Main Logo

Thursday, 30 December 2021

සෝවියට් අධිරාජ්‍යය බිඳ වැටීම

 

සෝවියට් අධිරාජ්‍යය බිඳ වැටීම

 

මා හිතන්නෙ නැහැ දෙසැම්බර් 26 කියන්නෙ වමක් නැති වමාලට මතක තියෙන දිනයක් කියල. අප බොහෝ දෙනකුට එය මතක් වෙන්නෙ සුනාමිය හින්ද. එදා බොක්සිං නැත්තන් නත්තල් තෑගි පෙට්ටිය අරින දිනය කියන එක අපේ සංස්කෘතියට වැඩක් නැහැ. නත්තල් සීයා මේ පැත්ත පළාතෙ එන්නෙ නැහැ. මෙහෙ හිමත් නැහැ පිනිමුවොත් නැහැ. ඒ මදිවට ගෙවල්වල චිමිනි බැඳලත් නැහැ. 

දෙසැමබර් 26 මටත් මතක් වුණෙ අල් ජරා පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් හා හතරවැනි ජාත්‍යන්තරයෙ දිනපතා වගේ එවන ලිපිියෙ සටහනක් දැකලා. මා හතරවැනි ජාත්‍යන්තරයෙ කොටස් හැට හතරින් එකකටවත් අයිති නැහැ. ඒත් ඒ ලිපිය කියවනවා රස විඳීම සඳහා. ඒක දෙවැනි වන්නෙ විග්නේස්වරන්ගෙ මෙරට දෙමළ කතාකරන ජනයාගෙ ඊනියා ඉතිහාසයට පමණයි. මිනිසුන්ගෙ  සිහිනවලට කෙළවරක් නැහැ. මෙරට වමාලට නම් සිහිනත් නැහැ. ඔවුන් ඉන්නෙ පශ්චාත්නූතනවාදී ෆැන්ටසිවල.

 

1991 දෙසැම්බර් 26 වැනි දා තමයි සෝවියට් අධිරාජ්‍යය විසුරුවා හැරි දිනය. පසුගිය දා එයට වසර තිහක් සම්පූර්ණ වුණා. ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ තමයි සෝවියට් අධිරාජ්‍යය ගොඩ නැගුණෙ. බටහිරයන්ට සිද්ධ වුණ නැගෙනහිර යුරෝපය  ස්ටැලින්ට පාවල දෙන්න හිට්ලර්ගෙ ජාතිකවාදය පරාජය කිරීමට දුන් උදවුවට හිලවුවක් ලෙස. ඊනියා දෙවැනි ලෝක යුද්ධෙ කියන්නෙ ජාතිකවාදීන් අතර කෙරුණු ගැටුමක්. එක පැත්තකින් ඉංගිරිසි ජාතිකවාදය. චර්චිල් තමයි එකෙ ලොක්කා. රූස්වෙල්ට් ඔහුට අනගි සහායක් සැපයුවා. තව පැත්තකින් හිට්ලර්ගෙ ජාතිකවාදය. මුසෝලිනි ඔහුට සහාය වුණා. තව පැත්තකින් ජපන් ජාතිකවාදය. හතරවැනුව රුසියන් ජාතිකවාදය.

 

හිට්ලර් තම ජාතිකවාදය ජර්මන් ආර්ය ජාතිකවාදය මත පදනම් කෙරුවා. එය යුදෙවු විරෝධී ස්ථාවරයක් ගත්තා. චර්චිල් විරුද්ධ වුණෙ යුදෙවු විරෝධයට නො වෙයි. ඉංගිරිසුනුත් යුදෙවුවන්ට කැමති නැහැ. චර්චිල්ට ප්‍රශ්නය වුණෙ ජර්මන් ජාතිකවාදය. එය ඉංගිරිසි ජාතිකවාදයට අභියෝගයක් වුණා. අපට දැන් සුපුරුදු නමක් වූ ජෝසෆ් ස්ටැලින්ටත් ජර්මන් ජාතිකවාදය ප්‍රශ්නයක් වුණා. ඔය කාටත් යුදෙවුවන් ප්‍රශ්නයක් වුණත් මූලික ප්‍රශ්නය ජර්මන් ජාතිකවාදය නිසා චර්චිල් හා ස්ටැලින් එකතු වුණා. සිංහල ජාතිකවාදය ප්‍රශ්නයක් වන විට වමාල හා ද කුණාල ඊනියා ජාත්‍යන්තරයක නාමයෙන් ඉංගිරිසි ජාතිකවාදය සමග එකතු වෙනවා වගේ. මෙතන ඇති ෆැසිස්ට්වාදය හිට්ලරට පමණක් සීමා වුණෙ නැහැ. ස්ටැලින්ට වඩා ෆැසිස්ට්වාදියකු ලෝකෙ ඉඳලා නැහැ. ඒ දවස්වල වික්‍රමබාහු අතදරුවෙක්. නැත්නම් ඔහු ස්ටැලින්ට කියාවි ජාතිකවාදයට එරෙහි ව චර්චිල් එක්ක එකතු වෙන්න කියලා.

 

ස්ටැලින්ගෙ කම්කරු පංති රාජ්‍යයක් තිබුණෙ නැහැ. ඔහු ජෝර්ජියාවෙ ඉපදිල රුසියාවෙ බලයට පත්වුණු අයෙක්. හිට්ලර් ඕස්ට්‍රියාවෙ ඉපදිලා ජර්මනියෙ බලයට පත් වූ අයෙක්. චර්චිල් නම් පාරමපරික ඉංගිරිසි රදළයෙක්. කොහොම හරි යුද්ධෙන් ජර්මන් ජාතිකවාදය පරාජය කළාට පස්සෙ නැගෙනහිර යුරෝපය ස්ටැලින්ට දෙන්න වුණා. ජර්මනියත් දෙකට බෙදුවා. නැගෙනහිර ජර්මනිය එක රැයෙන් සමාජවාදී වුණා.  ඒත් ජර්මානුවන් නැගෙනහිර බටහිර බලන්නෙ නැතුව එහාට මෙහාට ගියා. රුසියන් නැත්නම් සෝවියට් අධිරාජ්‍යයට මෙය රිස්සුවෙ නැහැ. ඔවුන් 1961 දී බර්ලින් තාප්පය ඉදි කරල ඒ ගමන් බිමන් ඉවරයක් කළා. ඔය කාලෙ වන විට ස්ටැලින් මිය ගිහින්.

 

1989 දී බර්ලින් තාප්පය බිඳ වැටුණා. ඒක බටහිරයන්ට අර කාටීසිය තාප්පය බිඳ වැටුණට හපන්. ඔය කාලය වන විට රුසියන් අධිරාජ්‍යවාදය කඩා වැටෙමින් තිබුණෙ. පෝලන්තය යුගොස්ලේවියාව වගේ රටවලත් රුසියන් අධිරාජ්‍යයට විරුද්ධ ව අරගල කෙරුණා. ඒ රටවල ජාතිකවාද රුසියන් ජාතිකවාදයට එරෙහි ව සටන් වැදුණා. ඒත් ට්‍රොට්ස්කිවාදී සහෝදරවරු බොහො ම  උද්දාමයෙන්න් හිටියෙ. ස්ටැලින්වාදය පරාජය වෙලා නියම සමාජවාදය ඇති වේවි කියා ඔවුන් සිහින දැක්කා. යුගෝස්ලේවියාවෙ මාෂල් ටිටෝ ඔවුන්ගෙ වීරයා වුණා. 

 

රුසියන් එහෙම නැත්නම් සෝවියට් අධිරාජ්‍යවාදයට ඉංගිරිසි ජාතිකවාදය සමග සටනක් කරන්න බැරි වුණා. 1991 දෙසැම්බර් 26 වැනි දා රුසියන් අධිරාජ්‍යය විසුරුවා හැරියා. අධිරාජ්‍යයෙ රටවල් ඉංගිරිසි ජාතිකවාදයට යටවුණා. සමහර රටවල් කෑලි කැලිවලට කැඩුවා. අද චෙකොස්ලොවේකියාව නැහැ. ටිටෝගෙ සමාජවාදී රාජ්‍යය ඇති වුණෙත් නැහැ. ලංකාවෙ ජෙප්පන් දෙවැනි වරටත් සමාජවාදය බිහි කරන්න විප්ලව කරල පැරදුණෙත් ඔය කාලෙ. 1971 විප්ලවයට අවුරුදු පනහකුත් ගෙවිලා. අහෝ මාක්ස්වාදය.

 

අද බර්ලින් තාප්පෙ නැහැ. මේ සමග ඇති ඡායාරූපය බර්ලින් තාප්පෙ. නැගෙනහිර ජර්මනියකුත් නැහැ. ඇත්තෙ ජර්මනියක්. බැරිවෙලාවත් හිට්ලර් දිනුව නම් මොනව වෙන්න තිබුණ ද? ඒ වගේ ප්‍රශ්න අහන එක වැරදියි. බැරිවෙලාවත් එළාර දිනුව නම් මොනව වෙන්න තිබුණ ද? බැරිවෙලාවත් විජේවීර දිනුව නම් මොනව වෙන්න තිබුණ ද? බැරිවෙලාවත් සජිත් හරි රනිල්දාස හරි දිනුවොත් මොනව වෙයි ද? ඩොලර් ගංවතුරක් ගලල අපි ඒකට යටවෙයි ද?

 

මා මාක්ස්වාදයෙන් කැඩිල හුඟක් කල්. ඒ 1980 දි. ඒ කාලෙ කාටීසීය තාප්පෙ කැඩිලා. කාටීසීය තාප්පෙ නම් කරල තිබුණෙ ප්‍රංශ ජාතික දාර්ශනිකයකු වූ දෙකාර්තෙ (Descartes) නමින්. මනස හා වස්තුව අතර ඇති බෙදීම (ද්වෛතය) තමයි ඉන් කියැවුණෙ. වස්තුව තාප්පෙ එක් පැත්තක. මනස අනෙක් පැත්තෙ. තාප්පය කැඩුවට පස්සෙ වස්තුවත් මනසෙ නිර්මාණයක් සංස්රණයක් වෙනවා. මා හිතන්නෙ බටහිර දර්ශනයට හා බටහිරයන්ට කාටීසීය තාප්පෙ බිඳ වැටීම බර්ලින් තාප්පෙ බිඳ වැටීමට වඩා වැදගත් කියල. ඒත් ඔවුන්ට තාමත් එහි වැදගත්කම තේරෙන්නෙ නැහැ.  බෞද්ධයනට නම් කිසි දා කාටීසීය තාප්පයක් තිබුණෙ නැහැ. ඒත් තවමත් බටහිර ඊනියා වාස්තවික යථාර්ථයක් ගැන කියවන උගතුන් ඉන්නවා. ඔවුන් තමයි බහුතරය. මෙරට පඬි නැට්ටන් සකර්බර්ග් අනාථාගාරයෙ ඒ බටහිර වාස්තවික කතා මෙන් ම සමාජවාදී කතාත් කියවනවා. සකර්බර්ග්ට දෙවි පිහිටයි.