Main Logo

Wednesday 27 June 2018

මුතුකුඩ හා ඊනියා තුන්වැනි ලෝකයේ මළකඳන්


මුතුකුඩ හා ඊනියා තුන්වැනි ලෝකයේ මළකඳන්



බොහෝ දේ ලිවීමට තිබුණත් මේ ලිපිය ප්‍රමාද කිරීමට බැහැ. මුතුකුඩ නාට්‍ය ගැන අදහස් කිහිපයක් යනුවෙන් පළ වූ ලිපියට ප්‍රතිචාර දැක් වූ පඬි පෝතකයකු මේ මුතුකුඩ ගැන දැයි අසා තිබුණා. පඬියන් හා පඬි පෝතකයන් මගේ ශෛලිය තවමත් දන්නේ නැත්නම් එයින් කියැවෙන්නේ ඔවුන්ගේ අල්තාර ශෛලියයි. මගේ ශෛලිය හාමුදුරුවරුන්ගේ බණ ශෛලිය මිස අල්තාර ශෛලිය නො වෙයි. හාමුදුරුවන් ධර්ම දේශනා කරන්නේ ඇතැම් විට යම් සූත්‍ර පාඨයක් ගෙන හැර දක්වමින්. එහෙත් උන්වහන්සේලා ඒ වටා තවත් බොහෝ කතා දේශනා කරනවා. කාට හරි හිතෙන්න පුළුවන් ඒ කතා සූත්‍ර පාඨයට අදාළ නැහැ කියලා. එහි අදාළත්වය තේරුම් ගන්නට අල්තාර ශෛලියෙන් බැහැර වෙන්න ඕන. මේ ශෛලි අතර වෙනසත් රේඛීය හා චක්‍රීය චින්තන අතර තවත් වෙනසක්.




මුතුකුඩ නාට්‍යය ගැන ලියන විට මා ලිව්වා කේ බී හේරත් සමග මා කතා කර ඇත්තේ දෙවතාවක් කියලා. එය සමහර විට වැරදි වෙන්න පුළුවන්. බිම්බා නාට්‍යය නැරඹීමට ලුම්බිණියට ගිය දිනත් සමහර විට කතා කරන්න ඇති. බිම්බා හොඳ නාට්‍යයක්. එහෙත් එය ජනප්‍රිය වුණේ නැහැ. මා කලින් කීවාක් මෙන් හේරත්ට යම් ජාතිකත්වයක් තියෙනවා. දෙරණටත් තියෙනවා. එහෙත් එහි හෙනහුරාලත් සිටින බව දැනෙනවා. දෝන කතිරිනාත් මා නරඹනවා. දෙවෙනි ඉනිම නම් දැන් බනින්නවත් නරඹන්නේ නැහැ. එය හෙනහුරු නාට්‍යයක්. දෙරණේ ඇතැමුන් හිතන්නේ මා කරන්නේ බණින එක පමණයි කියා. ඔවුන් අපේ මතවාදවලට ඉඩක් දෙන්නේ නැහැ.



මේ ලිපියේ අරමුණ මුතුකුඩ නාට්‍යයෙන් මතු වුණු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ පුතාගේ කතාව තවත් වර්ධනය කිරීමයි. ඒ පුතා නාට්‍යයේ ඉතාමත් සුළු ම සුළු චරිතයක්. එහෙත් මට නම් එය ඉතාමත් වැදගත් චරිතයක් වුණා. ඒ ඔහු සුද්දන්ගේ පාසලක, සුදු මහත්තුරුන්ගෙ ළමයින් යන පාසලක දී මැරුණු නිසා. මා එය සලකන්නේ මිනී මැරුමක් ලෙස. අර විදානෙ ඒක දැන හිටියේ නැහැ. මා කලින් ලිපියේ ඕජස් ගලන ඇවිදින මළකඳන් ගැන කිව්වේ වත්මන් අධ්‍යාපනයෙන් අප මරා දමා ඇති නිසා. 1963 සිට අවුරුදු පනහකට වැඩි කාලයක් මා විශ්වවිද්‍යාල සමග ඇසුරක් පවත්වා ගෙන ගියා. දෙවතාවකට අවුරුදු දොළහක් පමණ මා විශ්‍රාම ගන්වනු ලැබ සිටියත් මගේ ඇසුර නැවතුණේ නැහැ. මගේ භාර්යාව හා දරුවන් මගින් ඒ ඇසුර මා පවත්වා ගෙන ගියා. දැනට අවුරුදු දෙකකට ඉහත ඒ ඇසුර නැවතුණා. අර සියයට හය ලැබුණ ද? අර්ථසාධකයට මොකද වෙන්නෙ? මට නම් එච්චර අර්ථසාධකයක් ලැබුණෙ නැහැ. ඒත් මාත් භාර්යාවත් ජීවත් වන්නෙ භාර්යාවගේ අර්ථසාධකය බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබෙන පොලියෙන්. ඒ පොලියත් එන්න එන්න අඩු වෙනවා.  



අර ඕජස් ගලන ඇවිදින මළකඳන් බැලීමට සුදුසු ම තැන විශ්වවිද්‍යාල. මේ මළකඳන් සමහර විට වාම මළකඳන්. ඔවුන්ගෙත් දකුණ මෙන් ම වමත් කුණු වෙලා. එහෙත් ඔවුන් ඒ බව දන්නේ නැහැ. ඔවුන් අධිරාජ්‍ය විරෝධී මළකඳන්. එහෙත් ඔවුන්ගේ අධිරාජ්‍ය සංකල්පය ලෙනින්ගේ. ඔවුන් අධිරාජ්‍යවාදයට සේවය කරන අය විවේචනය කරනවා. ධනපති පංතිය විවේචනය කරනවා. වම දකුණ අද ඇත්තේ හමුදා සරඹවල පමණක් බවත් ඔවුන් දන්නේ නැහැ. මළකඳන් ඒ බව දැනගන්නේ කෙසේ ද? ඔය අතර නොමැරී ජීවත් වන කිහිප දෙනකුත් විශ්වවිද්‍යාලවල ඉන්නවා.



මේ මළකඳන් අධිරාජ්‍යවාදයට සේවය කරන ජාතික ධනේශ්වරය, සුළු ධනේශ්වරය ආදිය ගැන කියන්නෙ ඔවුන් කාට සේවය කරනවා කියලා හිතා ගෙන ද? ඔය ලෙනින්ගෙ අධිරාජ්‍යවාදය මට වැඩක් නැහැ. අධිරාජ්‍යවාදය ධනවාදයේ උච්චතම අවස්ථාව ද? ධනවාදය අවසන් කරන කම්කරු පංතිය ඉන්නේ කොහේ ද? මෙරට කම්කරුවන්ට ඊනියා සුළු ධනේශ්වර අදහස් තියෙනවා ද? කම්කරුවන්ගෙ දරුවන් යන්නෙ මොන පාසල්වලට ද? රාජකීය විදුහල හා නවෝද්‍යා පාසලක් අතර වෙනස කුමක් ද? ජාතිකත්වයක් ඇත්තේ මොන පාසල්වල ද? ඊනියා බෞද්ධ පාසල්වල ද?



අපට යටත්විජිතවාදය ගැන අවබෝධයක් තියෙනවා. අප බටහිර යටත්විජිතවාදය ගැන මෙන් ම එයට පෙර තිබූ යටත්විජිතවාද ගැනත් දන්නවා. ඒ වෙනස්වන ආකාරයත් දන්නවා. දේශපාලන ආර්ථික සංස්කෘතික යටත්විජිතවාද ගැන අප ලියා ඇති. ආර්ථික යටත්විජිතවාදයට හා දේශපාලන යටත්විජිතවාදයට වඩා භයානක සංස්කෘතික යටත්විජිතවාදය. අර ඕජස් ගලන ඇවිදින මළකඳන් සේවය කරන්නේ සංස්කෘතික යටත්විජිතවාදයට. ඔවුන්ගේ ස්වාමියා මැකෝලි සාමි. මැකෝලිගෙ අණට තමයි මළකඳන් ඇවිදින්නෙ. ඉන්දියාව ගැන කියද්දි මැකෝලි කතා දෙකක් කියා තියෙනවා. එකකට අනුව ඉන්දියාවෙ එතෙක් පළවෙලා තිබුණු පොත්පත් එංගලන්තයෙ පුස්තකාලයක එක් රාක්කයක ඇති පොත් තරම් වටින්නෙ නැහැ. දෙවැන්න ඔහු බලාපොරොත්තු වූ දෙයක් ගැන. ඔහුට අවශ්‍ය වූයේ අධ්‍යාපනය මගින් හමෙන් දුඹුරු මනසින් සුදු පිරිසක් බිහි කරන්න.



බටහිරයන් දෙවැන්න නම් සාර්ථක ව කළා. එයින් තමයි ඕජස් ගලන ඇවිදින මළකඳන් ඇති වුණෙ. කැප්පටිපොළ නිළමෙගෙ පුතා මා කලින් කීවාක් මෙන් ආධ්‍යාත්මක ව මරන්න කලින් ශාරීරික ව මියගිහින්. විදානෙ දන්නෙ නැහැ මළේ කොහොම ද කියලා. අධ්‍යාපනයෙන් අද කෙරෙන්නෙ අප ආධ්‍යාත්මික ව මරා දැමීමයි. හොඳට ම කුණු වෙච්ච ශරීර විශ්වවිද්‍යාලවලට ගන්නවා. මේ මළකඳන්වලට ඊනියා අධිරාජ්‍යවාදී ආර්ථිකය හා දේශපාලනය විවේචනය කරන්න තියෙන සදාචාරය කුමක් ද? මළකඳන්වලට ඇති සදාචාරය කුමක් ද? ඒ කොහොම වෙතත් ලංකාව වැනි රටවල යටත්විජිතවාදය පවත්වාගෙන යනු ලබන්නෙ ධනේශ්වරය විසින් නො වෙයි. මේ මළකඳන් ටික. ඉඳුනිල් ප්‍රසන්න කියලා තිබුණා එයා මොන්ටිසොරි යන කාලෙත් ලංකාව තුන්වැනි ලෝකයේ රටක්. දැනුත් තුන්වැනි ලෝකයේ රටක් කියලා. එහෙම නූණා නම් ඕජස් ගලන ඇවිදින මළකඳන්වලට ලිපි ලියන්න, දෙරණේ සහ වෙනත් නාළිකාවල පඬි වදන් කියන්න, තව තවත් ඕජස් ගලන්න අවස්ථාවක් ලැබෙනවා ද? තුන්වැනි ලෝකයක් නැතිව මළකඳන් නැහැ. මළකඳන් නැතිව තුන්වැනි ලෝකයකුත් නැහැ.