Main Logo

Sunday 10 June 2018

වල්මත් වූ ජාතියක්




වල්මත් වූ ජාතියක්



අප මොන තරම් වල්මත් වෙලා ද කියන එක දේශපාලනයෙන් පැහැදිලි වෙනවා. අද ශ්‍රී ල නි පක්‍ෂය ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියලා කියනවා. මා දැක්කා ගුණදාස අමරසේකරත් එහෙම කියලා තියෙනවා. ශ්‍රී ල නි ප ආණ්ඩුවෙන් ඉවත් වෙලා මොකද කරන්නෙ. සියළු දෙනා ම විරුද්ධ පක්‍ෂයට යනවා ද? ඒකාබද්ධ විපක්‍ෂෙ සාමාජිකයො වෙනවා ද? පොහොට්ටුවෙත් සාමාජිකයො වෙනවා ද?




ඒකාබද්ධ විපක්‍ෂෙ සමහරු දහසය දෙනාගෙ කණ්ඩායමට කියනවා පොහොට්ටුවෙ සාමාජිකත්වය ගන්න කියලා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂෙ කී දෙනෙක් පොහොට්ටුවෙ සාමාජිකයො ද? මහින්ද පොහොට්ටුවෙ සාමාජිකයෙක් ද කියලා මා දන්නෙ නැහැ. වාසුදේව හරි දිනේෂ් හරි පොහොට්ටුවෙ සාමාජිකයො ද? ඔවුන් පෙබරවාරි මැතිවරණයෙ දී පොහොට්ටුවෙ රැස්වීම්වල කතා කළ බව ඇත්ත. ඒත් ඒකෙන් තේරෙන්නෙ නැහැ ඔවුන් පොහොට්ටුවෙ සාමාජිකයො කියලා.



ප්‍රසන්න රණතුංග කියනවා එයා සුදර්ශනීට ඡන්දෙ දුන්නෙ නැත්තෙ කටානෙ පළහිලව්වකට කියලා. සමහරු කියනවා ප්‍රසන්නට ගම්පහ දිස්ත්‍රික්කෙ  ප්‍රශ්න තියෙනවා කියලා. තාම මනාප පොරයත් තියෙනවා. සුදර්ශනීට ඡන්දෙ නුදුන්නෙ ඇයි කියලා එක එක හේතු දක්වන්න පුළුවන්. ඒත් අන්තිමේදි වෙලා තියෙන්නෙ රනිල්ගෙ අපේක්‍ෂකයා දිනපු එක. ඒ කියන්නෙ රනිල් තවත් වරක් ජයගත්ත කියන එක.



කවුරු හරි කියන්න පුළුවන් ඡන්දෙ දුන්නත් නැතත් සුදර්ශනී පරදිනවා කියලා. එහෙම වෙන්නත් පුළුවන්. ඒ වුණත් රනිල්ට විරුද්ධව පෙරමුණක් කියන එක බොහෝ මන්ත්‍රීවරුන්ගෙ හිත්වල නැහැ. ඒ කියන්නෙ ප්‍රමුඛතාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අද වැදගත් ම දේ ප්‍රමුඛතාව දිය යුතු දේ රනිල් ඉවත් කිරීම කියන එක බොහෝ මන්ත්‍රීවරුන්ගෙ විතරක් නොවෙයි ඔවුන්ගෙ අනුගාමිකයන්ගෙත් හිත්වල නැහැ.



මහින්ද කියලා තිබුණ ජාතික දේශපාලනයයි ප්‍රාදේශීය දේශපාලනයයි පටලවා නොගත යුතු බව. ඒක ප්‍රසන්න ඇතුළු කණ්ඩායමට කිව්වද කියන එක පැහැදිලි නැහැ. එහෙත් ඒ කතාව පැත්තකට දාලා අපට අහන්න වෙන්නෙ මහින්ද ඡන්දෙ දෙන්න ආවෙ නැත්තෙ මොක ද කියලා. මහින්ද පටලවා ගෙන තියෙන්නෙ මොකක් ද? ඒකාබද්ධ විපක්‍ෂෙ අයට සුදර්ශනීට ඡන්දෙ දෙන්න කියලා තමන් ඡන්දෙ දෙන වෙලාවට හිටියෙ නැත්තෙ ඇයි කියලා දිනේෂ් ගුණවර්ධනවත් වෙන අයකුවත් මහින්දගෙන් අහන එකක් නැහැ.



ගුණදාස අමරසේකර ශ්‍රී ල නි පක්‍ෂය ඊනියා ජාතික ආණ්ඩුවෙන් යන්න ඕන කියන්නෙ මෛත්‍රිපාල එක්ක ශ්‍රී ල නි පක්‍ෂය ද නැත්නම් මෛත්‍රිපාල නැතිව ශ්‍රී ල නි පක්‍ෂය ද? ඒ මොනව කළත් එයින් වෙන්නෙ රනිල් බලවත් වෙන එක. මෛත්‍රිපාලත් එක්ක ම ශ්‍රී ල නි ප අයින් වුණොත් රනිල් ජනාධිපති වේවි. ශ්‍රී ල නි පක්‍ෂයයි (දහසය දෙනත් ඇතුළුව) ඒකාබද්ධ විපක්‍ෂයයි එකතු වෙලා රනිල් අගමැති කමෙන් ඉවත් කරලා නව ආණ්ඩුවක් හදන්න යෝජනා කරන්නෙ නැත්තෙ ඇයි?



ඇතැමුන් කියන්න පුළුවන් මෛත්‍රිපාල විශ්වාස නැහැ කියලා. ඒකෙ ඇත්තක් නැතිවා නො වෙයි. දයාන් ජයතිලක රුසියාවෙ ලංකා තානාපති කරන්න යනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. දයාන් ලක්බිම පත්තරේට කියලා තිබුණ ගෝඨාභය යන මග වැරදි කියලා. ඒ ඔහු එළියෙන් හා වියත්මගෙන් පැත්තකට කළාට පස්සෙ. ඔහු හදිසියෙන් තේරුම් අරන් ගෝඨාභය වටා ධන කුවේරයන් ඉන්නවා කියලා. ඔවුන් කලින් හිටියෙ නැද්ද?



දයාන් විවිධ පක්‍ෂවල කල්ලිවල කරක් ගහපු අයෙක්. ඔහු ඊනියා දේශපාලන විද්‍යඥයෙක්. ඔහුගෙ කැරැට්ටුව කියන්න අවශ්‍ය වන්නෙ නැහැ. ඔහුට ගෝඨාභයගෙන් ඉවත් වෙලා මෛත්‍රිපාල ළඟට යන්න කොහොමටත් රුසියාවට යන්න තරම් වෙලා යන්නෙ නැහැ. මෛත්‍රිපාලත් මිනිසුන් නැතිව කා හරි ළඟා කර ගන්න බලනවා.



මෛත්‍රිපාලට දර්ශනයක් දැක්මක් නැහැ. ඔහු අද හැසිරෙන්නෙ බලාපොරොත්තු සුං වූවකු ලෙසින්. එය ඔහුටවත් රටටවත් හොඳ නැහැ.  අවාසනාවකට මහින්දටත් දැක්මක් නැහැ. එහෙත් රනිල්ට දැක්මක් තියෙනවා. ඒ නිසා රනිල් මෛත්‍රිපාලගේත් මහින්දගේත් ආධාරයෙන් බලයේ රැඳී ඉන්නවා. ඔහු විස්ස සහ තවත් පනත් ගේනවා. ඔහුට අර්ජුන් මහේන්ද්‍රන්ට වගේ ගෙවල් මාරු කරන්න වුවමනාවක්වත් නැහැ. එ ජා ප නායකත්වයෙන් ඉවත් වෙන්න වුමනාවක්වත් නැහැ.



ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මට පස්සෙ රනිල් එක්ක තරගයට කවුද යන්න ප්‍රශ්නයක්. අප හොඳට ම වල්මත් වෙලා. ශ්‍රී ල නි පක්‍ෂයට ආණ්ඩුවෙන් යන්න කියනවා ගිහින් කරන්නෙ මොකක් ද කියලා දන්නෙ නැතිව. අප 2018 තවත් 1818ක් කරගන්න යන්නෙ.