Main Logo

Monday 12 October 2020

කොවිඩ් 19 තියෙනවා ද? ලෙඩ්ඩු ඉන්නවා ද? ඉරිදා දිවයින තියෙනවා ද?

 කොවිඩ් 19 තියෙනවා ද? ලෙඩ්ඩු ඉන්නවා ද? ඉරිදා දිවයින තියෙනවා ද?


බටහිර වෙදකම හැරෙන්න තවත් වෙදකම් තියෙනවා. ඒ ඔක්කොම කවුරු කවුරු හරි මිනිසුන් සකස්කරපු ඒවා. ඒවයේ ඇති ඊනියා සත්‍යයක් නැහැ. සත්‍යය කියන්නෙ ඇති දේට. සත්බව කියන්නෙ ඇති කියන එක. ලෝකය ම අපි සංස්කරණය  කර ගත් දෙයක්. නැත්නම් අප එකිනෙකාගේ ලෝක කියන්නෙ අප සංස්කරණය කර ගත් දේ. එහෙම කියන එකත් හරි නැහැ. දේ කියන්න යමක් තියෙන්න ඕන. අපේ භාෂා මා දන්න තරමින් හදාගෙන තියෙන්නෙ මේ ඇතිබව නැත්නම් සත්බව මුල් කර ගෙන. අපට ඒ සත්බව නැතිව කතා කරන්න ලියන්න හිතන්න සන්නිවේදනය කරන්න බැහැ. ඒක හරි අවුලක්. අවුලක් කිවුවට අවුලත් අපේ ම සංස්කරණයක්. 


නීල් බෝර් වරක් කියල තියෙනව ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ තියෙන ලොකුම ප්‍රශ්නය ඒක විස්තර කරන්න වෙන්නෙ සමභාව්‍ය භෞතික විද්‍යාවෙ සංකල්ප යොදා ගෙන කියල. බෝර්ලගෙ කෝපන්හේගන් විවරණයත් අවුලක්. ක්වොන්ටම් විවරණ ඔක්කො ම අවුල් ජාලයක්. ජාල කිව්ව ම බ්‍රහ්මජාල සූත්‍රය මතක් වෙනව නම් හොඳයි.  බෝර්ට තරමකට හරි පෙරදිග දර්ශන ගැන දැනුමක් තිබුණ. මෙරට පඬියන්ට පෙරදිග දර්ශන ගැන කිසිම හැඟීමක් නැහැ. බෝර් කියල තියෙන  කතාව, නැත්නම් බෝර්ගෙ ප්‍රශ්නය  තවත් දුරට ගෙනිච්ච ම අපට මා බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය කියල හඳුන්වන ප්‍රශ්නය හමුවෙනවා. මුකුත් නැති එක, මුකුත් තියෙනව කියන භාෂාවකින් ශූන්‍යය ගැන කියන්නෙ කොහොම ද කියන එක. කොටින් ම සංකල්ප නැති බව සංකල්පවලින් කියන්නෙ කොහොම ද කියන එක. 


අප (අප කියන එකත් වැරදියි)  සම්මුතියෙන් තමයි ලෝක හදන්නෙ, වැඩ කරන්නෙ. ඒකෙන් කියන්නෙ නැහැ පරමාර්ථය කියල එකක් තියෙනව කියල. ඒක බමුණන්ගෙ සංකල්පයක්. ඒක මහායානයට ඇවිල්ල.  සිංහල බෞද්ධයොත් ඒක කියනවා. සංවෘත සත්‍යය පරමාර්ථ සත්‍යය යථාර්ථය වගේ ව්‍යවහාර අප අතර තියෙනවා. සම්මුතිය විතරක් තියාගත්ත ම හොඳට ම ඇති. සම්මුතිය කියන සංකල්පයත් බොරුවක්. ඒත් අපට බොරු කීම හැර වෙනත් දෙයක් බැහැ. ඒ බොරුව තියා ගනිමු. ඒ කියන්නෙ සම්මුතිය කියන අදහස. 


බටහිර වෙදකම විතරක් නොවෙයි වියුක්ත සංකල්ප යොදා ගන්නා ඕනෑම දැනුම් පද්ධතියක් පට්ටපල් බොරු. බමුණන්ගෙ ආයුර්වේදයත් එහෙමයි. ආයුර්වේදය රාවණගේ හරි පුලස්ති සෘෂිවරයාගෙ කියල ඒ නිසා ඒක අපේ කියල තර්ක කරනව නම් එහෙම කර ගන්න. සිදුහත් කුමරු උපන්නෙ සල්ගහක් යට නිසා එතුමා ලංකාවෙ උපන්න කියල කියන්න සල් ගහකුත් ඕන වුණා. ඒ නිසා නුවර පැත්තෙ පන්සලක සල් ගහක් ඒකට සාක්‍ෂි හැටියටත් ගත්තා. ඒත් ඒ සල් ගහ සිදුහත් උපත ගැන කියන විට කියැවෙන  සල් නොවෙයි කියල දැන් කියනවා. ඔය සල් ලංකාවට ආවෙ 1881 දි ය, පළමුවැනි සල් පැලේ පේරාදෙණියෙ මල් වත්තෙ ඉංගිරිසින් හිටවෙල තියෙන්නෙ ඒ අවුරුද්දෙ කියල කියනවා. එය මධ්‍යම හා දකුණු ඇමෙරිකාවෙ ගහක් කියලයි කියන්නෙ. ඉංගිරිසියෙන් ඒ ගස්වලට කියන්නෙ කැනන් බෝල් ට්‍රීස් කියල. අර ගෙඩි නිසා ඒ නම ලැබිල තියෙන්නෙ. ඒකට කමක් නැහැ. මට කතාවක් ඕනෙ ඔය ගහ සල් ගහ හැටියට නම් කෙළෙ කොයි කාලෙ ද ඇයි ද කියන්න. 


මා කියාගෙන ආවෙ ආයුර්වේදය ගැන. ආයුර්වේදයෙත් වියුක්ත ප්‍රවාද තියෙනව කියන එකයි මගේ වැටහීම.  අද සිසිර ජයකොඩි කොවිඩ් 19ට ආයුර්වේද ප්‍රතිකාර දෙකක් හඳුන්නල දීල. ඒක හොඳයි.  හැබැයි කොවිඩ් 19ට ප්‍රතිකාර කියන්නෙ මොකක් ද කියන එක වෙන ම තේරුම් ගන්න වෙයි. ඔය ප්‍රතිකාරවලින් කෙරෙන්නෙ ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි කරල ඇඟෙන් ම කොවිඩ් වයිරසය දුර්වල කරන්න හරි නැති කරන්න හරි කටයුතු කරන එක ද? 


මේ ක්‍රමය ඇලොපති ක්‍රමයට වඩා වෙනස්. අලොපති ක්‍රමයෙ එන්නත් තියෙනවා. එන්නත කියන සංකල්පය භාරතයෙ තිබුණ එකක්. බමුණො ඒවත් දැන ගෙන හිටියා. ඒ විතරක් නොවෙයි කළල වෙනත් ගර්භාෂයක තැන්පත් කරල වර්ධනය කරන හැටිත් දැන ගෙන හිටියා. චන්ද්‍රගුප්ත බින්දුසාර කතාවල කියැවෙන්නෙ ඒක. හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ අද බටහිර තියෙන්නෙ බමුණන්ගෙ වෙදකම කියල. බටහිර සංකල්ප භාරතීය සංකල්පවලින් වෙනස්. එය චින්තනය පිළිබඳ ප්‍රශ්නයසංකල්පක්. බටහිරයන් දන්නව තමන්ගෙ චින්තනයට වෙනත් චින්තනවල  සංකල්ප අවශෝෂණය කරන්න.


ඔය ආයුර්වේද ප්‍රතිකාරය බටහිර වෙදමහත්තුරු ලව්ව පරික්‍ෂාවට භාජනය කරවන්න නම් එපා. බටහිර වෙදකම එකක් ආයුර්වේදය තවත් එකක්.  එක් කට්ටියක් අනෙක් කට්ටිය ගැන විනිශ්ච දෙන්න ඕනෙ නැහැ. මොකෝ බටහිර වෙදකමේ කතන්දර ආයුර්වේදෙන් පරීක්‍ෂා කෙරෙනවයි. මෙතන තියෙන්නෙ ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේ ම තමයි ආයුර්වේදයෙන් ප්‍රශ්න අහන්න ඕනෙ නැහැ සිංහල පාරම්පරික වෙදකම ගැන. මා දන්න විධියට පාරම්පරික වෙදකම මගින් සුව වෙච්ච කොවිඩ් රෝගීන් ඉන්නවා. නැවතත් සුව වෙනව කියන එක  බටහිර වෙදකම අනුව විනිශ්චය කරන්න යන්න එපා. 


සිසිර ජයකොඩි ඒ පාරම්පරික වෙදකම ගැනත් රටට කියනවා ද? ඔහු ඒ ගැන  උනන්දු වෙනව නම් ඒ පාරම්පරික වෙදමහතුන් ඔහු හමුවේවි. ඒ වෙදමහතුන්ට ඔහුට කිට්ටු වෙන්න බැරි ගතියක් තියෙනව කියලයි මට වැටහෙන්නෙ. මේ වෙදකම් විතරක් නොවෙයි. සිද්ධ යුනානි වෙදකම් ද මෙරට යොදා ගැනෙනවා. ඒ අතර හෝමියෝපති වෙදකමත් තියෙනවා. මේ ඔක්කොම බොරු. වැඩක් වෙන හරියන බොරු යොදා ගනිමු. 


දැන් මා කියන්න යන්නෙ නැහැ කොවිඩ් 19 කියන එක බොරුවක්. ඒ නිසා ඒක ගැන හොයන්න ඕනෙ නැහැ. එහෙම ලෙඩක් නැහැ. ඒ නිසා ප්‍රතිකාර ඕනෙ නැහැ කියල. ඒහෙම කිව්වොත් ඒ පරමාර්ථයක් වෙනවා. සම්මුතියෙන් කොවිඩ් තියෙනවා. මිනිස්සු ලෙඩ වෙනවා. සමහරු මැරෙනවා. සම්මුති ලෙඩේට සම්මුති බෙහෙත් ඕනෙ. 


ඒකෙදි පාරම්පරික වෙදකම අමතක කරන්න එපා. අද රට අසරණ වෙලා. දුම් හට්ටිය, කැඳ වර්ග, චූර්ණ ආදියත් යොදා ගනිමු. ලංකාවෙ චානක්‍යලා හිටියෙ නැහැ. බූද්ධඝෝෂ හාමුදුරුවරුන් හිටියෙත් නැහැ. ඒත් බුද්ධදාසල හිටිය. 


මේ ලිපිවලින් තෝරාගත් ලිපියක් බදාදා අරුණ පත්තරේ පළ කරනවා. දිවයින මේ කිසිම ලිපියක් අවුරුදු ගණනකින් පළ කරල නැහැ. ඒත් හදිසියේ ම ඉරිදා දිවයින ඊයේ මගේ ලිපියක් පළ කරලා. මොකද දැන් ඉරිදා දිවයින විකිණෙන්නෙ නැද්ද? කාලය වෙබ් අඩවියේ හරි මුහුණු පොතේ හරි ලිපි පළවුනාට පස්සෙ ඒ උපුටා ගැනීම වළක්වන්න මට බැහැ. මනෝජ් හරි ඉරිදා දිවයිනේ කවුරු හරි මොන අරමුණකින් හරි මගේ ලිපි කියවන බව දැන ගැනීම ගැන සතුටුයි..