Main Logo

Friday, 29 June 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 3


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 3





සිංහලයන්ට ඉතිහාස විඥානයක් තිබූ බව අපේ වංසකතා සාහිත්‍යයෙන් පෙන්නුම් කරනවා. එහෙත් ඒ විඥානය ඉංගිරිසි අධ්‍යාපනයෙන් හා ඕල්කට් බුද්ධාගමෙන් නැති කර තිබෙනවා. අද බොහෝ දෙනා අනුරාධපුරේ යනවා. පසුගිය පොසොන් පොහොයටත් ගියා. එහෙත් ඒ යන්නේ බෞද්ධයන් ලෙස මිස සිංහල බෞද්ධයන් ලෙස නො වෙයි. අප යන්නේ අටමස්ථානය වැඳ පුදා ගැනීමට පමණයි. අප මිහින්තලේත් යනවා. අපට දේවානම්පිය තිස්ස රජු ගැනත් කල්පනා වෙනවා. ගැමුණු රජු ගැනත් කල්පනා වෙන්න පුළුවන්. එහෙත් එපමණයි. ඒ රජවරු ගැනත් හිතන්නේ බෞද්ධ ආකල්පයකින්. ලෝකයේ එක දිගට වැඩි ම කාලයක් අගනුවර ලෙස පැවතුණු නගරය අපට මතක් වෙනවා ද? එහෙම මතක් වෙනවා නම් පැරණි ගල් කණු ලිප් ගල්වලට ගන්නවා ද?



දන්නෝ බුදුන්ගේ ගීතයෙන් වුවත් කියැවෙන්නේ බෞද්ධ විස්තරයක්. මා එය නරක යැයි කියනවා නොවෙයි. අප සිංහල බෞද්ධයන් ලෙසයි එකල ජීවත් වුණේ. ඕල්කට් බුද්ධාගමෙන් සිංහල කොටස අත් හැරියා. ඒ අතර ඉංගිරිසින්ගේ අධ්‍යාපනයෙන් ඉතිහාසය සැක කෙරුණා. ඊනියා ඓතිහාසික චරිත කතාවක් ඉතිහාසයට රිංගවා ඉතිහාසය මිථ්‍යා ප්‍රබන්ධයක් බවට පත් කෙරුණා. එහෙත් මිහිඳු මාහිමියන් ගැන ලියැවුණු සෙල්ලිපි තියෙනවා. දේවානම්පිය තිස්ස ඓතිහාසික රජකු බවට සාක්‍ෂි ඉන්දීය ඉතිහාසයෙන් ද ලබා ගන්න පුළුවන්. ඉන්දියාවට අශෝක කෙනකු හිමි වූයේ මහාවංසය නිසයි. සිංහබාහු ගැන ලියැවුණු මැටි බඳුන් කොල්කතාවට නුදුරින් ලැබී තියෙනවා. ඊනියා උගතුන් හෙවත් කව් ඇන්ඩ් ගේට් පඬියන් සුද්දන්ගේ එළදෙනුන්ගේ කිරි බී සුද්දන් අනුව ඇවිදිනවා. ඒ ආධ්‍යාත්මික ව මියගිය මළකඳන් ලෙස.



මා මේ කෙටි සටහනක් එසේ ලියුවේ දැනට අවුරුදු විසිපහකට ඉහත මා දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ගැන දිවයින පුවත්පතට ලියද්දී (එකල පඬි පෝතකයන් දණ ගානවා වෙන්න පුළුවන්) එහි කතෘ මණ්ඩලයෙහි එක් අයකු මට කීවේ ඉතිහාසය ගැන නොලියා වර්තමානය ගැන ලියන්න කියා. මා ඔහුට සවන් දුන්නේ නැහැ. අද සිංහලයන්ගෙන් ඉතිහාස විඥානය නැති කරලා. දෙරණේ විකාශය වෙන සිඳු, දෝන කතිරිනා, දෙවෙනි ඉණිම නාට්‍යවලින් අඩුවෙන් ම නරඹන්නේ  දෝන කතිරිනා විය යුතුයි. අවශ්‍ය නම් නියැදි තෝරාගෙන පඬි සමීක්‍ෂණයක් කරන්න. එය කේ බී හේරත්ගේ වරදක් නො වෙයි. අපේ වත්මන් සංස්කෘතියේ වරදක්.



ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජනත්වය වැඩි කර ගැනීමේ සටනක යෙදුණු දෙමළ වෙල්ලාල නායකයන් රටේ ම නායකයන් බවට පත්වුණා. 1915 ඉංගිරිසින්ගේ අනුග්‍රහය යටතේ මුස්ලිමුන් සිංහල බෞද්ධයන්ට එරෙහි ව නැගී සිටි අවස්ථාවේ පොන්නම්බලම් රාමනාදන් සිංහලයන් වෙනුවෙන් කතා කළා. ඔහු සිංහලයන් වෙනුවෙන් කතා කෙළේ ඒ සඳහා සිංහල නායකයන් නොසිටි බැවින් දැයි කිසිවකු අසන්නේ නැහැ. එයට හේතුව වෙනත් කිසිවක් නොව එවකට රටේ නායකයා වූයේ පොන්නම්බලම් රාමනාදන් වීමයි. එමෙන් ම මුස්ලිම් නායකයන් රාමනාදන් වෙනුවට තමන් වෙනුවෙන් මුස්ලිම් නියෝජිතයකු ම ව්‍යවස්ථාදායක සභාවට යැවීමත් එයට තවත් හේතුවක් වන්නට ඇති.



මා රාමනාදන් සිංහලයන් වෙනුවෙන් කළ මෙහෙයට අකෘතඥ වෙනවා නො වෙයි. එහෙත් මා අසන්නේ සිංහලයන් වෙනුවෙන් කතා කිරීමට සිංහල නායකයකු නොසිටියේ ද යන්නයි. බොහෝ සිංහල බෞද්ධ නායකයන් ඒ අවස්ථාවෙහි සුද්දන් විසින් සිරභාරයට ගැණුනු බව ඇත්ත. එහෙත් සිරගත නොවූ සිංහල නායකයන් සිටියා. මෙහි දී රාමනාදන් රටේ දේශපාලන නායකත්වයට පත් ව සිටි බව අමතක කරන්න බැහැ. අප ඒ කරුණ වැදගත් ලෙස සලකනවා.



රාමනාදන් එංගලන්තයට ගොස් සිංහල නායකයන් වෙනුවෙන් කතා කර ආපසු පැමිණි අවස්ථාවේ දී කොළඹ වරායේ දී සිංහල නායකයන්ගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණා. සිංහල නායකයන් රාමනාදන් රික්ෂෝවක නංවා තමන් ම රික්ෂෝව ඇද ගෙන ගියා. එය හුදු කෙළෙහි ගුණ සැලකීමක් නොවෙයි. රාමනාදන් තම නායකයා ලෙස පිළිගැනීමත් එයින් පිළිබිඹු වුණා. අද රික්ෂෝ දකින්නට නැහැ. අප කුඩා කළත් රික්ෂෝ තිබුණා. එහි එක් අයකු නංවා තවත් අයකු ඇද ගෙන ගියා. ඒ ඇද ගෙන ගියා තැනැත්තා අසරණ දුගියකු වූවා. සිංහල නායකයන් රාමනාදන්ට කෙළෙහි ගුණ දක්වන අතර රාමනාදන් තම ස්වාමියා නායකයා බව ද පිළිගත්තා.



බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන ම මන්ත්‍රී ධුරයක් ඉල්ලූ අවස්ථාවේ දෙමළ නායකයන් එයට විරුද්ධ වුණා. එසේ වුවහොත් සිංහල නියෝජිත සංඛ්‍යාව වැඩි වේය යන බිය දෙමළ වෙල්ලාලයන්ට තිබුණා. මේ පිළිබඳ විස්තරයක් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි ඇති. ඒ කෘතිය පළ වී අවුරුදු විසිපහකට වැඩි නමුත් එහි අදහස් සමාජයට ගියේ නැහැ.



දෙමළ ජාතිවාදයේ ඉතිහාසය නොදැනීම නිසා තමයි නන්දිකඩාල් සටනින් ජයග්‍රහණය කරලත් අප පරාද වී තියෙන්නේ. රණ විරුවන් හිරේ යද්දී කොටි ත්‍රස්තවාදීන් එළි පිට ආයුධ රැගෙන වීදි සංචාරය කරන්නේ. අප දිනුවේ මොකක් ද කියා අප දන්නේ නැහැ. අප හිතන්නේ ප්‍රභාකරන් පරාජය කළ බව පමණයි. නන්දිකඩාල් සමග දෙමළ ජාතිවාදය ම පරාජය වූ බව අප නොදන්නේ අප දෙමළ ජතිවාදයේ විකාශය නොදන්නා නිසයි. අප පරාජය කෙළේ ප්‍රභාකරන් පමණක් නො වෙයි. ප්‍රභාකරන් සමග ඔහුගේ බාප්පලා හා මස්සිනාලාත් පරාජය කෙරුණා. එහෙත් ඉතිහාසය මිථ්‍යා ප්‍රබන්ධයක් බවට පත් කෙරී ඇති රටක ඕල්කට් බුද්ධාගම රජයන රටක තකතීරු ඇමතියන්ට බඩ පිනුම් ගහන්න අවස්ථාව ලැබිලා.