Main Logo

Sunday 12 December 2021

බෙන්තර ගඟෙන් මෙහා බළල් පැටවු හා පැටික්කියො

 

බෙන්තර ගඟෙන් මෙහා බළල් පැටවු හා පැටික්කියො

 

මුදල් ඇමති කියා තිබුණා අප ලබන වසරේ ගෙවිය යුතු ණය, කොච්චර ද ඩොලර් බිලියන ගණනක්, ස්ථිර වශයෙන් ම ගෙවනවා කියා. ණය ගෙවන්න ණය ගන්නවා හැරෙන්න වෙනත් ක්‍රමයක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. මධ්‍යම පංතියේ අවශ්‍යතා සපුරාලන්න අපට ඇතැම් දේ ආනයනය කරන්න වෙනවා. අපට මතක නැති වුණාට හැටනවයේ දශකයේ අග හා හැත්තෑවේ දශකයේ මුලත් ඇතැම් භාණ්ඩ ආනයනය කෙරුණේ නැහැ. එකල ලන්ඩනයට පැමිණි මිතුරකු සමග ඔහුට අවශ්‍ය දේ මිල දී ගැනීමට මා ද ගියා. ඔහු ෆොහන්ස් දත් බෙහෙත් ඇසුරුමක් දැක පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිය හැටි මට දැනුත් සිහි වෙනවා.  මට ජීවිතයෙ මතක තියෙන්නෙ සිද්ධි ටිකක් පමණයි. මේ සිද්ධියත් ඉන් එකක්.

 

ඉන් අවුරුදු පනහකට පසු මධ්‍යම පංතිය ඔරොත්තු නොදෙන තරමට ප්‍රසාරණය වෙලා. එකල නුගේගොඩින් මොරටුවෙන් එහාට විශාල මධ්‍යම පාංතික පිරිසක් හිටියේ නැහැ. අද ගොඩගමින් එහාටත් බෙන්තර ගඟ දක්වාත් මධ්‍යම පාංතිකයන් දැක ගන්න පුළුවන්. එදා කිවුවෙ බෙන්තර ගඟෙන් එහා ඇස් ඇරපු බළල් පැටීයෙක්වත් ගේන්න එපා කියලා. අද කියන්න වෙන්නෙ බෙන්තර ගඟෙන් මෙහා ඇස් නෑරපු බළල් පැටියකුටවත් එගොඩට යන්න දෙන්න එපා කියලා.

 

මධ්‍යම පංතියට අවශ්‍ය දේ ආනයනය කිරීමට අපේ අපනයන ප්‍රමාණවත් නැහැ. ඒ අපනයනවලට ගෙවන සම්පූර්ණ මුදල ලංකාවට එන්නෙත් නැහැ. ඉතින් අප ණය ගෙවීමට ණය ගන්නවා හැර පුළුවන් නම් ආයෝජකයන් ගෙන්වා ගැනීම හැර කුමක් කරන්න ද කියා නූගතකු වූ මා දන්නේ නැහැ. මා කියා ඇති මෙරට කාණුවක් කාණුවක් ගානේ ආර්ථික විද්‍යාඥයන් ඉන්න බව. එයට අමතර ව ජඩමාධ්‍යවේදීන් ද ඉන්නවා. එහෙත් මේ කිසිවකුගෙන් ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. එහෙත් ඔවුන් යමක් සිිදු වුණාට පස්සෙ කියනවා තමන් එය කලින් කී බව. ඔය ඉල්ලුම සැපයුම නියම ලංකාවටත් වලංගු ද? 

 

සිදුහත්කුමරු සසර කළකිරුණෙ සතර පෙර නිමිති දැකීමෙන්. අද සසර කළකිරෙන්න උදේ පුවත්පත් කියවනු අසා සිටීම ප්‍රමාණවත්. ඒත් අප සසර කළකිරිලා යන්නෙ නැහැ. එදා රාජ සම්පත්වලින් කැඩුණත් අද මධ්‍යම පාංතික සම්පත්වලින් කැඩෙන්න බැහැ. කැඩිල යන්න තැනකුත් නැහැ. මට අද උදේ ඇහුණා විද්‍යාත්මක බුදහමක් දේශනා කළ ගංගොඩවිල සෝම හාමුදුරුවො ගැන.

 

මා සෝම හාමුදුරුවන් දන්නෙ නුගේගොඩ මිරිහානෙ ඉඳන් ඉසිපතන විද්‍යාලයට ගිය සෝමරත්න කාලෙ ඉඳන්. සෝමරත්නගෙ තාත්තට මිරිහානෙ ඉඩම් තිබුණ. ඔහු මහා ධනවතෙක් නො වෙයි. ඒ ඉඩම්වලට ඒ කාලෙ වටිනකමක් තිබුණෙ නැහැ. අද ඉහළ වටිනාකමක් ඇති ඒ ඉඩම්වල පදංචි වෙලා ඉන්න සමහර අය ගැනත් මා දන්නවා. අවාසනාවකට මා දන්නෙ ඒ වගේ ඕපදූප. මා ඒ හරිය ගැන දන්නෙ අපේ මාමල එහි පදිංචි වෙලා හිටපු නිසා. ඒත්  ඩොලර් හම්බ කරන හැටි මා දන්නෙ නැහැ. මා යෝජනා කිහිපයක් බලධාරීන්ටත් කිවුවත් ඔවුන් මගේ නූගත්කමට හිනහවුන එක විතරයි කෙළෙ. මා කියන විධියට ඩොලර් හම්බ කරන්න බැරුව වෙන්න ඇති.

 

මා කියන්න ගියෙ ඊනියා විද්‍යාත්මක බුුදුදහමක්වත් බුද්ධාගමක් නැති බව. සෝම හාමුදුරුවන් පන්සල්වල තියෙන දෙවියන්ගෙ පිළිම ගඟට දාන්න කිවුව. ඒත්  දාපු කෙනෙක් ගැන මා දන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ඕපදූප මට ආරංචි වෙනවා. දෙවියන් නැති සිංහල බුද්ධාගම පරිප්පු නැති හෝටලයක් වගේ. බුදුහාමුදුරුවන් පට්ටපල් බොරු කියාපු කසිකබල් විද්‍යාඥයෙක් නො වෙයි.

 

අද බටහිර විද්‍යාවෙ තියෙන දේ බුදුහාමුදුරුවන් අවුරුදු දෙදහස් හයසීයකට පමණ පෙර දේශනා කර තියෙනව කියන විද්‍යාත්මක බෞද්ධයනට මා කියනවා දැනට කියා නැති බටහිර විද්‍යා ප්‍රවාදයක් එහෙත් බුදුහාමුදුරුවන් දේශනා කර ඇති ඊනියා විද්‍යාත්මක සත්‍යයක් 2022 ගෙවෙන්න ඉස්සෙල්ල කියන්න කියා. 2022 අවසන් වන තුරුවත් මා ජීවත් වෙයි ද කියා කියන්න බැහැ. කමක් නැහැ ඒ දිනය ලියා ගමු.

 

මා එයට කලින් මියගියොත් ඒ ප්‍රකාශය ගැන හොයල බලලා විනිශ්චයක් දීම අර මෙරට ඉන්න ලෝකයේ අග්‍රගණ්‍ය 2% විද්‍යාඥයන්ට පවරල ප්‍රකාශය ඒත්තු යන එකක් නම්  එකලට ඩොලර් පන්සීයක වටිනාකම රුපියල්වලින්  ගෙවන්න කියා අන්තිම කැමති පත්තරයක් ලියා තබන්නම්. ජීවත් වෙලා හිටියොත් ලෝකයේ අග්‍රගණ්‍ය 2%ට සුප්‍රසිද්ධ ප්‍රතිශතය 6%ට තබා 90%ටවත් අයිති වෙන්නෙ  නැති මා ම ඒ වගකීම භාරගන්නවා. ඩොලර් පන්සීය මදි නම් මට කරන්න දෙයක් නැහැ. අන්තිම කැමති පත්තරේ ඒ හැරෙන්න ලියන්නෙ  ජාතියක් හැටියට මා අමතක කරන්න කියන එක පමණයි. 

 

ඊනියා විද්‍යාත්මක බුද්ධාගමක් නැහැ. සිංහල බුද්ධාගම කියන්නෙ සංස්කෘතියක්. ඒ සංස්කෘතියට නාථ දෙවියන්  සමන් දෙවියන් විතරක් නො වෙයි මහසෙන් දෙවියන් ද එක් අංශයක් වූ කතරගම දෙවියන් විෂ්ණු දෙවියන් ආදීන් ද ඇතුළත්. ගැමුණු රජුත් මාගම ඉඳලා යුද්ධ කරන්න ගියෙ මහසෙන් දෙවියන්ට ද කියලා. සෝම හාමුුරුවො නොවෙයි මහානායක හාමුදුරුවරු එකතු වෙලා ප්‍රකාශයකින් ඉල්ලුවත් සිංහල බෞද්ධයන් ඔය දෙවියන් අත් හරින්නෙ නැහැ. සිංහල බුද්ධාගමෙන් දෙවියන් නැති කළොත් එය තවදුරටත් සිංහල බුද්ධාගම වෙන්නෙ නැහැ.

 

අර ඩොලර් පන්සීය ලංකාවට නැති වෙන්නෙ නැහැ. ඒත් අපි ණය ගෙවන්නෙ කොහොමද? අපට හදිසියේ අපනයන වැඩි කරන්න බැහැ. අප වැඩ කරන්නෙ හදිසියට තමයි. අප සැලැස්මක් ඇතුව වැඩ කරන්නෙ නැහැ. ඒ අපේ හැටි. පොහොර ප්‍රශ්නයට මුල හදිසි තීරණ. අද කාබනික පොහොරක් බෙදා දෙනවා. එය මාළු බොකු අරගෙන නිපදවූ දෙයක් කියනවා. අද ඊනියා 2% සුපිරි විද්‍යාඥයන් කියනවා තව මාස කිහිපයකින් සාගතයක් එයි කියලා. ගමට සාගතයක් එන්නෙ නැහැ. ඒත් සුපිරි විද්‍යාඥයන් ගමට ගෙන්න ගන්න හොඳ නැහැ. බළල් පැටවු හා පැටික්කියන් කොළඹ හා අවට ම හිටියවෙ.

 

ඒ වුණත් අදවත් අප සැලැස්මක් ඇතුව වැඩ කරන්න පටන් ගන්න ඕන. අද වෙන කරන්න ම දෙයක් නැත්නම් ණය ගන්න වේවි. අපට ආයෝජකයන් ගෙන්වා ගන්න පුළුවන් ද? අප තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අද ලෝකයේ වෙස්සන්තරලා නැහැ. ඇලි ඇතා දන්දෙන අය ලෝකයෙ නැහැ. අපට කවුරු හරි යමක් දෙන්නෙ යමක් බලාගෙන. ආයෝජකයන් එන්නෙත් යමක් බලාගෙන. අප ඔවුන්ට දෙන දේ කුමක් ද කියන එක අපි තීරණය කරන්න ඕන.

 

ආණ්ඩුව ජනතාවට ඇත්ත කියන්න ඕන. කරන්න පුළුවන් දේ බැරි දේ කියන්න ඕන. අපේ සැලැසුම් කෙටි කාලීන, මධ්‍යම කාලීන දිර්ඝ කාලීන වෙන්න ඕන. හදිසි තීරණ පමණක් ගඟට දාමු. දෙවියන් රැක ගනිමු. බටහිර විද්‍යාවෙත් දෙවියන් ඉන්නවා. දැක ගන්න ඕන නම් මහා පිපිරුමට යන්න. චන්ද්‍රසිරි ධර්මවර්ධනට හරි අශෝක අමරතුංගට හරි ඕන නම් මා එක්ක යන්නම්. එන්න යන්න ගෑස් පිපිරුම හරි පොහොර පිපුරුම හරි නොව මහා පිපිරුම බලන්න.