Main Logo

Thursday 21 June 2018

ට්‍රම්ප් සෙයිඩ් කුමරු අත්හරියි




ට්‍රම්ප් සෙයිඩ් කුමරු අත්හරියි



ඇමරිකා එක්සත් රාජ්‍ය එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයෙන් අස්වෙලා. රාජ්‍ය ලේකම් ද සහභාගි වූ මාධ්‍ය හමුවක දී ඔවුන් පවසා ඇත්තේ මානව අයිතිවාසිකම් මණ්ඩලය දේශපාලන වශයෙන් පක්‍ෂපාති වළක් බවත් තමන්ට ම සේවය කරගන්නා ආයතනයක් බවයි. ඒ මණ්ඩලයෙන් මානව අයිතිවාසිකම් විගඩමක් බවට පත්වී ඇති බවත් කියා තිබෙනවා. මේ තීරණය පිටුපස ඇත්තේ ඊශ්‍රායල ගාසා තීරයේ සිදු කර ඇතැයි කියන මානව අයිතිවාසිකම් කඩ කරීම්වලට විරුද්ධව මානව අයිතිවාසිකම් මණ්ඩලය යෝජනා සම්මත කිරීම්.





එහෙත් එය ආසන්න ම සිදුවීම. ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසුව ලෝක දේශපාලනයේ සිදු වූ තවත් වැදගත් සිද්ධියක් බවට මෙය පත් වෙලා. ට්‍රම්ප් ටික දවසකට කලින් ඊශ්‍රායලයේ එක්සත් රාජ්‍ය තානාපති කාර්යාලය ජේරුසලමට ගෙන ගියා. එයට පලස්තීනයන් විරුද්ධ වුණා. ජේරුසලමේ අයිතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. කවුරු හරි කියන්න බැරි නැහැ ට්‍රම්ප්ගේ බෑණා යුදෙව්වකු නිසා ට්‍රම්ප් මෙවැනි පියවර ගන්නවා කියා.



ලංකාවේ අපටත් මේ තීරණය වැදගත්. මංගල සමරවීර ලංකාවට විරුද්ධ ව ජෙනීවා හි දී යෝජනා ඉදිරිපත් කෙළේ ඇමරිකා එක්සත් රාජ්‍ය සමගයි. එකල ට්‍රම්ප් හිටියේ නැහැ. ඒ යෝජනා ලංකාව ඊනියා මානව අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳ ව. එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය ලංකාව විරුද්ධ ව යෝජනා ඉදිරිපත් කරන විට (මහින්ද සමයේ ලංකාව නියෝජනය කළ ඇතැමුන්ගේ ද විරුද්ධතාවක් නැතිව) මෙරට පඬියන් කිව්වේ ඒ ඒ රටවලට තනිව ක්‍රියා කිරීමට බැරි බවත් ලෝකයේ අනෙක් රටවල් අප වරදක් කළහොත් අපට දඬුවම් දෙනු ඇති බවත්.



දැන් එක්සත් රාජ්‍ය මානව අයිතිවාසිකම් මණ්ඩලයෙන් අස්වෙලා නිසා අපට සහනයක් ලැබේවි කියා හිතන්න එපා. යුරෝපා සංගමය අපට විරුද්ධයි. එංගලන්තයත් විරුද්ධයි. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් වාර්තා 1815 සිට අපට ඉදිරිපත් කරන්න පුළුවන්. මිනිස් ඝාතනවලට අමතර ව අපේ මානව අයිතිවාසිකම් කඩ කරමින් අපේ සිතුම් පැතුම් වෙනස් කර මෙරට පඬියන් පුස්සන් කිරීමත් අපට එංගලන්තයට නෙදර්ලන්තයට හා පෘතුගාලයට එරෙහි ව ඉදිරිපත් කරන්න පුළුවන්. මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කර ඔවුන් වහළුන් කිරීම කියන්නේත් ජීවිත ඝාතන. ඇතැම් විට එය වඩාත් භයානක වෙන්න පුළුවන් ඒ පුස්සන් ජීවත් ව  සිටිය දී තව තවත් රටට විරුද්ධව අපරාධ කරන බැවින්.



එංගලන්තය කියා තියෙනවා එක්සත් රාජ්‍ය අස්වීම කණාගාටුවට කරුණක් කියා. ඒ සුපුරුදු ඉංගිරිසි රාජ්‍ය තාන්ත්‍රික හිස් කියමනක්. එංගලන්තය තරම් සටකපට රටක් ලොවේ නැහැ. දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නේ ඉංගිරිසින් විසින්. දෙමළ ජාතිවාදය මෙරට දේශපාලන වශයෙන් 1833 දී බෞතීස්ම කෙළෙත් ඔවුන්. මෙරට ඇතැම් ඉංගිරිසි කතාකරන සිංහල ජාතිකවාදීන් ඒ කීම සමග එකඟ වන්නේ නැති බව මා දන්නවා.



මේ කවුරු මොනවා කළත්  මේ සිදු වෙමින් පවතින්නේ ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහ සංස්ථාපනයේ වෙනස් වීමක්. පඬියකු අහන්න පුළුවන් ඒ මොකක් ද ඒක තියෙන්නෙ කොහෙ ද කියා. පඬියන් දන්නේ බටහිරයන් සංස්කරණය කළ දැනුම් පමණයි. මේ සංස්ථාපනය තියෙන තැනක් නැහැ. ජෙනීවාත් එය ක්‍රියාත්මක වන එක තැනක්. ට්‍රම්ප් මේ සංස්ථාපනයට විරුද්ධයි. ඔහු සංස්ථාපන සංස්කෘතියේ නො වෙයි. අප ඒ බව කියන්නේ ඔහු ජනාධිපති වූ දිනවල සිට ම.



එක්සත් රාජ්‍ය කියන විට මානව අයිතිවාසිකම් මණ්ඩලය පක්‍ෂපාති කියා ප්‍රශ්නයක් ඇති වෙනවා මේ කාට ද පක්‍ෂපාතී කියා. පඬියන් කියන විධියට ධනපති පංතියට ද, ධනේශ්වර ක්‍රමයට ද? අද දේශපාලනය ධනවාදය සමාජවාදය ආදී සංකල්පවලින් තේරුම් ගන්න බැහැ. රුසියාව උතුරු කොරියාව සමග ට්‍රම්ප් සම්බන්ධකම් පවත්වනවා. ඔහු නේටෝ රටවල් සමග ඒ ආකාරයේ සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. ජී 7 කණ්ඩායම සමගත් එසේමයි.



යුරෝපයේ ඊනියා ජාතික රාජ්‍ය ඇතිවුණාට පසු එයට උඩින් මේ සංස්ථාපනය ගොඩනැගුණා. එය වියුක්ත වූවක්. එය පවතින තැනක් නැත්තේ එබැවිනුයි. එය පදනම් වී ඇත්තේ ප්‍රංශ විප්ලවයේ අදහස් මත. මාක්සවාදයටත් ප්‍රංශ විප්ලවය අත්පොතක් වුණා. එහෙත් අද මේ සංස්ථාපනය කඩා වැටීම ආරම්භ වෙලා. රටවල් සංස්ථාපනයෙන් නිදහස් වීමට උත්සාහ කරනවා. ට්‍රම්ප් කරන්නේ එයට මග පෙන්වීමක්.



අපත් සංස්ථාපනයට විරුද්ධයි. ජාත්‍යන්තර පොලිස් කාරයා මේ සංස්ථාපනයයි. ලංකාව, මියන්මාරය වැනි රටවල්වල ඊනියා මානව  අයිතිවාසිකම් කඩ කිරීම් ගැන හොයන්නේ මේ සංස්ථාපනයයි. බන්ධනාගාරගත භික්‍ෂූන් වහන්සේට ජම්පර ඇන්දවීමට බල කරන්නේ සංස්ථාපනයයි. සිවල් සාමාජිකයන් පමණක් නොව නීතිඥයන් බහුතරයක් සේවය කරන්නේත් මේ සංසාථාපනයටයි. කෙටියෙන් කියනවා නම් අපේ නිදහස නැති කරන්නේ මේ සංස්ථාපනයයි.



සංස්ථාපනය බිඳකින් හරි දුර්වල වනු දැකීම මගේ සතුටට කරුණක්. ට්‍රම්ප්ගේ වැරදි නැතිවා නො වෙයි. එක්සත් රාජ්‍ය මානව අයිතිවාසිකම් විගඩමෙන් අස්වීම ගැන මා සතුටුයි. ට්‍රම්ප් තව අවුරුදු දෙකක් ඉන්නවා. අප ට්‍රම්ප් සමග ඇයි හොඳයිකම් පැවැත්වීමට, පුටින් සමග සබඳකම් තර කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඊනියා යහපාලනයට තබා ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ටත් මේ තේරෙන එකක් නැහැ. පුටින් සමග සම්බන්ධකම් තර කර ගන්න යම් ආකාරයක නමුත් මාක්ස්වාදියකු යවා බැහැ. මාක්ස්වාදීන් අවසාන වශයෙන් ගත් කල සංස්ථාපනයට පක්‍ෂයි. ජාත්‍යන්තර සම්බන්ධකම් රටක් හා තවත් රටක් අතර මිස ඊනියා ජාත්‍යන්තර සංවිධාන සමග විය යුතු නැහැ.