ත්‍යාගයත් හිමිවුණා. බෝසෝන යනු මූලික අංශු වර්ගයක්. ඒ අංශුවලට එනම ලැබී ඇත්තේ බෙංගාලය් (කොල්කතාවේ) සත්‍යෙන්ද්‍රනාත් බෝස්ගෙන්. ඔහු එංගලන්තයේ සේවය කර තියෙනවා. කෝ එංගලන්තයේ සේවය කරන අපේ විද්‍යාඥයන් කියන අය එහෙම එකක් කරලා නැහැ.



මේ දැක්කා කීවාට කිසිවකු ඒ අංශු දැක නැහැ. අඩු තරමෙන් ඉලෙක්ට්‍රොානයක්වත් දැක නැහැ. භෞතික විද්‍යාඥයන් කරන්නේ යම් යම් ඡායාරූප අර්ථකථනය කිරීමක් පමණයි. අර්ථකථන මගින් මේ රූපය අර අංශුව ආදී වශයෙන් හඳුනාගන්නා.  හිග්ස් බෝසෝනය කියන්නේ හිග්ස් ක්ෂෙත්‍රයෙහි ක්වොන්ටමය (quantum). හිග්ස් ක්ෂෙත්‍රය හැම තැන ම ඇතැයි කියැවෙනවා. ක්වාර්ක් සහ ලෙප්ටොන් නමින් හැඳින්වෙන අංශුවලට ස්කන්ධය ලැබෙන්නේ ඒ අංශු හිග්ස් ක්ෂෙත්‍රය සමග ක්‍රියාකිරීමෙන් බව පැවසෙනවා. අද මේ කියන්නේ ටොප් ක්වාර්ක් (ක්වාර්ක් 6ක් තියෙනවා) අංශුවලට හිග්ස් ක්ෂෙත්‍රයෙන් (හිග්ස් බෝසෝනයෙන්) ස්කන්ධය ලැබෙන අයුරු. එනම් ටොප් ක්වාර්ක් අංශු හිග්ස් ක්ෂෙත්‍රය සමග ක්‍රියා කරන අයුරු.



එහෙත් ස්කන්ධය කියන්නේ කුමක් දැයි තවම දන්නේ නැහැ. අංශුවක අවස්ථිතිය ස්කන්ධයෙන් පෙන්නුම් කෙරෙන්නේ යැයි කියනවා. අයින්ස්ටයින් කියා ඇත්තේ අවස්ථිතිය ශක්තියෙන් ලැබෙන බවයි. ඒ අනුව E=mc*2 සමීකරණය ලබා ගෙන තියෙනවා.



ෆෝටෝනවලටත් (ආලෝක) ශක්තිය තියෙනවා. එසේ නම් ෆෝටෝනවලටත් අවස්ථිතිය තිබිය යුතුයි. ෆෝටෝනවලට ද ස්කන්ධයක් නියම කළ හැකි විය යුතුයි. එය එතරම් ප්‍රශ්නයක් නොවේ. සංඛ්‍යාතිය v වූ ෆෝටෝනයකට   hv/c*2  ස්කන්ධයක් නියම කළ හැකියි. එය ඊනියා නිශ්චලතා ස්කන්ධය නො වෙයි. එහෙත් රාමුවෙන් රාමුවට ෆෝටෝනයේ ශක්තියත් ස්කන්ධයත් වෙනස් විය යුතුයි.



බටහිර විද්‍යාව කියන්නෙ යම් සංයුක්ත සීමාවල වැඩකරන වියුක්ත හිතළු ටිකක එකතුවකට පමණයි(western science is a collection of abstract guesses (abductions) that work concretely within limits). සීමාවෙන් එහා පරස්පර තියෙනවා.



දැන් අප මේ භෞතික විද්‍යාඥයන් කියන සියල්ල විශ්වාස කරනවා. ඒ භෞතික විද්‍යාඥයන් අතළොස්සක් කියන නිසා. ඔවුන්ට සමාජ බලයක් ඇති කර තියෙනවා. මේ එකක්වත් ඒ අයගේ ප්‍රත්‍යක්ෂ දැනුම නොවෙයි. ඒ අර්ථනිරූපණ පමණයි.



එහෙත් ආධ්‍යාත්මික ශක්තිය ලැබූ අයගේ ප්‍රත්‍යක්ෂ දැනුම අප පිළිගන්නේ නැහැ. ඒ අපට ඒ දැනුම ලබාගන්න බෑරි බව කියමින්. අපට හිග්ස් බෝසෝන දැනුම ලබාගන්න පුළුවන් ද? සමහරුන්ට උසස් පෙළ භෞතික විද්‍යාව සමත් වෙන්න බැහැ. ඔවුන් කියනවා අප බෝසෝන විශ්වාස කරනවා එහෙත් දෙවියන් ඉන්න බව විශ්වාස කරන්නේ නැහැ කියා. ඔවුන්ට ආධ්‍යාත්මික ශක්තිය ලබා ගන්නත් බැහැ. ඔවුන් අහන්නෙ කවුරුවක්වත් දෙවියන් ඉන්න බව තම ප්‍රත්‍යක්ෂ දැනුම බව කී පමණින් තමන් එය විශ්වාස කළ යුත්තේ ඇයි කියා. එහෙත් උසස් පෙළ භෞතික විද්‍යාව සමත් වීමට නොහැකි ඔවුන් භෞතික විද්‍යාඥයන් අතළොස්සකගේ ප්‍රත්‍යක්ෂ නොවන අර්ථනිරූපණ දැනුම පිළිගන්නවා. ඒ දේශපාලන ආධිපත්‍යය නිසා.



මා මෙහි උසස් පෙළ භෞතික විද්‍යාව සමත් වීමට නොහැකි කියන්නේ අගෞරවයකට නො වෙයි. ඔවුන් තමන්ට උගන්වා දී ඇති ආකාරයට කියවන්නේ (අර කියවීම යන්න මෙහි දී නම් හොඳ යෙදුමක්)  ඕනෑම අයකුට බටහිර විද්‍යාවේ ඕනෑම දෙයක් ප්‍රතිඵලයක් නැවත ලබා ගැනීමට  හැකි යැයි ඔවුන්ට උගන්වා ඇති නිසා. එහෙත් ටොප් ක්වාර්ක් හා හිග්ස් බොසෝන අන්තරක්‍රියා ප්‍රතිඵල ඔවුන්ට ලබා ගැනීමට හැකි ද? එක් පැත්තකින් අපට ඒ සඳහා ප්‍රතිපාදන නැහැ. අනෙක් පැත්තෙන් අපට ඒ ලබා ගැනීමට හැකියාව හෝ පුහුණුව හෝ නැහැ. මෙවැනි පරීක්‍ෂණවලට සිය ගණනක් සහභාගි වෙනවා. ඒ සිය ගණනින් එක් අයකු වෙන්න බැරි කමක් නැහැ. එහෙත් අදහස් දෙන ප්‍රධාන කිහිප දෙනා අතරට සැමට එකතු වෙන්න බැහැ.



එහෙත් මේ අය දියුණු ආධ්‍යාත්මික ශක්තියක් ලබාගත් අය ප්‍රත්‍යක්‍ෂයෙන් කියන දේ පිළිගන්නේ නැහැ. අතළොස්සක් කී පමණින් පිළිගත යුතු ද කියා අහනවා. ඔවුන්ට ඒ ආධ්‍යාත්මික ශක්තිය ලබා ගන්නත් බැහැ. ලබාගත් අය කියන දේ පිළිගන්නේත් නැහැ. එහෙත් තමන්ට අර පර්යේෂණ කිරීමට බැරි වුවත්  ඒ භෞතික විද්‍යාඥයන් අතළොස්සක් කියන දේ පිළිගන්නවා.



බටහිර විද්‍යාවේ අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට කලක් ගත වෙනවා. ආධ්‍යාත්මික ශක්තිය ගැනත් එය ම කියන්න පුළුවන්. පඬියන් ඒ දෙකෙන එකක්වත් නොකර බටහිර විද්‍යාවේ හා පොදුවේ බටහිර දැනුමේ ආධිපත්‍යය ඉදිරියේ වෙවුලනවා.